සජිත් ඡන්දෙ බලං ‘දෙපා මුලට’! මහින්ද වාගේ ඡන්ද දිනන්න පන්සල් ගාණේත් යනවාලු!

කුමන හෝ අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති නිසා සූදානම් වෙන ලෙසත්, ගෙයින් ගෙයට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන ලෙසත් සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයන්ට උපදෙස් දුන්නාලු.

මීට කලින් ‘ජනතාවගේ දෙපා මුලට’ යන කතාවක් කියූ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් උසුළු විසුළුවලටත් ලක් වුණා. ඔහු ගෙවල්වලට එන හැටි හාස්‍යයට නගමින් ඉරාජ් වීරරත්න වැනි බාල රසඥතාව පිනවන පාදඩ මට්ටමේ දේශපාලන සංගීතකාරයන් සිංදුත් හැදුවා.

පක්ෂ ශාඛා සමිති ශක්තිමත් කරන ලෙසත් ‘සමගි ජන පවුර’ සහ ‘සදහම් යාත්‍රා’ යන (කම්මැලි හිතෙන, කිසිම නැවුම් දේශපාලන ජීවගුණයක් නොමැති) වැඩසටහන් ශක්තිමත් කරන ලෙසත් සජිත් වැඩිදුරටත් උපදෙස් දීපු බව වාර්තා වෙනවා. එහි දිගුවක් ලෙස සමගි ජන බලවේගය රාජපක්ෂලාට වඩා අඬගැහුවාම දුවගෙන එන වහලුන් තමන්ට ඉන්න බව පෙන්වන්නට මෙන් අනුරාධපුර සල්ගාදු පිටියේම ‘ඊට වඩා ලොකු සමුළුවක්’ පැවැත්වීමේ විහිළු සහගත වැඩසටහනකුත් ඔය අතරතුරේ පවත්වාවි.

මෙම වැඩකටයුතු සංවිධානය කිරීමේ වගකීම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා  ඇතුළු පිරිසක් සඳහා භාර දීලා තියෙනවාලු.

මෙහි සමගි ජන පවුර කියන්නේ පාක්ෂිකයන් එක්රැස් කරන වැඩසටහනක්. සදහම් යාත්‍රා කියන්නේ මීට කලින් 2015- 2019 කාලසීමාවේ මහින්ද රාජපක්ෂ පන්සල්වලට ගියා වාගේම, ඒ ඔස්සේ යමින් සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක වැනි නායකයන් පන්සල් ගාණේ යන වැඩසටහනක්. වෙනසකටත් එක්ක පල්ලි, කෝවිල් ආදියටත් සජිත් යනවා.

ඒත්, රටක දේශපාලන බලය ගන්න සූදානම් වෙන නායකයෙක් ආගමික සංස්ථා පස්සේ වැටී ඒ අයගෙන් අවසර, ආශිර්වාද ආදිය ගන්න ඕනෑ නැහැ. විශේෂයෙන් ආගමික සංස්ථා පාවිච්චි කරමින් දේශපාලන විකෘතියක් හදපු ලංකාවේ හරි නායකයෙක් නං ඒ ආයතනවලට යෑමට විරුද්ධව හඬක් නගන්නත් ඕනෑ. ආගම පෞද්ගලික සහ අධ්‍යාත්මික දෙයක්. ඒක පෞද්ගලික මට්ටමක තිබුණාවේ. දේශපාලනය ලෞකික සහ පොදු දෙයක්. ඒක ඒ මට්ටමේ තිබුණාවේ. අන්න ඒ හඬ තමයි මේ වෙලාවේ රියල් දේශපාලනයක් කරන අය නගන්න ඕනෑ හඬ ඒක.