උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තේ මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ජගත් කුමාර, තිස්ස කුට්ටිආරච්චි වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙනුත් ලොකු ඇටෑක් එකක් එල්ල වුණාලු. අපි කතා කරන්නේ අන්න ඒ ගැටුම ගැන. ඒත් වෙන කවුරුත් නොකියන විදියට ඒ ගැටුමේ මුල මොකක්ද කියන එක අපි විග්‍රහ කරනවා. සමහරුන්ට මතකත් ඇති, මේ ගැටුම අපි කලින්ම දැක්කා. ඒ ගැන කලින්ම කතා කළාත් එක්ක.
මෙතැනදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු කීවාම ‘පාලක හාම්පුතුන්’ උසි කීවාම එයාලා පෙන්වන ඕනෑ කෙනෙක්ට කඩා පනින දඩබලු රංචුවක් හිතෙත් මවා ගත්තොත් ඔබට පහසුයි. අනිවාර්යයෙන් ඒ අය හවුලේ කඩා පනින්නේ කලින් සැලසුම් කරලා ඉහළින් නියෝග ආවොත් තමයි.
කොහොම හරි මේ බැණුම් සිද්ධවෙලා තිබුණේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී. ඔහු කරලා තියෙන වරද තමයි පොහොට්ටු නායකයන් ‘හරකුන්ය’ කියා හිතා ඉන්න රටේ පුරවැසියන්ට ඇත්ත තත්වය කියපු එක. සම්පූර්ණ ඇත්ත කියලාත් නෙවෙයි. සත්‍යයෙන් කොටසක් කීව එක.
ඇත්තටම කීවොත් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කලින් සතියේ කැබිනට් රැස්වීමේදීත් උදය ගම්මන්පිල සහ බැසිල් රාජපක්ෂ අතර උණුසුම් තත්වයක් ඇති වෙලා තිබුණා. මාධ්‍ය සාකච්ඡා තියමින් රටට අර්බුදය ගැන කියනවාට බැසිල් දොස් කියලා. ඔබට අවශ්‍ය ඩොලර් ටික හොයා දෙන්නම්, කට පියාගෙන ඉන්න කියන පණිවිඩය තමයි දීලා තිබුණේ. යකෝ ආණ්ඩුවේ ඇමති කෙනෙක් රටට ඇත්ත කියනවාටයි මේ මුදල් ඇමති විරුද්ධ. උත්තර විදියට උදය ගම්මන්පිළ ඇමතිවරයා කියා තිබුණේ තමන් මාධ්‍ය සාකච්ඡාවලින් කතා කළේ තමන්ගේ විෂයට අයිති කාරණයක් බව.
සමහරවිට මන්ත්‍රී කණ්ඩායමේදී ගම්මන්පිළට කඩා පැන්නේ කලින් කැබිනට් මණ්ඩලයේදී බැසිල් එක්ක ‘එකට එක කියා’, බැසිල්ගේ උපදෙස් පිළිනොපැද ඊට පසුවත් සැබෑ අර්බුදය ප්‍රසිද්ධියේ කීමේ ‘වරදට’ දඬුවම් විදියට වෙන්න පුළුවන්.
ඇත්තටම ඔහුගේ විෂය වන බලශක්තිය කියන එකට ඩොලර් අර්බුදය, ආර්ථික අර්බුදය ඍජුව බලපානවා. ගම්මන්පිළ ඇමතිවරයා කළේ ඒ අර්බුදයේ රෝග ලක්ෂණ ටික විතරක් නොකියා, රෝග නිධානයත් රටට කියන එකයි.
පොඩි අතුරු කාරණයක් කියන්නම්. උදය ගම්මන්පිළ කියන්නේ ගෝඨාභය රාජපක්ෂව ඡන්ද වේදිකාවකට මුලින්ම නැග්ගූ කෙනා. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වෙන්න කලින් ඉඳන්ම ‘ගෝඨාභය මගේ කල්‍යාණ මිත්‍රයෙක්’ කියාගෙන හිටියේ. ගෝඨාව මුලින්ම අත්අඩංගුවට ගන්න හදපු වෙලාවේ කළු කොඩි උස්සාගෙන පාරට බැස්සේත් උදය ගම්මන්පිළ.
ඒ විතරක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් 2019 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න බැහැ කියද්දී, විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා 2018 දී විතර ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සන්න පවා ලෑස්ති වෙද්දී ඒකට විරුද්ධව ඇතුළේ කෑගහලා මතවාදීව මහින්දව පැරැද්දුවෙත් ගම්මන්පිළ.
