ශානි ගැන චෝදනා දරුණුයි! දිවයිනේ සමන් කියන විදියට ඔහු තමයි පාස්කු ප්‍රහාරකයන් රැක්කේ!

ශානි අබේසේකර මහතාට මේ වෙද්දී ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දරුණු චෝදනාවක් කරන්න පටන් අරන් තියෙනවා. මේ චෝදනා සංක්ෂිප්තව ගොනු වෙලා තිබුණා පහුගිය ඉරිදා දිවයින පත්තරේට ‘සමන් ගමගේ’ කියන මාධ්‍යවේදියා ලියූ ලිපියක.

‘පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප‍්‍රහාරයට දෙසතියක් පමණ තිබියදී තවත් බිහිසුණු අතපසු කිරීමක් සිදුකරනු ලැබුවේ එකල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යහපාලන වධකාගාරය බවට පත් කළ ශානි අබේසේකර නම් වූ පොලිස් කාරයාය.

ඒ දිනවල සිදු වූ මාවනැල්ලේ බුදු පිළිම සංහාරය අතරතුර වනාතවිල්ලූවේදී අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟෙ අත්අඩංගුවට ගනු ලැබූ සහරාන් හෂීම්ගේ සහචරයන් කිහිප දෙනා පූස් පැටව් සේ සලකා සීඅයිඞීයේ සිට නිදහස් කර ගෙදර යැවීමෙන් ශානි අබේසේකර ඒ හපන්කම කළේය.

කාගේ හෝ වුවමනාවකට ශානි අබේසේකර එදා එලෙස සිදු නොකළේ නම් පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම්ට අවස්ථාවක් නොලැබීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි.’

පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව පැත්තෙන් ආපු ප්‍රබල එකක් තමයි මේකේ මහමොළකරුවන් ගොඩක් ප්‍රහාරයෙන්ම මැරුණු බවත්, ඊට අමතරව මවුලවිවරයෙක් සහ තවත් අය අන්තවාදී මත පතුරුවන්නන් ලෙස මේකේ ‘මහමොළකරුවන්ව’ හිටපු බවත්, ආණ්ඩුව පැත්තනේ ප්‍රහාරයට වගකිවයුතු අය වන්නේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු බවත්.

මේ කියන සිදුවීම්වලට අදාලව අඩුවැඩි වශයෙන් නඩුත් දාලා තිබුණා. කෙසේ වෙතත් හේමසිරි සහ පූජිත් නිදහස් වුණා. ඔවුන්ට එරෙහි චෝදනාව විතරක් කියවලා, මේ චෝදනාව පදනමක් නැහැ කියන අදහසෙන් තමයි ඔවුන්ව නිදොස් කොට නිදහස් කළේ.

එතකොට ප්‍රහාරය ගැන දැනගෙන ඉඳලා වළක්වාගැනීමට කටයුතු නොකිරීම ගැන ඊළඟට චෝදනාව දාන්න වෙන්නේ කාට එරෙහිවද? ආණ්ඩුවේ දේශපාලන සගයා වන මෛත්‍රීපාල සිරිසේනටද? නැත්නම් අලුත් හෝ පරණ චරිතයකට ඒ චෝදනා ටික ගොනු වේවිද?

උඩින් සඳහන් කරපු කරුණු කාරණා අනුව අපට පේනවා මේක ශානි අබේසේකර මහතාගේ පැතත්තට නැවත හැරෙන්න ඉඩ තියෙන බව. පේන විදියට පූජිත්ට, හේමසිරිට වැටුණා වගේ නඩුවක් ශානිට වැටෙන්නට ඉඩක් තියෙනවා. මේක අනාවැකියක් නෙවෙයි. හුදෙක් අනුමානයක්. අනුමානය කරන්නේ අපි නෙවෙයි, සමන් ගමගේ වැනි මහත්වරුත්, අනෙක් පැත්තෙන් ශානි අබේසේකර මහතාමත් ඒ අනුමානය කරනවා.

