බලශක්තිය නිපදවන්න, අපේ විද්‍යාඥයො චුට්ටි ‘සූර්යයෙක්’ හදලා! මනුෂ්‍යත්වය දේවත්වයට නංවන පර්යේෂණය!

භාග්‍යා උඩුවරගෙදර

න්‍යෂ්ටික විලයනය එහෙම නැත්නම් nuclear fusion කියන ක්‍රියාවලියට බලශක්තිය නිපදවන්න කියන ප්‍රශ්නයට සාක්ෂි එක්ක උත්තරයක් ඕනෑද? රෑ අහස දිහා බලන්න. ජෙට් එකක්, සැටලයිට් එකක් හැරුණාම රෑට අහසේ දිදුළන හැම ආලෝකයක්ම න්‍යෂ්ඨික විලයනයෙන් නිපදවූ ඒවා. 

විශ්වය ගැන අධ්‍යනය කරන අයට වැටහෙනවා අපට භෞතිකව විශ්වයේ හම්බවෙන බලවත්ම සහ සුලභම බලශක්තිය නිපදවන බලවත් වස්තු විශේෂය තාරකා බව. අපේ ඉර වගේ ඉරවල්. අපට පොඩි දැනුමක් තියෙන විෂයක් වන කළු කුහර වාගේ නෙවෙයි, තාරකා ගැන අපි බොහෝ කරුණු දන්නවා. ඒවා හැදිලා තියෙන්නේ මොනවායින්ද කියා දන්නවා.  

ඉතින්, තරුවකට කොච්චර බලශක්තියක් උත්පාදනය කරන්න පුළුවන්ද කියා අමුතුවෙන් විස්තර කරන්න ඕනැ නැහැනේ. මහ දවාලේ මුළු ලෝකෙටම එළිය දෙන්න තරම් බලයක් අපේ සූර්යයාට තියෙනවානේ. ඒ සූර්යයාගෙන් මෙච්චර ඈතට එන හිරු කිරණවලින් විතරක් වුණත් අපට ‘සූර්ය බලය’ නිපදවන්න හැකි වෙනවානේ.  

ඉතින්! අපට පුංචියට ‘සූර්යයෙක්’ හදාගන්න පුළුවන් වුණොත්, කොච්චර බලශක්තියක් නිපදවන්න හැකි වේවිද? දශක ගාණක් තිස්සේ විද්‍යාඥයන් ඔය වැඩේ සාර්ථක කරගන්න උත්සාහ කරනවා. පර්යේෂණ කරනවා. පහුගිය සතියක සිද්ධ වුණේ ඒ පර්යේෂණවල දැවැන්ත පිම්මක් පනින්නට විද්‍යාඥයන් සමත් වීම.  

එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්ෂයර් කියන ප්‍රදේශයේ කල්හැම් සෙන්ටර් එකේ විද්‍යාඥයන් තමයි කුඩා තරුවක් නිපදවමින් මේ කියන අලුත් සන්ධිස්ථානයට ළඟා වුණේ. 

මේ පර්යේෂණය විද්‍යාඥයන් සිදු කළේ, ඩෝනට් එකක හැඩයක් තියන යන්ත්‍රයක ඉඳන්. මේ යන්ත්‍රය ජේඊටී හෙවත් ජෙට් යුරෝපියන් ටෝරස් යන නමින් හඳුන්වනවාලු. මීට කලින් න්‍යෂ්ඨික විලයනය මගින් නිපදවාගත් වැඩිම බලශක්ති ප්‍රමාණයට අදාල වාර්තාව 1997 දී තැබු එකක්ලු. එදා තැබූ වාර්තාව දෙගුණ කරන්නට මෙදා විද්‍යාඥයන් සමත් වෙලා. වැඩේ කියන්නේ මේ පුංචි පර්යේෂණයෙන් නිපදවූ ප්‍රතිදානය මුහුදු වෙරලේ සුළං ටර්බයින් 4 කින් නිපදවන ප්‍රතිදාහයට සමාන වෙලා තියනවා. ඒ කියන්නේ විශාල බලක්ති ප්‍රමාණයක්. ඒ අනුව කර්මාන්ත මට්ටමෙන් බලශක්තිය නිපදවන්නට මේ තාක්ෂණය පාවිච්චි කිරීම පැත්තෙන් දැවැන්ත ඉදිරි පියවරක් මේ.  

ජෙට්හි සැලසුම් සහ අරමුණු වලට අනුව ඉන්ධන රත් කරන්න අවශ්‍ය බලයට වඩා අඩු විලයන බලයක් තමයි ජනනය වුණේ. අනෙක පර්යේෂණය තප්පර 5ක් අතරේ නතර කරලා තිබුණේ තාපය නිසා. ඇත්තටම අපේ සුර්යයාගේ මැද තියෙන උෂ්ණත්වය වගේ දහ ගුණයක උෂ්ණත්වයක් මේ පර්යේෂණයේදී නිපදවෙනවාලු. අච්චර ඈත තියෙන ඉර එක්ක මහ දවාලේ එළියට බහින අපට ඔට්ටු වෙන්න බැරි එකේ, ලේසි පහසු උෂ්ණත්වයක් එක්ක නෙවෙයි මේ විද්‍යාඥයන් ඔට්ටු වෙන්නේ. ඉතින්, තප්පර පහෙන් එහා ගිහින් දීර්ඝකාලීනව සහ මහා පරිමාණයෙන් වැඩේ කරගෙන යන්නට ඉදිරියේදී පර්යේෂණවල දියුණුවක් සිද්ධ වෙන්න ඕනෑ.  

