‘හිජාස් හිස්බුල්ලා කියන පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමඟ තුන් වතාවක් කතා කරලා තියෙනවා මේකට ඉස්සෙල්ලා. එයා විවාහ වෙලා තියෙන්නේත් ඊජිප්තු කාන්තාවක්. ඇයත් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධයි. ඒ වගේම ඔහු පර්ල් ඔෆ් යුනිටි කියන පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරාන්. ඒකට මුදල් දීලා තියෙන්නේ කටාර් චැරිටි කියන තහනම් සංවිධානයක්. මේ ගැන තවදුරටත් විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුණ කෙනෙක් ගැන ඔබතුමා වැනි කෙනෙක් කතා කරන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම.’ අමාත්‍ය සරත් වීරසේකර 2021 ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ කතාවක් ඒ.
ඉතින් විපක්ෂෙට ‘කතා කරන්නත්’ එපා කියපු ‘ත්‍රස්තවාදයට සම්බන්ධ’ කෙනාට ඔය පාර්ලිමේන්තුවේදී කීව කිසිම චෝදනාවක් ගැන නඩුවක්වත් දාන්නේ නැතිව, මාස 22කට පස්සේ ඇපත් දීලා ඒ ගැන ජාත්‍යන්තරය ඉදිරියේ කයිවාරු ගහන තැනට ආණ්ඩුව පත් වුණේ කොහොමද?
ඇත්ත. සරත් වීරසේකර ඇමතිවරයා ඔය කීව කිසිම චෝදනාවකට අදාලව අධිකරණයක නඩු දාලා නෑ. කටාර් චැරිටි කියන තහනම්යැයි කී සංවිධානය මේ ආණ්ඩුව එක්කත් වැඩ කරපු බව පස්සේ හෙලි වුණා. අන්තිමේ 2022 පෙබරවාරි 07 වැනිදා හිජාස් හිස්බුල්ලාට ඇප දීමට අභියාචනාධිකරණය ලෑස්ති වුණා.
දැන් ආණ්ඩුවේ නායකයන් හිජාස්ට ඇප දීම ගැන ජිනීවාවල කයිවාරු ගහන්න දත කට මදිනවා.
නෙදකිං! නෙදෝමකිං….!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා 2020 අප්‍රේල් 14 වැනිදා ගෙන රක්ෂිත බන්ධනාගාර අරන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් නිසි සාක්ෂි ඉදිරිපත් නොකර හිර කරගෙන හිටපු නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ඒ 2022 ජනවාරි මාසයේ අග නීතිපති දෙපාර්තමේන්තුව හිජාස්ට ඇප දෙනවාට එකඟ බව ප්‍රකාශ කිරීමෙන් පස්සේ. මීට කලින් නම් නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම හිජාස්ට ඇප දෙනවාට විරෝධය ප්‍රකාශ කළා. ඇයි, භයානක ත්‍රස්තවාදියෙක් විදියටනේ හිජාස්ව හයිලයිට් කරලා තිබුණේ.
ඕනෑ කෙනෙක්ට පැහැදිලිව තේරුම් යන දෙයක් තමයි මේ ඇප ලබා දීම සඳහා නීතිපති පැත්තෙන් එකඟ වීම පෙබරවාරි අග ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රි ලංකාව ගැන ඉදිරිපත් කිරීමට නියමිත අලුත් යෝජනාව හේතුවක් කරගෙන දාපු එකක් විත්තිය. මීට කලින්, ජනවාරි 26 වැනිදා විදේශ ඇමති ජීඑල් පීරිස් මේ ඇප ලබා දීම ගැන ජාත්‍යන්තරය ඉදිරියේ කයිවාරුවක් ගහලා තිබුණා. අනිවාර්යයෙන්ම ජිනීවාවලට ‘අනේ මේ ලංකාවේ අපි මානව හිමිකම් රකිනවා’ කියලා ශ්‍රී ලංකා රජය ගහන කයිවාරුවටත් හිජාස්ට ඇප දුන් කතාව ඇතුළත් කරාවි.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල කියන අභියාචනාධිකරණ විනිසුරුවරුන් තමයි නියෝගය දුන්නේ. රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හරින ලෙස නියම කරලා තිබුණේ. ඒත් හිජාස්ට සම්පූර්ණ නිදහස ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට හැම මාසෙම දෙවැනි සහ සිව්වැනි ඉරිදා පොලීසිය ඉදිරියේ පෙනී ඉන්න කියලාත් දැනුම් දීලා.