දැන් ඔය පාස්කු ප්‍රහාරය ගැන කතා කිරීම ගොඩක් අයට තහනම් කරලා තියෙන්නේ. ආණ්ඩුවට අවාසිදායක විදියට, විශේෂයෙන් ආණ්ඩුවේ රැකවරණය ලැබෙන සුරේෂ් සලේ හෝ නිලන්ත ජයවර්ධන ආදීන්ට චෝදනා එල්ල වෙන ප්‍රකාශ ප්‍රසිද්ධියේ කළොත් සීඅයිඩීය දොරකඩට එනවා. 

එතැන කුමන්ත්‍රණයක් තිබුණා කියන අයව ගස්. ඒත්, යහපාලන ආණ්ඩුව් ලොක්කන් කුමන්ත්‍රණය කළා කීවාම ඒකට අවුලක් නෑ. අනෙක් පැත්තෙන් ශානි වගේ නිලධාරියෙක්ට ගහන්න ෆුල් ෆ්‍රීඩම්. සමන් ගමගේ ශානි ගැන කොච්චර දරුණු චෝදනාවක් කළත් අවුලක් නෑ.

ඉතින්! අපි ඔය චෝදනාව තමයි උපුටා දැක්වුවේ. ශානි ඔය කියන විදියට දරුණු වැරැද්දක් තමයි කරලා තියෙන්නේ. සමන් ගමගේ මහතා වගේම දැන් ඔය ෆේස්බුක් එකේ ලියන ආණ්ඩු හිතවාදීන් වන ප්‍රියන්ත හේවගේ මාතලන් වගේ අය කියන විදියට. 

ඉතින් මාර වැඩේ. දැන් අපි ශානිට විරුද්ධව නැගෙන චෝදනාව මෙතැන වාර්තා කළාම ඔහු තමන්ගේ නිදහසට කරුණු විදියට කියන දේවල් ලියන්නත් එපායැ. වාර්තා කරන්නත් එපායැ. ඇත්තටම ඔහු යටතේ සීඅයිඩීය පරීක්ෂණ මඟහැරියාද? බුද්ධි අංශ කලින් කියා තිබියදීත් ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකර හිටියාද? 

ශානිගේ පැත්තේ පිළිතුර සඳහන් වෙන ලියවිල්ලක් අපට ලැබුණා. ඉතින් අපි මේ දැන් ශානි ගැන වාර්තා කරපු චෝදනා ගැන, ඔහුගේ පැත්තේ උත්තරයත් අපට වාර්තා කරන්න පුළුවන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී) ශානි අබේසේකර පෙබරවාරි 18 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ (PTA) තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින්. 

ජාතික තව්හිද් ජමාත් (NTJ) සංවිධානය සහ එහි නායක සහරාන් හෂීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී තමන් රාජකාරි පැහැර හැර ඇති බවට අසත්‍ය සහ නිර්නාමික පෙත්සමක් පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බව තමයි ශානි තමන්ගේ පෙත්සමෙන් චෝදනා කරන්නේ. 

මේක ඇතුළේ ඉතාම තීරණාත්මක කරුණු ගණනාවක් ඔහු ඉදිරිපත් කරලා. විශේෂයෙන් පාස්කු බෝම්බයට මුල් වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය ගැන තමන් කරපු පරීක්ෂණ වෙනතක යවන්නට රාජ්‍ය බුද්ධි අංශය කටයුතු කරපු බව ඔහු සඳහන් කරලා තියෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වකරුවෙකු බව පවසමින් තමාට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ (සරත් වීරසේකර ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ) ලේකම්වරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර තියෙන බව මේ පෙත්සමේදී ශානි චෝදනා කරනවා. ඒ පෙත්සම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය මගින් මේ වෙනකොටත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන බව තමන්ට දැනගන්ටන ලැබුණ බව අබේසේකර මහතා පෙත්සමේදී වැඩිදුරටත් කියනවා.

