අවුරුදු තුනකට පස්සේ ‘චියාන්’ වික්‍රම්ගෙන් ‘මහාන්’! -මාස්ටර්පීස් හොඳේ…

‘චියාන්’ වික්‍රම් සහ ඔහුගේ පුතා දුර්ව් රඟපාන, කාර්තික් සුබ්බුරාජ් අධ්‍යක්ෂණය කරපු මහාන් ෆිල්ම් එක අවුරුදු තුනකට පස්සේ වික්‍රම් නැවත තිරයට ගෙනාවා. ‍කාර්තික් තරුණ ෆිල්ම්මේකර් කෙනෙක් විදියට පීසා ෆිල්ම් එක කරලා, ඉන්දියන් සිනමාවට වෙනම හැඩතල ගෙනල්ලා අවුරුදු දහයක් 2022ට. ඔහු තවමත් ෂාප් කියා මේ ෆිල්ම් එකෙන් පෙන්නුවා.

මහාන් ෆිල්ම් එකේ තියෙන්නේ සිම්පල් කතාවක්. ගාන්ධි මහාන් කියන චරිතය තමයි වික්‍රම් රඟපාන ධාන චරිතය. නිදහස් සටනටත් දායක වෙච්ච ගාන්ධිවාදී පවුලක පුතෙක්. දැන් අවුරුදු 40ක ගුරුවරයෙක්. මත්පැනටත්, හිංසනයටත් විරුද්ධ පවුලක ඉපදුණාට, ඇත්තටම මේ ගාන්ධි මහාන් යටිහිතෙන් ආස ඒ ගාන්ධිවාදි උපාසක ජිවිතේට නෙවෙයි. ඔහු යටිහිතින් හිංසනයට ආසයි, බොන්න ආසයි, සූදුවට ආසයි, කපු ඇඳුම් වෙනුවට වෛවර්ණ ඇඳුම් අඳින්න ආසයි.

එකම එක දවසක් ඔහු උපාසක දැහැනෙන් බිඳෙනවා. චුට්ටක් බොනවා. ඒක දැනගත්ත එයාගේ බිරිඳත්, ළමයාත්, පවුලත් ඔහුව අතෑරලා යනවා. වැලේ වැල් නැතිවෙච්ච ඔහු බාර් හිමියෙක් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඔහුත් මත්පැන් වෙළෙන්දෙක් සහ පොඩි අපරාධකාරී ජීවිතයක් ගෙවන කෙනෙක් බවට පත් වෙනවා. කකා, බිබී, සල්ලි හම්බකරලා බ්‍රේක් නැති ජීවිතයක් ගෙවනවා. එක්තරා දවසක ඔහුගේ පුතා ආයෙමත් එනවා!!! දුර්ව් වික්‍රම්.

ඉතින්! නොසිතූ දේවල් සිද්ධ වෙනවා. ඕකයි කතාවේ මූලික හරය. ඒත් මුල, මැද, අග ගලපපු ඉහළම මට්ටමේ තිර රචනාවක් මත හැදිච්ච කතාවක් මේක. කලින් කීව මතුපිට කතාවට එහා ගිහින් ගැඹුරු තේරුමකුත් තියෙන කතාවක්.

ඇත්තටම මේ ෆිල්ම් එකේ පැයයි විනාඩි 17ක් යනතුරු  මහාන් ෆිල්ම් එක මහ ලොකු විශේෂයක් නැති, ඒත් වික්‍රම්, බොබී සිම්හා ඇතුළු අයගේ ඇක්ටින්, සන්තෝෂ් නාරායන්ගේ මියුසික් සහ කාර්තික් සුබ්බුරාජ්ගේ ලස්සන දර්ශන එක්ක හෙමීට ගලාගෙන යනවා. තවත් එක ෆිල්ම් එකක්! කාර්තික් සුබ්බුරාජ් ‘ තමන්ට පුළුවන් උපරිම ෆිල්ම් එක එළියට දාන්න සමත් වෙලා නැහැ.’ කියලා හිතනවා.

ඒත්! එකපාරම ගාන්ධි මහාන්ගේ පුතා දාදා හෙවත්, දුර්ව් වික්‍රම් එනවා. ඇත්තටම අපි දුර්ව් රගපෑව පළවැනි ෆිල්ම් එක බලලලා තිබුණේත් නෑ. අර්ජුන් රෙඩ්ඩි කියන තෙලිගු ෆිල්ම් එකේ රීමේක් එක. ඒ නිසා මුල්ම වතාවට වික්‍රම්ගේ පුතාව දැක්කේ මේ දර්ශනයේදී.

