ආණ්ඩුවේ පක්ෂ දහයෙ කල්ලිය, ආණ්ඩුවේම බොරුවට එරෙහිව මාර්තු 2 වැනිදා එළියට!

රටේ පවතින අර්බුදය ගැන ආණ්ඩුවේම බොරුවට එරෙහිව පෙළගැසෙමින්, දැන් පවතින අර්බුදයේ තරම සහ ඒවාට විසඳුම් යෝජනාවලියක් මාර්තු 02 වැනිදා එළිදැක්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ලෙස හඳුන්වන කණ්ඩායම තීන්දු කර තිබෙනවා.

එය මෑත කාලයේ පැවති සාකච්ඡා වට ගණනාවක ප්‍රතිඵලයක්. විමල් වීරවංශ, උදය ගම්න්පිළ සහ වාසුදේව නානායක්කාර යන ප්‍රධාන නායකයන් ත්‍රිත්වයෙන් සුසැදි මේ කණ්ඩායම තුළ ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආදී අනෙකුත් පක්ෂත් ඉන්නවා. ඊට අමතරව ටිරාන් අලස් වැනි පිරිසුත් එතැන හිටියා.

අපේ රටේ දැන් ආර්ථික අර්බුදයක් නැති බවත්, කොවිඩ් නිසා චුට්ටක් ‘ඩාං වූ.. ඩූං වූ..’ එක සංචාරක කර්මාන්තයේ සහ අනෙක් ක්ෂේත්‍රවල නැගීමත් එක්ක ‘හරියාගෙන එන’ බවත් රාජපක්ෂවරුන් සහ අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ ආණ්ඩුවේ පොහොට්ටු පාර්ශ්වය පොළොවේ හැපෙමින් කියනවා. ඒත්, ඇත්ත තත්වය ඊට දරුණු බව රටම දන්නවා.

විපක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණ, සජිත් පිළ, හර්ෂ හා ඉරාන් වැනි විද්වත් ලයින් එකේ නායකයන්, චම්පික රණවක ඇතුළු විකල්ප නායකයන් වගේ හැමෝම ඔය ගැන කතා කරනවා. ඒ නිසා මේක ආණ්ඩුවේ පක්ෂ දහයේ කණ්ඩායම අලුතෙන් කියන්න දෙයක් නැහැ.

එහෙත්, සැබෑ ප්‍රශ්නය යටගසා කොළේ වහන්නට අසාර්ථක උත්සාහයක ආණ්ඩුවේ අනෙක් අය යෙදෙනකොට, දහයේ කල්ලිය ඊට ප්‍රසිද්ධියේ ගේම ඉල්ලීම දේශපාලනික පැත්තෙන් විශේෂයි.

පසුගිය කාලසීමාව තුළ උදය ගම්මන්පිළ, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර වගේම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මේ ආර්ථික අර්බුදය ගැන උනන්දුවෙන් අදහස් පළ කළා. ඇත්තටම ඔහු 2014 සිටම මේ අර්බුදය ගැන නොනවත්වා කතා කළා. ඉතින්, ඒ අය මෑත කාලයේ සාකච්ඡා කරලා එකඟ වූ අදහස් ඇසුරෙන් තමයි මාර්තු 02 වැනිදා යෝජනා එළිදැක්වීමක් කරන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් පෙබරවාරි 22 වැනිදා අවිස්සාවේල්ලේදී අමාත්‍ය උදය ගම්මන්පිළ මෙසේ කීවා.

‘දැන් මොකද්ද අපි කරන්න ඕනේ. විපක්ෂය ආණ්ඩුවට බනිනවා. මතක තියාගන්න මේක ආණ්ඩුව විසින් හදාගත්ත ලෙඩක් නෙමෙයි. මේ රටේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන්න ජනතාවට බොරු කරමින් සුන්දර ලෝකයක් මවමින් ණයට අරන් කන සංස්කෘතිය හදපු හැම කෙනාම මේකට වගකියන්න ඕන. මිත්‍රවරුනි කොළ පාට ද නිල් පාට ද කහ පාට ද රතු පාට ගුරු පාට ද කියන මේ සෑම දේශපාලන පක්ෂයක්ම මේ අර්බුදයේ කොටස්කරුවෝ. අද එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්න අයට අපි කියන්නේ අනුන්ට එක ඇඟිල්ලක් දිගු කරද්දි තමන් දෙසට ඇඟිලි හතරක් දික් වෙලා තියෙන බව අමතක කරන්න එපා. චෝදනා වෙනුවට විකල්ප ඉදිරිපත් කිරීමයි කළ යුත්තේ විසඳුම් ඉදිරිපත් කිරීමයි කළ යුත්තේ. ඒ විසදුම් ඉදිරිපත් කරන්න අද විපක්ෂය පැත්තෙන් අසමත් වෙලා තියෙනවා.

මාර්තු 2 වෙන්නේ මොකක්ද?

ඒ නිසා තමයි අපි පක්ෂ දහය එකතු වෙලා තීන්දුවක් අරන් තියෙන්නේ අපි දකින විදිහට මේ අර්බුදයේ එළියට යෑමේ ගමන්මග යෝජනාවලියක් විදියට මාර්තු මාසේ දෙවැනි දා එළි දක්වන්න. අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක් හෝ දල්වන්න කියන කියමන අනුව යමින් මේ අර්බුදයේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම පසෙක තබා ගොඩ යන ආකාරය කියලා දෙන්න අපි ලෑස්තියි කියන පණිවිඩය අපි මේ රටට ලබා දෙනවා.’