මෙම නිර්නාමික පෙත්සම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ට එරෙහිව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ වන විටත් බී වාර්තාවක් ගොනු කරපු බව තමන්ට දැනගන්නට ලැබුණ බවත් ශානිගේ පෙත්සමේ සඳහන්.

මෙම පෙත්සම දාලා තියෙන්නේ තමාට අගතියක් සිදු කරලා, තමන්ගේ කීර්ති නාමයට හා ගෞරවයට හානි කරන්නට සහ තමන්ව සිරගත කරන්නට බව ශානි අබේසේකර මහතා ප්‍රකාශ කරලා තියෙනවා.

2018 නොවැම්බර් 30 වැනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදියට ශානි අබේසේකරලා කරපු  විමර්ශනවලදී රාජ්‍ය බුද්ධි සේවය (SIS) සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) එකතු වෙලා කුමන්ත්‍රණකාරී විදියට කටයුතු කරපු බවක් තමයි ශානිගේ චෝදනාවලින් පේන්නේ. 

ඒ අනුව ඇත්තම ඝාතකයන් වෙච්ච පාස්කු ප්‍රහාරක කණ්ඩායම මඟහැරලා, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකු ලෙස ව්‍යාජ ලෙස ඝාතත සැකකරුවන් විදියට කොටු කරන්න ඒ ආයතන කටයුතු කළා කියලා ශානි සැක කරනවා. 

අපරාධය සිද්ධවෙච්ච තැනට ගෙනැත් මෝටර් සයිකල් ජැකට් එකක් ප්ලාන්ට් කරලා තිබුණාලු. ඒ ඔස්සේ පොලිස් නිල සුනඛයින් ඉව කරගෙන යද්දී එල්ටීටීඊ සාමාජිකයෙකුගේ ගෙදරට ගියාලු. මෙන්න මේ කියන ජැකට් එකේ කතන්දරේ රාජ්‍ය බුද්ධි සේවය තමයි ශානි අබේසේකර මහතාට දීලා තිබුණේ. ඒක ඔස්සේ ඔවුන් පරීක්ෂණ කළාලු.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නොමඟ යැවීමට සහ ඝාතනවලට සම්බන්ධ සැබෑ ප්‍රහාරකයන් සොයා ගැනීම වැලැක්වීමට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කොටු කරපු බවට තමා සැක කරනවා කියා අබේසේකර මහතා ප්‍රකාශ කරලා. මේ බුද්ධි අංශ ඇති කළ ව්‍යාකූලත්වය නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කලින් සහරාන්ලාව අල්ලාගන්න බැරි වුණ බවත්, මේක කළේ සහරන්ලා බව දැනගන්නට ලැබුණේ ප්‍රහාරයෙන් පස්සේ බවත් ශානි ප්‍රකාශ කරලා. 

ඒ සිදුවීමට අමතරව ශානිගේ පෙත්සමේ තියෙන තවත් සිදුවීමක් තමයි මාවනැල්ලේ බුදුපිළළිම කැඩිමේ සිදුවීම. 

2019 පෙබරවාරි 02 වැනිදා තමන් සහ සීඅයිඩීය බාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණාලු. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීම සහ නීතිවිරෝධී ලෙස ගබඩා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළාලු.. වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් හමු වුණ සිදුවීමත් මාවනැල්ලේ බුදුපිළිම කැඩිමත් එකම කණ්ඩායමක් විසින් සිදුකළ බවට සැක කෙරෙන බැවින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කීවාලු. අනතුරු හැඟෙව්වාලු.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන හින්දා බුද්ධි අංශවල සහය මේ පරීක්ෂණවලට ලබා ගැනීමේ අරමුණින් මේ පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කරන්න කියා රවී සෙනෙවිරත්න මහතා එවකට ජනාධිපති සිරිසේන මහතාගෙන් ඉල්ලපු බවත් ශානි අබේසේකර මහතා මේ පෙත්සමේදි කියනවා. සීඅයිඩීයට ආරක්ෂක කවුන්සිලය මුණගැහිලා මේ සිදුවීම ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඒ වෙලාවේ ජනාධිපති මෛත්‍රී පොරොන්දු වුණත්, එතැනින් එහාට කිසිවක් කරන්නට ඔහු උනන්දු නොවිච්ච බවත් ශානිගේ පෙත්සමෙන් මතු වෙන චෝදනාවක්.

