හඳගමගේ අල්බොරාදා බලන්නේ කොහොමද?

මේක අශෝක හඳගමගේ අල්බොරාදා ෆිල්ම් එක ගැන විචාරයක්ම නෙවෙයි. අපි මේකෙදී කතා කරන්නේ අල්බොරාදා නොබැලූ කෙනෙක්ට ඒක බලන විදිය ගැනත්, බැලූ කෙනෙක්ට ඒක තමන්ගේ ජීවිතයේ වැදගත් අත්දැකීමක් විදියට එකතු කරගන්නා ආකාරය ගැනත්. මේක ඇත්තටම හඳගමගේ නිර්මාණයටතත් එහා ගිහින් පොදුවේ කලා කෘතියක් විඳීම ගැන අදහසක්.

අශෝක හඳගම ඇතුළු නිර්මාණකරුවන්ගෙ ෆිල්ම් එකක් විඳින හැටි, ඒ එක්ස්පීරියන්ස් එක සම්පූර්ණ වෙන ආකාරය ගැන සමහරවිට ඔබට අවබෝධයක් ලැබේවි.  

අල්බොරාදා අත්දැකීම කම්ප්ලීට් වෙන්නේ එක පැත්තකින් සිනමාහල තුළ අපි බලන එකෙන් විතරක් නෙවෙයි. ඒක බැලුවාට පස්සේ අපේ ජීවිතේ මතකයට එකතු කරගන්න විදිය, බලද්දී අපි හිතන දේවල්, ඒ වගේම චිත්‍රපටියේ පසුබිම ගැන අපි දන්න දේවල් එක්ක.

චිත්‍රපටියකට අදාල යම් පසුබිම් කතා ටිකකුත් තියෙනවානේ. පැබ්ලෝ නෙරූදා කියන්නේ කවුද කියා ටිකක් දැනගන්න ඕනෑ.

ඔහු විසිවැනි සියවසේ ලෝකයේ හොඳම කවියා විදියට ගේබ්‍රියෙල් ගාෂියා මාකේස් හැඳින්වූ විශිෂ්ඨයා. ඒ හැරුණාම මානව හිතවාදියෙක්, අධිරාජ්‍ය විරෝධියෙක්, ප්‍රගතශීලී කෙනෙක් විදියට ඔහුව සලකනවා. ඔහුගේ උපන් රට වෙච්ච චිලි රටට විතරක් නෙවෙයි, ලතින් ඇමෙරිකාවටම ඔහු ‘දෙවියෙක්’ වගේ වීරයෙක්.

ලංකාවේ මාටින් වික්‍රමසිංහ, අමරදේව, සරච්චන්ද්‍ර, මහගමසේකර හෝ ලෙස්ටර් වගේ හිතන්නකෝ. නෙරූදා ඇවිල්ලා ඒ අයටත් එහා ගිහින් ලෝකෙම අවධානය රටට දිනා දුන් කෙනෙක්.

ඉතින් මේ දෙවියෙක් වගේ මනුස්සයා තමන්ගේ ජීවිතේ පරිණතකම ලැබෙද්දී ලියපු මතක සටහන් පොතක තියෙනවා තමන් තරුණ කාලෙ, ඒ කියන්නෙ නවසිය විසි ගණන්වල සුද්දා යටතේ තිබුණ ලංකාවේ ඔහු තානාපති සේවයේ වැඩ කරපු කාලෙ, කරපු ස්ත්‍රී දූෂණයක් ගැන ලොකුම ලොකු හෙළිදරව්වක් ඒ පොතේ කරනවා.

ඇත්තටම නෙරුදාගේ මතක සටහන් පොතේ තියෙන වචන අනුව ඒක ‘ස්ත්‍රී දූෂණයක්’ විදියට අමු අමුවේ හෙළි වෙන්නේ නෑ. ඒ වෙනුවට පොඩි සාහිත්‍යමය වචන දාලා මිනිහා යටපත් කරලා තියෙන්නේ. මම ‘පිළිමයක් එක්ක සැතපුණා’ වගෙයි. ඒ ගෑණු කෙනා තමන්ට කැමති නොවූ බව, නැවත කිසිදා ඒක සිදු නොවූ බව ආදි දේවල් දාලා තියෙනවා. කොහොමහරි දේව පිළිමයකට වාගේ ඇයව සමාන කරලා ඔහු තමන් විසින් බලෙන් සෙක්ස් කරපු ගෑණු කෙනාව සෑහෙන ගුප්ත දේවතාවියක් වගේ එකකට සමාන කරලා සිද්ධිය යටපත් කරනවා. ඒත්, කතාව මැද්දෙන් පේනවා ඔහු මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා.