‘අඩයාලම් තෙරිල්ල? උංග පුල්ල! දාදා! වන්දිට්ටා…’ ගොරෝසු කටහඬකින් දුර්ව් කියන්නේ දේව පූජාවක නටන අස්සේ. (අඳුනගන්න බෑ නේද? ඔයාගෙ පුතා! දාදා! ආවා!)

එතැන් පටන් ප්‍රේක්ෂකයාගේ හිතේ ලොකුම ලොකු ගලක් එල්ලුවා වගේ තමයි. දරාගන්න අමාරු තරම් බර ඉමෝෂන් එක්ක ෆිල්ම් එක දුවන්නේ. ඇත්තටම ඊළඟට වෙන දේ හිතාගන්න බෑ. කතාව ඇතුළෙ ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත ගැන හැබෑම බයක් දැනෙනවා. ඒ වගේම සමහර චරිත ගැන හැබෑම කේන්තියකුත් දැනෙනවා. ප්‍රධාන චරිතය ගැන තදබල අනුකම්පා සහගත හැඟීමකුත් දැනෙනවා.

ජනප්‍රිය ඉන්දීය ෆිල්ම්වල ලොකු අඩුවක් තමයි මේ සැබෑ ඉමෝෂන් උත්පාදනය කරන්න ගොඩක් ෆිල්ම්වලට බැරි වෙන එක. අපි දන්නවා වීරයා දිනනවා කියලා. අපි දන්නවා වීරයාට දුෂ්ඨයාගේ හොම්බට පණහක් ඇනලා අන්තිමේදී සියල්ල විසඳන්න පුළුවන් කියලා.

ඇත්තටම දිගින් දිගටම ගොඩක් ඉන්දියන් සිනමා විචාරකයනුත් අහපු ප්‍රශ්නය තමයි දැන් ප්‍රබල දුෂ්ඨයන්ව සිනමාවට ගේන්න කොච්චර අසීරුද කියන එක. විශේෂයෙන් වීරයාව හැබෑවට අමාරුවේ දාන දුෂ්ඨයන්ව.

ඒත්, මේ ෆිල්ම් එකේදී ඒක සාර්ථකව කෙරෙනවා.

දාදාගේ චරිතය තමයි මේ ෆිල්ම් එකේ ලොකුම සප්‍රයිස් එක. ඇත්තටම බ්‍රේක් නැති, උමතු මිනීමරුවෙකුගෙ චරිතය ඔහු අපූරුවට කරනවා. චරිතයට පුදුමාකාර පෞරුෂයක්, එනර්ජි එකක් වගේම ගුප්ත බවක් ගේන්න දුර්ව් සමත් වෙනවා.  

කොහොම වෙතත් මේ ෆිල්ම් එක කාර්තික්ගේ හොඳම ෆිල්ම් එකක් වෙන්නේ හුදෙක් රසවත් කතාවක් කියනවාට එහා ගිහින් ටිකක් සැබෑ කෑල්ලක් ෆිල්ම් එකේදී කතා කරන නිසා. ඉරයිවි ෆිල්ම් එක හැරුණාම කාර්තික්ගේ රියල් සමාජ මාතෘකාවක් කතා කරන අනෙක් ෆිල්ම් එක තමයි මේක.

මොකක්ද ඒ කතාව? ගාන්ධි මහාන්ට ජීවිතේ අවුරුදු 40ක් යනතුරු හිර කරගත්ත ජීවිතයක් ලැබුණේ ඉන්දියාවේ තියෙන සදාචාරවාදී ජීවන රටාවකට බලෙන් අනුගත වෙන්න සිද්ධ වුණ නිසා. ගාන්ධි මහාන්ට සිද්ධ වෙනවා තමන් ඇත්තටම කැමති නැති විනෝදයක් නැති ජිවිතයක් ගත කරන්න. එයා විනෝදය කියලා යටිහිතින් විශ්වාස කරන දේවල් නොකර ඉන්න ගාන්ධිට සිද්ධවෙනවා. ගාන්ධිගේ පවුල බොන්නේ නෑ විතරක් නෙවෙයි, බොන උංට බොන්න නොදී අරක්කු තහනම් කරන්න කියලා කැම්පේන් පවා කරනවා. අනුන්ගෙ ජීවිත, අනුන්ගෙ විනෝදය ජජ් කරනවා. ඒ විනෝදය සීමා කරන්න උත්සාහ කරනවා.  

