2022 අයවැය යෝජනාවලියේදී ඉදිරිපත් කළ, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් ආහාර සුරක්ෂිතතා සහන මල්ල කියන වැඩසටහනට පෙබරවාරි 14 වැනිදා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ මත සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම අඩු ආදායම්ලාභී පවුල් 40ක් තෝරාගනීවි. ඒ පවුල්වලට රුපියල් 2000ක භාණ්ඩ මිලට ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක් වාගේ ඩිජිටල් කාඩ් එකක් දෙනවා. ඒ කියන්නේ සල්ලි බෙදන්නේ නැහැ, ක්‍රෙඩිට් දෙන්නේ.
ඒ කාඩ් එක අරන්, අයවැයෙන්ම යෝජනා කළ තවත් යෝජනාවක් වෙච්ච හැම ගමකම හදනවාය කියන පුංචි ‘සුපිරි වෙළඳසැල්’ හෙවත් සුපර්මාකට්වලින් ගිහින් බඩු ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑ තැනකින් ගන්න බෑ. සතොස, සමුපකාර ආදී පාඩු ලබන, හොර ගුහා වෙච්ච ආණ්ඩුවේ වෙළඳසැල් ජාල තියෙන රටේ තවත් අලුතින් හදන මාකට් ජාලයට ගිහින් තමයි බඩු ගන්න වෙන්නේ.
මේ වෙළදසැල් ජාල පිළිබඳ යෝජනාවත් කැබිනට් මණ්ඩලයට දාලා තිබුණා. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම එක කාන්තාවකට තමයි වෙළඳසැල දාන්න අවසර ලැබෙන්නේ. කැබිනට් පත්‍රිකාවේ තියෙන හැටියට ඒ අයට වෙළඳසැලට ගෙදරම වර්ග අඩි 200- 400 අතර ප්‍රමාණයක් ලෑස්ති කරගන්න පුළුවන්. නැත්නම් මාර්ග සංවර්ධන අධිකාරිය හෝ නිවාස සංවර්ධන අධිකාරිය හරහා කඩයක් හදවාගන්න පුළුවන්.
රුපියල් මිලියන 15,000ක ප්‍රතිපාදන මේකට වෙන් කරලා තියෙනවා. ව්‍යවසායන් හඳුනාගැනීමත් දිළිඳුකම පිටුදැකීමේ කාර්යසාධක බලකායේ උපදෙස් මතත, ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් කරනවාලු. ඒ කියන්නේ කෙළින්ම දේශපාලන බලපෑම් මත තමයි වැඩේ කරන්නේ.,
ඒ හැරුණාම හැම වෙළඳසැලක්ම කම්පියුටර් පද්ධතියකින් සම්බන්ධ කරනවාලු. කලින් කීව යෝජනාවේ හැටියට කාඩ් එකෙන් ක්‍රෙඩිට් කැපෙන විදියට රුපියල් 2000ක බඩු ගන්න අය වෙනුවෙනුත් කම්පියුටර් පද්ධතියක් එපායැ. එහෙත්, හුදෙක් දේශපාලන ආයතනවල බලපෑම් මත තෝරගන්න අයට දෙන මේ කියන ‘වෙළඳසැල’ සාර්ථක වේවිද? දැනටමත් ආණ්ඩුවෙන් කරන වෙළඳසැල් ජාල බිස්නස් නොදන්නා අයගේ පරිපාලනය යටතෙත් අසාර්ථක වෙච්ච හැටි ප්‍රායෝගිකව අපි දකිනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ටම බිස්නස් කරන හැටිත් උගන්වන්න වේවිද? නැත්නම් මේ වෙළඳසැල් ජාලය වෙනුවෙන් අලුතෙන් දෙපාර්තමේන්තුවක්, ආයතනයක් හදන්න වේවිද? ඒකට පඩි ගෙවන්නේ කාගෙ සල්ලිවලින්ද?
පොදුවේ සැලකුවොත් මේක ආර්ථික විද්‍යාත්මකවත් අමුතු තීන්දුවක්. ලංකාවේ ආණ්ඩුව හැමදාම භාණ්ඩ මිල ගැන කතා කරද්දී බිස්නස්වලට ආණ්ඩුව බහින්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම වෙන්නේ නුසුදුස්සන්ට තැන ලැබීම, භාණ්ඩ තොගවලින් වංචා කරලා නුසුදුසු භාණ්ඩ නිකුත් වීම ආදී වෙනත් ප්‍රශ්න, ආණ්ඩුවෙන් හදනවාය කියන වෙළඳසැල් ජාලයේ
ඇත්තටම මෙතැනදී හැම ගමෙන්ම ‘දිළිඳු පවුල්’ කියා තෝරාගත් 40 ගාණේ සහ ගමෙන් සුපර්මාකට් එක දිනාගත් එක්කෙනා ගාණේ පොහොට්ටු දේශපාලන වැඩවලට තෝරාගැනීමනේ මේ වෙන්නේ. දිළිඳුකම තුරන් කිරීම හෝ හැබෑ ආර්ථික ප්‍රශ්නයට මේක විසඳුමක් නෙවෙයිනේ.