ශානිගේ චෝදනා අතර අනෙක් බරපතල එක තමයි පාස්කු ප්‍රහාරය දවසේ, ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා ක්ෂණිකව බුද්ධි අංශවලින් කරපු වැඩක් ගැන කතාව. ඒ කියන්නේ මෙහෙමයි. තාජ් සමුද්‍රා හෝටලයට පහරදෙන්නට බාරගත් ත්‍රස්තවාදියා වන අබ්දුල් ලතීෆ් ජමීල් ඒ්ක පුපුරවාගත්තේ නැහැ. ඊට පස්සේ හමුදා බුද්ධි නිලධාරීන් වැල්ලවත්තේ තිබුණ ඒ ත්‍රස්තවාදියාගේ අම්මාගේ ගෙදරට ගියාලු. ප්‍රහාරයෙන් පස්සේ මුල්ම ප්‍රශ්න කිරීමේ හෝ සැකරුවන් පසුපස යෑමේ සිදුවීම ඒක. හමුදා බුද්ධි අංශ ඒ එක්කම දෙමටගොඩ තියෙන ත්‍රස්තතවාදියාගේ ගෙදරටත් ගියාලු. ඒ අස්සේ, මේ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ තමයි ජමිල්ගේ බෝම්බය දෙහිවල ට්‍රොපිකල් ඉන් තානායමේදී පුපුරලා ගිය බවත් කියන්නේ. ශානි චෝදනා කරන විදියට මේ ප්‍රශ්න කිරීම් ගැන ඒ වෙද්දී පර්යේෂණ කරමින් හිටපු සීඅයිඩියට දැනුම් දෙන්න හමුදා බුද්ධි අංශ කටයුතු කළේ නැතිලු.

ඒ් විතරක් නෙවෙයි, ක්ෂණිකව ලතිෆ්ගේ ගෙවල්වලට යෑමට හමුදා බුද්ධි අංශවලට හැකියාව තිබුණ නිසා, ඔවුන් මේ කියන ත්‍රස්තවාදියා ගැන කලින් තොරතුරු දැනගෙන හිටපු බවත් ශානි සැකය මතු කරනවා. ඒ මත බුද්ධි අංශ මේ තොරතුරු දැනගෙන, ප්‍රහාරයට කලින් සීඅයිඩීයට ඒවා හෙළි නොකිරීමෙන් මේ කියන කණ්ඩායම් ගැන කලින් ඉඳලා කරපු පරීක්ෂණවලට සහයෝගය නොදුන් බවක් ශානි චෝදනා කරනවා. ඒ කියන්නේ කලින් මේ සැකකරුවන් ගැන තොරතුරු දීලා තිබුණේ නම් අත්අඩංගුවට ගන්න තිබුණ බවක්.

අනෙක් බරපතල කතාව තමයි ‘පොඩි සහරාන්’ හෙවත් මාතලේ සහරාන් ගැන ඔහු සඳහන් කරන කතාව. ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු මේ කියන කෙනාව සීඅයිඩීය අත්අඩංගුවට ගත්ත බව ශානි පෙත්සමෙන් කියනවා. මේ කියන මාතලේ සහරාන් නමැත්තා සොනික් සොනික් කියන කෝඩ් නේම් එක පාවිච්චි කරපු පුද්ගලයා එක්ක සන්නිවේදනය කරපු බවත් ශානි කියනවා. අයිපී ලිපිනයකින් මේ සොනික් සොනික් කෝඩ් නේම් එක සහිත කෙනාගේ සිම් එකක හොයා ගත්ත බවත් පෙත්සමෙන් කියන ඔහු, වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සිම් එක අරන් තිබුණේ කොළඹ නගරයේ රථවාහන කොට්ඨාශයට අනියුක්තව සේවය කරන කාන්තා පොලිස් සැරයන්වරියකගේ නමින් බව. ශානිගේ පෙත්සමේ තියෙන විදියට ඒ නිලධාරිනියගෙන් ප්‍රශ්න කළාලු. මේ සිම් එක පාවිච්චි කළේ කවුද කියා. ඇය කීවාලු ජාතික බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එක්ක තමන් අනියම් සම්බන්ධතාවක් පවත්වපු බවත්, ඒ කෙනාට සිම් එක දුන් බවත්.

