අයවැයෙන් යෝජනා කරපු, සීයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් මත පැනවීමට එරෙහිව කැබිනට් මණ්ඩලය තුළ ඇති වූ විරෝධය නිසා ඒක ආපස්සට ගන්නා බව බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කියලා.
ඒත්, කැබිනට් මණ්ඩලයේදී කටින් කීවාට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැනට ගැසට් කරලා තියෙන අධිභාර පනත පිළිබඳ පනත් කෙටුම්පත රිවර්ස් කරලා, ඒකට සංශෝධනයක් දාලා අරමුදල් ටික මේකට අයත් නොවේ කියන එක නිශ්චිතව සඳහන් කරලා නැවත ගැසට් එකක් නිකුත් කළ යුතුයි.
ඇත්තටම ඇමතිවරයා මේකට පක්ෂව තර්ක කරලා. මේකෙන් අරමුදල් ගන්න බැරි වුණොත්, ඒ මුදල සොයා ගැනීමට වැට් බද්ද සීයට 3කින් වැඩි කරන්න වනු ඇතැයි ඔහු කියලා.
එහෙත් වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන හා මහින්ද අමරවීර ඇතුළු ඇමතිවරුන් විරුද්ධව කතා කරලා.
උදය ගම්මන්පිළ ඇමතිවරයා පෙන්වා දීලා තියෙනවා වැට් බද්ද වැඩි කළොත් ඒකත් අසාධාරණ බව. ඒක දුප්පත් මිනිසුන්ටත් වදින වක්‍ර බද්දක් බව ඔහු පෙන්වා දීලා. ඒ වෙනුවට ඔහු වඩාත් යහපත් බදු ක්‍රමයක් යෝජනා කරලා.
මේ බද්ද මිලියන 2000ට වැඩි ‘බදු අය කළ හැකි’ ආදායමක් උපයන ව්‍යාපාරවලට වගේම, 2017 දේශීය ආදායම් පනතේ නිර්වචනය අනුව ඊපීඑෆ්, ඊටීඑෆ්, මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ විශ්‍රාම වැටුප් අරමුදල්, රජයේ සේවක යහසාධක අරමුදල ආදී මිලියන ගණන් වැඩකරන ජනතාවගේ මුදල්වලින් එකතු වී සෑදුණු අරමුදල්වලටත් අය කෙරෙනවා.
ගම්මන්පිළ ඇමතිවරයා කියා ඇත්තේ රුපියල් මිලියන 1500- 2000 අතර ලාභයක් ලබන ව්‍යාපාරවලට සීයට 20ක බද්දකුත්, මිලියන 1000-1500 අතර ලාභ ලබන ව්‍යාපාරවලට සීයට 15ක බද්දකුත් ආදී වශයෙන් ක්‍රමානුකූලව අඩු වෙන බදු ප්‍රමාණයන් ආදායමේ තරමට අය කිරීම සුදුසු බව. පොඩි මිනිසුන්ගේ අරමුදල්වලට නැතිව ව්‍යාපාරිකයන්ට පමණක් මේ විදියට බද්ද අය කළොත් ඒකෙන් වඩා වැඩිපුර ආදායමක් ලබාගන්නත් හැකි බව ඇමති ගම්මන්පිළ පෙන්වාදීලා.
ඒ මතයට වාසුදේව නානානයක්කාර, බන්දුල ගුණවර්ධන ආදී ඇමතිවරුන් දැඩිව එකඟ වෙලා.
මෙතැනදී බැසිල් රාජපක්ෂ මහතා කියා ඇති තවත් කාරණයක් වන්නේ ඊපීඑෆ් ආදී අරමුදල් මෙවැනි බදුවලට ඇතුළත් වන්නේ තමන්ගේ අර්ථකතනයක් අනුව නෙවෙයි, අසූ ගණන්වල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලින් මුල්වරට මේ අරමුදල්වලට බදු ගැසුවා කියා. එපමණක් නෙවෙයි, 2017 දී යහපාලන ආණ්ඩු සමයේ ගෙනාපු දේශීය ආදායම් පනත අනුව මේ අර්ථකතනය ආපු බව ඔහු පෙන්වා දීලා.
එහෙත් අපි එක්ක කතා කරපු මේ පනතට විරුද්ධ ඇමති කෙනෙක් පෙන්වා දුන් ආකාරයට එදා එහෙම කරපු බව කියා එජාපයට විවේචන කරමින් මේ ආණ්ඩුවත් සීයට විසිපහක දැවැන්ත බද්දක් ගැසීම අසාධාරණ බව ඇමතිවරුන් කීවාලු.
ඒ අනුව මේ පනතට විරුද්ධව සමාජයේ ඇති වූ විරෝධය, ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන්ගේ සිට අප වැනි ක්‍රියාකාරීන් දක්වා අය මේ ගැන හඬ නැගීම ආණ්ඩුවට බලපාන්නට ඇති. අනිවාර්යයෙන්ම මේකට විරුද්ධව දරුණු වීදි සටන් ඇති වෙන්නට නියමිතව තිබුණා.