ඉතින් මෙතැනින් එහාට නෙරූදා සහ ඔහු ලංකාවේ සිටි කාලය ගැන දැනුම ලබාගන්න හොඳම ක්‍රමයක් තමයි එක්කෝ අපේ යූටියුබ් චැනල් එකේ තියෙන හඳගමගේ ඉන්ටවීව් එක බලන එක. නැත්නම් හඳගමගේ ෆේස්බුක් වෝල් එකත් බලන්න පුළුවන්. ඒවා තුළින් චිත්‍රපටිය ගැන පසුබිම් දැනුමක් ලැබේවි. ලෙහෙසියෙන්ම ෆිල්ම් එකේ තියෙන කතාව විඳින්න හැකි වේවි.

අනෙක් පැත්තෙන් ෆිල්ම් එකේ කාලය ගෙවී යන විදියත් අවබෝධ කර ගැනීම වටිනවා.

අතරින් පතර අපි දැක්ක කමෙන්ට්ස්වල තිබුණා මේ ෆිල්ම් එකේ මුල් ටික වැඩක්ම නැහැ, තේරෙන්නේ නැහැ ආදී අදහස්. නැත්නම් ‘මන්දගාමීයි’, ‘බෝරිං’ වගේ අදහස්. ගොඩක් අය දාන මේ අදහස් වේගයෙන් පැතිරෙන නිසා සමහරුන් චිත්‍රපටිය බලන්න යන්න පෙළඹෙන්නේ නෑ. ඒ අයගේ ජීවිතවලින් වැදගත්ම අත්දැකීමක් මඟහැරෙනවා.

අපි හදාගත්ත ජනප්‍රිය අදහසක් තමයි අපි ෆිල්ම් හෝල් එකකට ගියොත් අනිවාර්යයෙන්ම ‘ඩොපමේන්’ වැඩිපුර ලැබෙන, වේගවත් අත්දැකීමක් වෙන්න ඕනෑ කියලා. කුතුහලයත් එක්ක යම්කිසි නිශ්චිත මනුෂ්‍ය හැඟීම් ටිකක් වේගයෙන් ඇවිස්සීගෙන, ඇවිස්සීගෙන යන, කම්මැලි නොවී කාලය වේගයෙන් ගෙවී යන අත්දැකීමක් ෆිල්ම් හෝල් එකේදී අපි හොයනවා. කාලය නතර වෙලා වගේ දැනෙන්න හොඳ නැහැ. එතකොට නැගිටලා යන්නෙ කොයි වෙලේද කියන ප්‍රශ්නය එනවා. ඒ නිසා කාලය වේගයෙන් යන්න ඕනෑ. වේගවත් ශබ්ද එක්ක, රූප වේගයෙන් මාරු වෙන්න ඕනෑ. සිදුවීමෙන් සිදුවීම ඉක්මනට පහු වෙන්න ඕනෑ.

ඒ නිසා තමයි අපේ සමහරුන් ‘කලාත්මක සිනමාව’ කියලා එකකට නොතේරෙනවා, බොරු වැඩ ආදී දේවල් කියමින් බැණවදින්නේ. කම්මැලියි, තේරෙන්නෑ, ගන්න දෙයක් නෑ කියලා හිතෙන්නේ. ප්ලොට් ට්විස්ට් නැති තරම්, කතාව එක තැනක නතර වුණා වගෙයි.

ආ! හෝල් එක ඇතුළේ එක තැන කාලය නතර වුණා වගේ දැනෙන හැඟීමට යමක් එකතු කළොත්.

