ඉන්ධන අර්බුදය බරපතලයි! පිරවුම්හල්වල පෝළිම්, සලාක ක්‍රම, තව ඒවා වැහිලා

ඉන්ධන හිඟය නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල රුපියල් තුන්දාහක් වැනි සීමාවක් මත ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල්වල පෝළිම් ඇති බවත්, තවත් ඒවා වසා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවලින් පෙනෙනවා.

ඊට අමතරව තවත් බරපතල කාරණයක් වන්නේ ඉන්ධන නොමැති වීම නිසා සලාක ක්‍රමයක් හඳුන්වාදීමට සිදු වනු ඇති බව. මේ වෙද්දී කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර සලාක ක්‍රමයක් හඳුන්වාදිය යුතු බව ප්‍රකාශ කරලා තියෙනවා. නිල වශයෙන් නොවුණත් ඉදිරියේදී අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවාවලට මුලින් ඉන්ධන ලබා දී, ඉතිරි ඉන්ධන ප්‍රමාණය රුපියල් දෙදහස හෝ තුන්දහස වැනි සීමා මත පිරවුම්හල්වින් ලබා දෙන්නට ඉඩ තියෙනවා. එය කිරිපිටි එක පැකට්ටුවක් පමණක් ලබා දීමට සුපිරි වෙළඳසැල් ප්‍රයෝගිකව තීන්දු කළ තත්වයට සමානයි.

ඒ කියන්නේ රජයේ නිල තීන්දුවක් නොවුණත්, එවැන්නක් ක්‍රියාත්මක වනු ඇති.

මේ වෙද්දී ශ්‍රී ලංකාව ඉන්නේ ඉතාම තීරණාත්මක ඛනිජතෙල් අර්බුදයක් මැද. වාහනය ගෙදර තියෙද්දී බයිසිකලයෙන් යන්න සිදුවනු ඇතැයි කියන්නේ වෙන කවුරුතත් නෙවෙයි, බලශක්ති විෂයභාර ඇමති උදය ගම්මන්පිළමයි.

ඔහු මව්බිම පුවත්පතට එම අදහස් පළ කරන ලද වාර්තාව පහතින්.

‘රට තුල ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි බවත් මේ වන විට සැපයිය හැක්කේ දෛනික ඉල්ලුමෙන් 50%ක් පමණක් බවත් බලශක්ති අමාත්‍යාංශය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳ පොළේ ඉන්ධන හිගයක් පෙනී යන්නේ ඒ හේතුව නිසා බවද අමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරායට පෙට්රල් නැවක් දැනට පැමිණ ඇති බවත් එයට මුදල් ගෙවා ඇති අතර එය අද දිනයේ වෙළඳපොළට නිකුත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ඩීසල් නැවක්ද වරායට පැමිණ ඇති නමුත් එයට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 35 මෙතෙක් සූදානම් කරගත නොහැකි නිසා එය ගොඩබාන දිනයක් කිව නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ මව්බිම පුවත්පත සමග අදහස් පල කරමිනි.’

ලංකාදීප පුවත්පත ඛනිජතෙල් සංස්ථාවට ණය ලබා නොදීම ගැන පළ කර තිබුණු වාර්තාව පහතින්.

‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද කබ්රාල් මහතා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.

” ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා” යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.

මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කළේ‍ය.

තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

– ලංකාදීප’

මේ සියල්ලෙන් පෙනෙන්නේ සංදර්ශන දමා, ආණ්ඩුව අවසන් කරමින් සිටින බව කියන ඩොලර් අර්බුදය ඇත්තටම අවසන් වී නොමැති බව. මේ වෙද්දී ආර්ථික අර්බුදය විසඳන්නට සමත් දක්ෂයන් බව මවා පෙන්වමින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වූ දේශපාලනඥයෙක් මහ බැංකු අධිපති පුටුවටත්, පාර්ලිමේන්තුවේ නොමැති ද්විත්ව පුරවැසියෙක් මොළ හතක් ඇතැයි කියා මුදල් ඇමතිකමටත් පත් කළා. ඒ විජ්ජාකාරයන් ඇවිත් මාස ගණන් ගත වුණත් අර්බුදය තවත් උග්‍ර වන බවයි පෙනෙන්නේ.

රට ගෝත්‍රික යුගයකට ගමන් කරන බව පුංචි රණ්ඩුවක් ගැන කම්පනයට පත් වූ නාමල් රාජපක්ෂ නම් අගමැති පුතණුවන් කියා තිබුණා. ඔහු ඒ ප්‍රකාශයට පදනම් කරගත් සිදුවීම නිසා ඒ කතාව විහිළුවක් වුණත්, කුප්පු ලාම්පු සහ පන්දම් එළියත්, ගොං කරත්ත සහ බයිසිකල් ආදියත්, දර ලිප් හා භූමිතෙල් ලිප් ආදියත් එක්ක ප්‍රායෝගිකව රට ගෝත්‍රික යුගයකට යන බව පෙනෙනවා.