අපට අනුව නම් ගම්මන්පිළ මහත්තයාගේ වැඩ නිසා, විශේෂයෙන් විධායක ක්‍රමය අහෝසි නොකිරීම සහ 2019ට ගෝඨාව දාන්න කැම්පේන් කිරීම නිසා රටට වුණේ විනාසයක්.
ඒත් ඉතින්, හරි නම් ගෝඨාභයගේ පැත්තෙන් ගත්තොත් ඔහු ගම්මන්පිළ ඇමතිවරයාට මල් තියා වඳින්න ඕනෑ. ඒවා කොහෙද? බලය අතට ආවාම ඒ පරණ කතා මතක තියාගන්නෙ අහවල් එකටද? කුණු බැණුම් බණිනවා මිසක.
මොකක්ද මේ ඇත්ත.
“ආණ්ඩුවට මේ මොහොතේ රුපියල් නෑ. රටට ඩොලර් නෑ. මේ තත්ත්වය කොවිඩ් නිසා ඇතිවූ තත්ත්වයක් නෙවෙයි. මෙය කොවිඩ් වසංගතය අවසන් වුවත් අවසන් නොවන ප්‍රශ්නයක් හැටියටයි මං දකින්නේ.
ශ්‍රී ලංකාව 1955 සිටම ආණ්ඩුව ආදායමට වඩා වියදම් කර තිබෙනවා. මෙම වියදම් පියවා ගැනීම සඳහා ආදායම් උත්පාදනය නොකර වියදම් පියවාගැනීම සිදු නොකර දිගින් දිගටම ණය ගැනීම නිසා මේ වනවිට රුපියල් ණය ලබා ගත නොහැකි තැනට ආණ්ඩුව සිරවී තිබෙනවා.
මෙම ණය පොලී සමග නැවත ගෙවීමට සිදුවීමේදී පවතින අර්බුද වැඩි වෙනවා මිසක් කිසි ලෙසකින් අඩු වීමක් වෙන්නේ නැහැ. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපි පියවර පහක් අනුගමනය කළ යුතුයි. එය ප්‍රශ්නයක් පවතින බව පිළිගැනීම, මෙන්ම එය ණය උගුල නිසා සිදුවූවක් බව පිලිගැනීම, වගේම ජනතාවට බොරු කීම වෙනුවට සත්‍ය පැවසීමත්, කාල වකවානු අනුව මේ තත්ත්වයෙන් රට ගොඩ ඒමේ වැඩපිළිවෙළ ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එම වැඩපිළිවෙළ ආදර්ශයෙන් රටේ නායකයින් ජනතාවට කැපකිරීම් සිදුකරමින් පෙන්වා දිය යුතුයි.”
යනුවෙන් ඔහු කීවා. ඊට අමතරව කලින් ඉඳන්ම ඔහු ඛනිජතෙල් අර්බුදය ගැනත් ඒකට හේතු වූ රෝග නිධානය ගැනත් එළිපිට කීවා. ඒක මේ ආණ්ඩුවේ අනෙක් ඇමතිවරුන් නොකරන දෙයක්. අනෙක් අය ‘රෝමෙ ගිනිගනිද්දී වීණා වාදනය කරන’ අය.
ඔබට මතකද අපි මේ තත්වය ඇති වෙන්න කලින්ම මේක නිරීක්ෂණය කළා. අපි දාපු වීඩියෝවකදී කතා කළා, උදය ගම්මන්පිළ මහතා තමන්ගේ අමාත්‍යාංශය ගැන විතරක් ෆෝකස් කරන එකට අපි එකඟ නැති නමුත්, එතුමාගේ ජාතිකවාදී මතවාදය එක්ක වගේම රාජපක්ෂ භක්තිවන්දභාවයටත් අපි විරුද්ධ නමුත්, මේ කියන ආර්ථික අර්බුදය ගැන කතා කරන්න එතුමා ඉඳගන්න විදියට අපි එකඟ බව. ඒ කියන්නේ ඔහුගේ ප්‍රවේශයට අපි එකඟ බව. අපි ඒ වෙලාවේම අනුමාන කළා මේ ප්‍රවේශය රාජපක්ෂවරුන්ගේත්, කබ්රාල්ලාගේත් කේන්තියට හේතු වනු ඇති බව.
ඒ කිව්වෙ මොකක්ද යකෝ?
කතාව සිම්පල්. මේ පාලක පවුල (කබ්රාලුත් පවුලට අයිතියිනේ) හැමදාම පුරුදු වෙලා හිටියේ ජනතාව ‘හරක්’ වගේ කල්පනා කරන්න. හරකුන්ට කියන්න ඕනෑ නැහැනේ කරත්තෙ අදින්න හේතුව මොකක්ද, කරත්තෙ නවත්තන්න හේතුව මොකක්ද ආදී දේවල්. නැත්නම් ගොයම් මඩවන්නෙ ඇයි? මඩවද්දී අහවල් අහවල් පැත්තට හැරෙන්නේ ඇයි? සෙක්කුව වටේටම කැරකෙන්න ඕනෑ ඇයි? ගොම ගන්නෙ අහවල් එකටද ආදී කිසිවක් හරකුන්ට කියා දෙන්න ඕනෑ නැහැ.
