දැනට පවතින ලංකාවට ඩොලර් නැති ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවෙන් බඩු මිලට ගන්නත්, ලංකාවට භාණ්ඩ එවන්නත් විකල්ප ක්‍රමවේද හඳුනාගන්නට කියා ඇමතිවරුන්ගෙන් යුක්ත කමිටු පත් කරලා.
ඒ ඒ සාමාජිකයන් පත් කරන්නට හේතුසාධකත් තියෙනවා. ක්‍රෙඩිට් ලයින් ගිවිසුම්, විශේෂ බදු සහන, මූල්‍ය හුවමාරු ගිවිසුම්, නිදහස් වෙළඳ ගිවිසුම් ආදී ක්‍රමවේද පාවිච්චි කරමින් ලංකාවේ බඩු යවන්නත්, එහේ භාණ්ඩ ඩොලර් අර්බුදය ඇතුළේ ෂේප් එකේ ගෙන්වාගන්නත් මෙයාලා සාකච්ඡා පවත්වාවි.
කමිටු තුනක් පත් කරලා තියෙනවා. තුනේම සභාපති විදේශ අමාත්‍ය ජීඑල් පීරිස්. ඒ අනුව තුනේම ඔහු සාමාජිකයෙකුත් වෙනවානේ.
චීනය එක්ක කමිටුවේ ඉන්න අනෙක් අය වන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කර්මාන්ත ඇමති විමල් වීරවංශ සහ වැවිලි ඇමති රමේෂ් පතිරණ. මෙහි බන්දුල ගුණවර්ධන ඇමතිරයා මීට කලින් චීනය එක්ක හාල් ආදී ගනුදෙනුවලට සාකච්ඡා කරලා තියෙනවා විතරක් නෙවෙයි, චීනයෙන් මොකක්දෝ ආචාර්ය උපාධියකුත් ලබා තිබුණා. රමේෂ් පතිරණ මහතාගේ විෂය වැවිලි අමාත්‍ය වන නිසා, චීනයට යම් වැවිලි කර්මාන්ත අපනයන කිරීම වෙනුවෙන් ඔහු පත් කරන්න ඇති.
ජපානය එක්ක කතා කරන කමිටුවේ ඉන්නේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය ඇමති ඩලස් අලහපෙරුම සහ මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු. කෙහෙළිය හිටපු ජනමාධ්‍ය ඇමති විදියට මීට කලින් ජපානය එක්ක රූපවාහිනී ඩිජිටල්කරණයට අදාල සාකච්ඡා වට ගණනාවක් පවත්වා සම්බන්ධකම් තිබුණා. දැන් ජනමාධ්‍ය ඇමති විදියට ඩලස් අලහපෙරුම ඇමතිවරයාටත් ඒ සම්බන්ධතා තියෙනවා. ජොන්ස්ටන් ඇමතිවරයාත් ජයිකා ව්‍යාපෘති නිසා ජපානය එක්ක සම්බන්ධතා පවත්වා තිබෙනවා.
මැදපෙරදිග රටවල් එක්ක කතා කරන කමිටුවේ නාමල් රාජපක්ෂ සහ අලි සබ්රි යන ඇමතිවරුන් ඉන්නවා. නාමල් රාජපක්ෂගේ පියා මහින්ද රාජපක්ෂට මැද පෙරදිග රටවල් ගරු කරනවා. ඒ හැරුණාම අලි සබ්රි ඇමතිවරයා මුස්ලිම් ජාතිකයෙක්.
මේක පහුගිය අවුරුද්දේ අග බැසිල් රාජක්ෂ කැබිනට් මණ්ඩලයට දැම්ම අමාත්‍ය මණ්ඩල සංදේශයේ තිබුණ යෝජනාවක්.
පෙබරවාරි 14 වැනිදා දාපු උක්ත යෝජනාව ගැන නිල රජයේ ප්‍රකාශය පහතින්.
‘ගරු මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ආර්ථිකය 2022 සහ ඉදිරි මග යනුවෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය 2022 ජනවාරි මස 03 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, එවැනි භාණ්ඩ මෙරටට ආනයනය කරනු ලබන රටවල් සමඟ සාකච්ඡා කිරීම පිණිස පහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනුකමිටු පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා
විදේශ අමාත්‍යතුමා – සභාපති
වෙළඳ අමාත්‍යතුමා
කර්මාන්ත අමාත්‍යතුමා
වැවිලි අමාත්‍යතුමා
ජපාන රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා
විදේශ අමාත්‍යතුමා – සභාපති
සෞඛ්‍ය අමාත්‍යතුමා
ජනමාධ්‍ය අමාත්‍යතුමා
මහාමාර්ග අමාත්‍යතුමා
මැදපෙරදිග රාජ්‍යයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා
විදේශ අමාත්‍යතුමා – සභාපතති
තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා
අධිකරණ අමාත්‍යතුමා’