ඒ වගේම අරක්කුවලට විරුද්ධයි කියලා පොලීසිය දරුණු විදියට අරක්කු වෙළෙන්දන්ව මරා දාන තැනකට එනවා. ‘ගාන්ධිවාදය’ වෙනුවෙන් කියා මිනිස්සුන්ව මරා දානවා.

මේ ෆිල්ම් එකේ එක තැනක අරක්කු වෙළෙන්දෙක් මෙහෙම කියනවා.

‘ඔව්! අපි අරක්කු ෆැක්ටරියක් කරනවා. අපි කාටවත් අලෙං බලෙන් බීපං කියලා පෙව්වේ නෑ. ඒ උංගේ චොයිස් එක. උඹලා තමයි බලෙන් උඹලගෙ මතවාදය අනුන්ගේ උගුරට බලෙන් පොවන්නේ. කාටවත් නිදහසේ ජීවත්වෙන්න දෙන්නෙ නැත්තේ.’

අද අනෙක් මිනිස්සුන්ගෙ සතුට කඩාකප්පල් කරන ගාන්ධිවාදී හෝ වෙනත් ආගමක් අල්ලාගෙන කෑගහන අය කොච්චර ඉන්නවාද? සමහර අය කන්න කැමති මස් ජාති කන්න නෑ. කඩ වස්සනවා. සාහිත්‍ය, කලාව, සිනමාවට නිදහස නෑ. මොකක්හරි සදාචාර සීන් එකක් කියලා ඒවා මර්දනය කරනවා.

එක තැනක ගාන්ධි තමන්ට විරුද්ධ කෙනෙකුගෙන් මෙහෙම අහනවා.

‘මේ රටේ මනුස්සයෙක් කිවොත්, මට තියෙන්නෙ එක ජීවිතයයි. මම කිසිම සදාචාරයක්, ප්‍රතිපත්තියක් ෆලෝ කරන්නේ නැහැ කියලා. මට ආස හිතෙන විදියට තමයි ජීවත්වෙන්නේ කීවාම, ඒක වැරදිද?

හැමෝටම පැත්තක් අරන්, කල්ලිවලට බැඳිලා උං කියන දේවල් පිළිපැදලා අනෙක් අය එක්ක රණ්ඩුවෙලා එකිනෙකා මරාගෙන මැරෙන එකද හරි?

මං වැරදි ගොඩක් කරලා තියෙනවා. ඒත් වැරදි කරපු කෙනෙක්ට තීන්දු ගන්න නිදහස නැත්නම්, ඒක නිදහස නෙවෙයි කියලා ගාන්ධි කියා තියෙනවා.

කිසිම මතයක් නැතිව, හිතුමතේ ජීවත්වෙච්ච මාත් අන්තවාදියෙක්. මතවාදයකින් අන්ධ වෙලා ඒකට විරුද්ධ හැමෝම විනාශ වෙන්න ඕනෑ කියන ඔයාත් අන්තවාදියෙක්.’

කිසිම අන්තවාදයකට අහු නොවී, සැහැල්ලුවෙන් මනුෂ්‍යත්වය බෙදාගෙන ජීවත් වෙන එකයි වැදගත්. අනෙක් පැත්තෙන් යම් කෙනෙක් වැරැද්දක් කළාම ඒක ගැන කතා කරන එක මිසක් කඩා බිඳ දාලා අතෑරලා යන එක නෙවෙයි වැඩේ. ආසාවල් පාලනය කරන එක, හඹායෑම් අතාරින එක ආදී නොයෙකුත් හැබෑ ඉමෝෂනල් කෑලි ගොඩක් මැද්දෙන් කාර්තික්, වික්‍රම්, දුර්ව්, බොබී, සන්තෝස් නාරායනන් ඇතුළු සෙට් එක නියම ෆිල්ම් එකක් ‘මහාන්’ නමින් කරලා තියෙන බව තතමයි අවසානයේ කියන්න ඕනෑ.