කාලය ගෙවී යෑම ගැන ලස්සන දෙයක් තමයි, කාලය හැම තැනදීම සමාන වුණාට මනුෂ්‍ය අත්දැකීම්වලදී කාලය එක සමාන නැහැ. ඒ කියන්නේ අපට කිසිම දෙයක් නොකර පැය දෙකක් කවුරුහරි එනතුරු බලා ඉන්න වුණොත් කාලය ගෙවී යන එක අතින් අල්ලන්න පුළුවන් තරම් හෙමින්. හොඳම උදාහරණය කරන්න දෙයක් නැතිව ගෙවල්වල හිරවුනු ලොක්ඩවුන් කාලය. ඒ කාලයේ මතකයට ගියොත් කාලය ගෙවී ගියේ මාර හෙමින් කියා දැනෙනවා ඇති.

ඒ වෙනුවට වීකෙන්ඩ් ට්‍රිප් එකක් ගියොත් අපට දවස් දෙක ඉවරවුණේ මාර වේගෙන් කියා හිතේවි. ඕක වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කිරීම සහ පොතක් කියවීම කියන දෙකටත් අදාලයි. පොතක් කියවද්දී කාලය ගෙවෙන්නේ හෙමින්.

හැබැයි කාලය හෙමින් ගෙවපු වෙලාවක් සහ කාලය වේගයෙන් ගෙවපු වෙලාවක් අතර තව වෙනසක් තියෙනවා. ඔය අධිවේගයෙන් කාලය ගෙවුණ වෙලාවක් විනෝද ඇති. හැරිලා බැලුවාම ගොඩක් දේවල් කළා වගේ හැඟෙනවා ඇති. ඒත්, මනුස්සයෙක් විදියට ඔබව වෙනස් වුණාද? මනුස්සයෙක් විදියට ඔබ දියුණු වුණාද? අලුත් වුණාද? නැත්නම් ඔහේ ‘විනෝදෙන්’ කාලය ගෙවී ගියාද?

ඒත් ඔය හැඟීම් අදාල වෙන්නේ සජීවීවව ඒ මොහොතේ ජීවත්වෙද්දී විතරයි. ආපහු හැරිලා බලද්දී, වීකෙන්ඩ් ට්‍රිප් එකේ ගොඩක් දේවල් කළා වගේ මතකයේ රැඳේවි. මොනාවත් නොකර හිටපු වෙලාවේ කිසිදෙයක් නොකළා වගේ හැඟේවි. ඔබේ ජීවිතේ හැපනින්ම අවුරුද්දකට වඩා, කිසිදෙයක් නොකර හිර වෙලා ඉනන වුණ 2020 අවුරුද්ද මතකයේ රැඳෙන්නේ කොහොමද? ඒ අවුරුද්ද ගත වුණා කියලා හිතන්නත් බැරි තරමට ඇසිපිය හෙළන නිමේෂයෙන් ඉවර වෙලා ගියා වගේ තමයි අපේ මතකයේ දැනෙන්නේ. ඒත්, ඇත්තටම 2020 ලොක්ඩවුන් වෙච්ච කාලයේ අපි ජීවත් වුණේ කාලය වේගයෙන් ගත නොවීම ගැනම ටෙන්ෂන් එකකින්.

ඔය කාලය වේගයෙන් ගෙවී යනවා කියලා අපි හිතන, ටිකක් එක්සයිටින් දේවල් කරද්දී අපේ ශරීරයේ ක්‍රියාත්මක වන රසායනයක් තමයි ඩොපමේන්. ඇත්තටම සෝෂල් මීඩියාවල ඕපාදූපයක් දකිද්දී, කමෙන්ට්වලින් සංවාදෙක පැටලෙද්දී වුණත් ඩොපමේන් ක්‍රියාකාරීත්වය වැඩියි.