ඒත් ඉතින් න්‍යෂ්ඨික විලයනය පැත්තෙන් පර්යේෂණය කරන ලොව පුරා විද්‍යාඥයන්ට මේක දැවැන්ත ජයග්‍රහණයක්.  

මේ වෙද්ප්‍දී රංශයේ ඉදිවෙමින් තියන ඉටර් කියන ව්‍යාපෘතියෙන් ‘ජෙට්’ එකට වඩා දැවැන්ත විදියට ‘තාරකා මැෂිමක්’ නිපදවනවා. ඒ්ක ලෝකයේ රටවල් 35ක පමණ සහයෝගයෙන් කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක්. තරහකාර රටවල් පවා එකට ළං වෙලා සහයෝගයෙන් මේ වැඩේ කරගෙන යන්නේ ‘ස්වභාවධර්මයා’ මැවූ සූර්යයන් වගේ දැවැන්ත වස්තුවක් ගෙදරදීම අනුකරණය කරලා බලශක්තිය මවන ‘දේවත්වයට’ ළං වූ ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන්. 

මේ විද්‍යාඥයො තරු බලය ප්‍රතිනිර්මාණය කරනවද කියන එක සමාජයෙ අපට බලපාන්නෙ කොහොමද ? අපි මේක ගැන දැනුවත් වෙන්න ඕනෑ ඇයි? 

විලයන ශක්තියට මුලු පෘථිවියටත්, ඉන් එහා අභ්‍යවකාශයටත් සුපිරිසිදු බලයක් දෙන්න හැකියාවක් තියනවා. මේ පර්යේෂණ හරියට සාර්ථක කරගන්න පුළුවන් වුණොත්, පෘථිවියේ ඉන්න සෑම කෙනෙක්ටම අවම වශයෙන් වසර දහස් ගානක් යනතුරු, සමහර විට වසර මිලියන ගානක් යනතුරු සාමන්‍ය ඇමරිකානුවෙක් අවුරුද්දකට පාවිච්චි කරන තරම්ම බලශක්තිය පරිභෝජනය කරන්න පුළුවන්.  

ඇත්තටම තාරකාවලින් බලය නිපදවන ක්‍රමය ඉතාම වැදගත් වෙන්නේ ඒ හරහා අපි වැය කරනවාට වඩා වැඩි බලශක්තියක් උත්පාදනය කළ හැකි නිසා. මේ වෙද්දී දේශගුණ අර්බුදය ගැන අපි කතා කරනවා. ඒ අර්බුදයට විසඳුම් විදියට හරිතාගාර වායු විමෝචනය අඩු පරිසර හිතකාමී බලශක්ති ප්‍රභේදවලටත් අවධානය යොමු වෙනවා.  

එවැනි බලශක්ති ප්‍රභේද අතරින් මේ ‘ගෙදරදීම සූර්යයෙක් හදාගන්න’ ක්‍රමේ හරිම ප්‍රමුඛ එකක්. ඒත් ඉතින් හෙට අනිද්දා බලශක්ති අර්බුදවලට විසඳුම් හොයන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න බැරි වේවි. මොකද, පර්යේෂණවලට තව දිර්ඝ කාලයක් වැය වේවි. 

අනෙක් කාරණය තමයි වෙනත් න්‍යෂ්ඨික බලශක්ති ක්‍රම වාගේ දීර්ඝකාලීනව හානිකර විකිරණශීලී අපද්‍රව්‍ය මේකෙන් උපදින්නෑ. චර්නොබිල් හෝ ෆුකුෂිමා වාගේ න්‍යෂ්ඨික බලාගාර පුපුරලා මහා භයංකර විනාශයන් සිද්ධ වෙන්නේත් නෑ. 

හිතේ හැටියට බලශක්තිය ලැබුණා කියන්නේ, මනුෂ්‍ය වර්ගයාගේ හැකියාවන් දෙගුණ තෙගුණ වෙනවා. වැඩි බලශක්තියක් එක්ක අපි කරන හැමදේකම පවර් එක කිහිප ගුණයක් වෙනවා. ඉන්ටර්නෙට් වේගය වැඩි වීමේ ඉඳන් මාර වේගෙන් ගමන් කරන ප්‍රවාහන දක්වාත්, හිතෙන හිතෙන සැරේට අභ්‍යවකාශයට යෑමේ ඉඳන් තවත් බොහෝ දේ කරන්නට මනුෂ්‍ය වර්ගයාට ඍජුව හෝ වක්‍රව මේ බලශක්තිය උදව් වේවි.  

අවුරුදු සිය ගාණකට කලින් වාෂ්ප එංජිම හොයා ගත්තා වාගේ, ටෙස්ලා විදුලි බලය පාවිච්චි කරන්න පටන් ගත්තා වාගේ, ගල්අගුරු එන්ජිම වාගේ කිහිප ගුණයක් ප්‍රබල පිම්මක් බවට මේ ‘ගෙදරදීම සූර්යයෙක් තනාගැනීමේ’ තාක්ෂණය පත් වේවි. මනුෂ්‍යත්වය මහා බල සම්පන්න දේවත්වයක් දක්වා ඉහළ නංවාවි.