තෙල් සංස්ථාව බරපතල අර්බුදයකලු! පත්තු වුණොත් රට බංකොළොත්! කපුටු සාත්තර හරියන්නෑ

ඉන්ධන ආනයනය සඳහා මුදල් නොමැතිකමිනුත්, මුදල් සපයාගන්නට ක්‍රමයක් නොමැතිකමෙනුත් ලංකා ඛනිජතෙල් සංස්ථාව දැවැන්ත අර්බුදයක සිටින බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ මේ වන විට පවතින තත්වය නිසා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කරන්නට හේතු වන සිදු වීම් කිහිපයක් තිබුණා. ඒ අතරින් ප්‍රධාන එකක් වුණේ රටේ ඉන්ධන සැපයීම නතර වීම. ඉන්ධන නතර වීම තුළින් ප්‍රවාහනය, විදුලිය, ආහාර සැපයුම, නොයෙකුත් ආයතනවල වැඩකටයුතු ආදී සියල්ල ඇණහිටිනවා. කර්මාන්තශාලාවල සිට, ගාමන්ට් ෆැක්ටරි දක්වා බොහෝ තැන්වලට පුද්ගලයන් ප්‍රවාහනයේ ඉඳන් යන්ත්‍ර ක්‍රියා කරවීම දක්වා විවිධ දේවල් වෙනුවෙන් ඉන්ධන පාවිච්චි කරනවා.

ආණ්ඩුව ඉන්ධන සැපයීමට අසමත් නම් නොහැකියාව සහ පරාජය බාරගෙන බලය අත්හැරිය යුතුයි.

ලංකාදීප වාර්තාව අනුව මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වෙලාලු.

ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී ඇති බවත් මේ වාර්තාවේ සිහිපත් කර තිබෙනවා.

අපේ රටේ දැන් ඩීසල් තියෙනනේ සීමිත දින කිහිපයකට පමණක් කියලාත් බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට ඇවිල්ලා, ඒවා ගොඩබෑම පටන් අරන් තියෙන නිසා පෙට්‍රල් නම් සති කිහිපයකට ප්‍රමාණවත් වේවි. එහෙත් ඉතා කෙටි කාලයක් ඇතුළත් ඒ ප්‍රශ්නයත් යළි මතු වේවි.

පෙට්‍රල් හා ඩීසල් මින් ඉදිරියට ආනයනය කිරීම සඳහා ඩොලර් නැති වීම තමයි ගැටලුවේ මූලය.

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහක විතර ණය ලැබෙන්න නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 10,000ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300ක් ඒ විදියට ලැබෙන්න තියෙනවා.

මේ තත්වය තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් අමාත්‍යාංශය කියනවා.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයකුත් තියෙනවාලු. ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීමත් සීමා කරලාලු.

මේ අර්බුදයට විසඳුම් හොයන්න නම් ඇත්තටම දක්ෂ මොළ හතක් විතර ඕනෑ වෙනවා. ඉතාම නිර්මාණශීලී නායකත්වයක් අවැසි වෙනවා. කපුටු සාස්තරවලින් නම් මේ අර්බුදය විසඳාගන්න බැරි වේවි.