අපේ සමාජ මාධ්‍යවලට හුරුවෙච්ච නූතනම සමාජය ඩොපමේන්වලට ඇබ්බැහි වෙලා ඉන්න බව සමහර විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඩ්‍රග් එකක් වගේ. ඒකයි අපි දවසෙන් දවසට අලුත් ෆේස්බුක් ට්‍රෙන්ඩ්වලට මාරු වෙන්නේ. කොච්චරවත් ස්මාර්ට්ෆෝන් ඔබ ඔබා, ෆීඩ් එකක් ක්‍රෝල් කර කර අලුත් එක්සයිටින් දෙයක් හොයන්නේ. ෆිල්ම් බැලුවත් අර මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ වාගේ මාර එකක්සයිටින් දේවල්ම හොයන්නේ. ඒ නිසා තමයි අපි පොතක් කියවන්න ලෑස්ති නැති. ටිකක් වෙලා ඉඳගෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න ලෑස්ති නැති. වැදගත් දේශනයක් අහන්න හෝ වෙනත් අධ්‍යාත්මික වැඩකට ලෑස්ති නැති.

ඇත්තටම මේ ඩොපමේන් ඇබ්බැහිය මනුස්සයෙක්ට හොඳ නෑ. හැම වෙලාවෙම  

මනුෂ්‍ය ජීවිතයක් සම්පූර්ණ වෙන්නට ඔය විවිධාකාර වේගයෙන් ගෙවෙන කාලයන් තුළ ජීවත් වෙන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම මුළු ජීවිතේම බෝරිං, බරසාර, විනෝදයක් නැති එකකක් නොවිය යුතුයි. ඒත්, අනෙක් පැත්තෙන් හුදෙක් විනෝදය, එක්සයිට්මන්ට් එක හොයන එකකුත් නොවිය යුතුයි.

හොඳට අතේ සල්ලි තිබුණ, ක්ලබ් ගියපු, සෙක්ස් කරපු, ආතල් එකේම හිටපු මිනිස්සු පවා ජිවිතේ අවසානයේ මොකක්ද යකෝ මේ ජීවිතේ කියා ඒකේ තේරුම හොයනවා.

සිනමාහල්වලදී ගත්තත් වේගවත් කාලය වගේම හෙමින් ගෙවෙන කාලයන් අවශ්‍යයි. ඊට අමතරව පොතක් කියවීමෙන්, හොඳ සංගීතයක් විඳීමෙන් කාලය වෙනස් විදියකට ගෙවන්න ක්‍රම හොයාගන්න පුළුවන්.

අල්බොරාදා චිත්‍රපටිය බලාගෙන ඉන්නකොට අපටත් කාලය හෙමින් ගෙවී යන බව දැනුණා තමයි. ඒත්, ඒ අත්දැකීම සම්පූර්ණ වෙන්නේ කතාවේ තියෙන වේගය මත නෙවෙයි. සමස්තයක් විදියට ඒ අත්දැකීම තුළින් මනුෂ්‍යයෙක් විදියට අපට එකතු කරන හැඟීම් පෙළ නිසායි. රූප නිසායි.

චිත්‍රපටියේ වේගය ගැන කල්පනා කරන එක නවත්වන්න. ටිකකට නවතින්න. බලාගෙන ඉන්න. ඒ රූප තුළින්, සංගීතය තුළින්, සිදුවීම් තුළින් මැවෙන හැඟීම අපේ ආත්මය තුළ සැරිසරන හැටි බලා ඉන්න.

ඒක භාවනාවක් වගේ. ඇත්තටම කලාත්මක සිනමාව කියා ලේබල් කරලා සමහරුන් බණින චිත්‍රපටි ‘භාවනාවක්’ වගේ. ඇත්තටම ඒ චිත්‍රපටිය ඒ විදියට බලද්දී ඔබේ ආත්මයට එකතු වෙන දේවල් මැරෙනතුරු පිටවෙන එකක් නෑ. මේ කතාව හොඳ පොතක් කියවීමටත් අදාලයි. ගුණාත්මක චිත්‍රයක් බලන එකටත් අදාලයි.

ඇත්තටම ඔය වගේ නිර්මාණ ‘තේරුම් ගන්න’ විශේෂ දැනුමක් ඕනෑ බව සමහරුන් හිතනවා. ඒක යම් දුරකට ඇත්ත. යම් පුහුණුවක් සහ දැනුමක් ඕනෑ.

ඒත්, ලොකු පුහුණුවක් නැති ඔබ සහ අපි වගේ කෙනෙක්ට වුණත් ඒ අත්දැකීම විඳින්න පුළුවන්.