හරකාට කෝටුවයි, විධානයයි පිළිපදින හැටි කියා දුන්නාම ඇති. ඉතිරි ඔක්කොම හරක් හිමියා බලා ගනීවි.
රාජපක්ෂ පවුල කල්පනා කරන්නේ හරක් හිමියන් විදියට. මේ රටේ ආර්ථික තත්වය ගැන ඔවුන් මිනිස්සුන්ට විවෘතව කියන්නෙ නෑ. හංගනවා. ‘කිසි අවුලක් නෑ, මාස කිහිපයකින් හරියයාවි’ කියා කියනවා.
ඒ ප්‍රවේශය තමයි මේ රටේ ගොඩක් ක්ෂේත්‍රවල අවුල. කොවිඩ් ආපු ගමන් මිනිස්සුන්ට හරියට දැනුම ලබා දීලා, නිරෝධායන ක්‍රමවේද පාවිච්චි කරන හැටි, ඒවායේ වැදගත්කම ගැන විවෘත සාකච්ඡාවක් කළේ නැහැ. ඒ වෙනුවට ඇඳිරි නීති දාලා පොලිස් මුරපොළවල්වලින් බලෙන් මිනිස්සු හිර කරන්න උත්සාහ කළා. සමාජයේ කොවිඩ් පැතිරෙද්දී ඒක කීවේ නැහැ. අදත් මිනිස්සුන්ට එන්නත ගැනීමේ වැදගත්කම ගැන විවෘත සහ විද්‍යාත්මක සාකච්ඡා පවත්වලා අවබෝධය වගා දිගා කරන්නේ නෑ. ඒ වෙනුවට බලහත්කාර නීති දාලා මූලික අයිතිවාසිකම් පවා කඩලා තමයි වැඩ ටික කරගන්න බලන්නේ.
ආර්ථික අර්බුදයේදීත් ඩොලර් නැතිකම ගැන, කළ යුතු දේ ගැන විවෘත කතාවක් නැතිව ‘ඔක්කොම හරි’ කියාගෙන මිනිස්සුන්ව පිඩාවට පත්වෙන භාණ්ඩ හිඟයන් ආදියත් පවත්වාගෙන යන එක තමයි ආණ්ඩුව කරන්නේ.
ගම්මන්පිළ මහතා ඊට වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරන්නේ. මොන පක්ෂයේ හිටියත් අපි හරි කැමතියි මිනිස්සුන්ට බුද්ධියක් තියෙනවා කියලා සලකමින් වැඩ කරන දේශපාලනඥයන්ට. ගම්මන්පිළ මහතා ජාතිකවාදීයි තමයි, ඒක ‘බුද්ධිමතුන්ගේ මතවාදයක්’ නෙවෙයි කියා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. මිනිස්සුන්ව අන්දන පොලිටිකක්ස් තමයි ඔහු කරන්නේ කියා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔහු කරන්නෙත් හැඟීම් අවුස්සන පොලිටික්ස් තමයි. ඒත්, ඒ හැඟීම් පොලිටික්ස් කරන වෙන ගොඩක් අයට සාපේක්ෂව ගත්තාම අගම්මන්පිළ මහතාගේ එදා ඉඳන්ම භාෂාව, කතා විලාසය, කරුණු ඉදිරිපත් කිරීම් ආදිය බුද්ධියට ආමන්ත්‍රණය කරමින් බුද්ධිමය සංවාද කරන්නට ගන්න උත්සාහයන් තියෙනවා.
ඉතින්! අපි මේ කියන්නේ ගම්මන්පිළ මහතා දැන් පවතින අර්බුදය ගැන සුදුසුම විදියට රටට කියන බවවත්, ඔහු තර්ක බුද්ධිය මත පදනම් වූ දේශපාලනයක් කරන බවවත් නෙවෙයි. එතුමාගේ කඳවුරම කරන්නේ බුද්ධිය වෙනුවට හැඟීම්වලට කතා කරන, සැබෑව යටපත් කරන දේශපාලනයක්. ඒත්, ඒ කඳවුරේ ඉන්න අනෙක් උදවියට දරාගන්න බැරි තරමට ගම්මන්පිළ වගේ මහත්වරුන් විවෘතයි. එයාලාගෙ හැටියට ගම්මන්පිළ ‘හරකුන්ට ඇත්ත කියනවා’ වැඩියි.