ඒත් ඒ බුද්ධි නිලධාරීන් ගැන හොයා බලන්න සීඅයිඩීය උත්සාහ කරනකොට පොඩි සහරාන් සමඟ එස්.අයි.වරයා සම්බන්ධ වීම ජාතික ආරක්ෂාවට සෘජුවම සම්බන්ධ රහසිගත මෙහෙයුමක කොටසක් බැවින් ප්‍රශ්න කිරීම ඉදිරියට ගෙන නොයන ලෙසට එවකට රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ තමන්ට දැනුම් දුන්නාලු. ඒත්, ඒ දැනුම්දීම නොතකා අදාල බුද්ධි අංශ නිලධාරියාගෙන් ප්‍රකාශයක් ගත්තාලු. ඒත්, උක්ත නිදහසට කරුණුම කියමින් ප්‍රකාශයක් දෙන එක නිලධාරියා ප්‍රතික්ෂේප කළාලු.

අනෙක් බරපතල චෝදනාව තමයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලන්ත ජයවර්ධන සතුව ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අණ දෙන ව්‍යුහය ගැන තොරතුරු කලින් ඉඳලාම තිබුණ විත්තිය. 

ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඔය ත්‍රස්ත සංවිධානයේ අණ දෙන ව්‍යූහය ගැන සම්පූර්ණ තොරතුරුත්, අර පොලිස් නිලධාරීන් ඝාතනයට ඔවුන්ගේ තිබුණ සම්බන්ධයත් ඇතුළත් වාර්තාවක් පළමු වරට සීඅයිඩීයට එව්වාලු. ප්‍රහාරයෙන් පසසේ! 

එතකොටත් මාස හතරක් තිස්සේ සහරාන් ගැන සීඅයිඩීය හොයමින් හිටියාලු. බුද්ධි අංශවලින් සහයෝගයක් ලැබුණේ නැහැලු. මීට කලින් නිලන්ත ජයවර්ධන තොරතුරු දීලා තිබුණා නම් ප්‍රහාරය වළක්වාගන්න තිබුණාලු. 

උක්ත ශානි අබේසේකර මහතාගේ පෙත්සමේ තිබෙන කරුණු හුදෙක් ඇත්ත බවට විශ්වාස කරන්න ඕනෑ නැති බව තමයි අපේ යෝජනාව. ඒ කියන්නේ ශානි කී ගමන් දේවල් ඇත්ත වෙන්නේ නැහැනේ. මේ ඇවිල්ලා ඔහුගේ නිදහසට කරුණු. ඔහු පෙත්සමට දාපු කරුණු.

දැන් ආණ්ඩු හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හතර අතේ ශානිට ගහද්දී, එයා තමන්ගෙ පැත්තෙන් උත්තර දෙන්න එපායැ. ශානිට එරෙහි චෝදනාත් සියල්ල ඔප්පු වූ ඒවා නෙවෙයිනේ. ඉතින්! චෝදනා වගේම ඔහුගේ නිදහසට කරුණුත් මේකේ අපි කතා කරන්න එපායැ. 

හැබැයි ඉතින් මේ වගේ පෙත්සම්වල, වෙබ්සයිට්වල, පොඩි පොඩි තැන්වල දෙපැත්තටම චෝදනා කරමින් කරුණු තිබිලා හරියන්නේ නෑ. මේ කාරණා ගැන නිශ්චිත විමර්ශන කරන්න සිදු වේවි.