ඇත්තටම හිජාස් 2020 දී අත්අඩංගුවට ගත්තේම නීතිවිරෝධී විදියට. ඔහුගේ ගෙදරට සෞඛ්‍ය අංශයෙන් කියමින් තමයි මුලින්ම පොලීසිය කඩා වැදී තිබුණේ. ඊට පස්සේ නීතිඥයෙක් විදියට ඔහුගේ නීති ෆයිල් අවුස්සලාත් තිබුණා.
මුලින්ම පත්තරවලින් ලොකු මතයක් හැදුවේ හිජාස් පාස්කු ප්‍රහාරයට මහා පරිමාණ සම්බන්ධයක් තියෙන මහමොළකරුවෙක් පන්නයේ ප්‍රවෘත්ති පළ කරමින්. ඔහු පාස්කු ප්‍රහාරයට මුදල් සැපයූ තැනට තමයි මුලින් කතා පැතිරෙව්වේ.
ඇත්තටම එදා රාජපක්ෂලා ජනාධිපතිවරණයත් දිනලා. ලොකු ජනතා සහයෝගයකුත් එක්ක මානව හිමිකම් කැලේ දාලා ලොකු බුල්ඩෝස් පාරක් දෙන්න ප්ලෑන් කරලා තිබුණ බව තමයි අපි නම් හිතන්නේ.
වරෙන්තු නැතිව ගෙදරට කඩා වැදිලා, කාටත් ඔහු එක්ක කතා කරන්නවත් නොදී, ජාත්‍යන්තර නීති පවා කඩමින් නීතිඥවරයෙක් විදියට ඔහුගේ අයිතිවාසිකම් පවා කඩමින් තමයි වැඩේ ගියේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 9 වැනි වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා ඕනෑ පුද්ගලයෙකුට අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඒ සඳහා හේතුව ඉදිරිපත් කළ යුතුයි. එහි 14 වැනි වගන්තිය අනුව චෝදනා ලද ඕනෑම අපරාධ සැකකරුවෙකුට තමන් තෝරාගන්නා නීතිඥවරයෙකු මුණගැසීම සඳහා කාලය, ආරක්ෂාව සහ පහසුකම් සැපයිය යුතුයි. ඒ මොන ලබ්බක්වත් හිජාස්ට තිබුණේ නෑ.
රාජක්ෂලාගේ මර්දන බුල්ඩෝසරෙන් හිජාස්ව සමතලා කරන්නයි හැදුවේ.
ඒකට හැබෑ හේතුව ගැනත් අපට අනුමානයක් තියෙනවා. ඒකක අනුමානයක්. මොකක්ද දන්නවාද? හිජාස් කියන්නේ අන්තවාදය වෙනුවට නීතියේ මාවත, යුක්තියේ මාවත පෙන්වූ තරුණ, දීප්තිමත් මුස්ලිම් නායකයෙක්. සමාජයට ආදර්ශයක්. මුස්ලිම් ජාතිකයෙක්ට ශ්‍රී ලංකා රජයෙන් යම් අසාධාරණයක් වුණත්, රජය වනසන්න බෝම්බ ගහන්න කියලා නෙවෙයි, අධිකරණය ඉදිරියේ යුක්තිය හා සාධාරණය ඉල්ලන්න කියලා තමයි හිජාස්ලා පෙන්වා දුන්නේ.
ඒ වගේ ආදර්ශවත් චරිත හිර කළාම, මුස්ලිම් සමාජය තුළත් අන්තවාදය පැතිරෙන්න පුළුවන්.
ඒත් කාලය එක්ක සියල්ල අල වුණා. ඔහුට එරෙහි චෝදනාවල බොහෝ කොටස් හරියට තහවුරු කරන්න බැරි වුණා. අම්මෝ, මුලින් දාපු සමහර බී රිපෝට්වල තිබුනු කතන්දර.
නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇවිත් කීවාලු, නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයක් තමන්ට තියෙනවා කියලා. ඒත්, ඇත්තටම මඩකලපුවේ විශ්වවිද්‍යාලයක් තියෙන්නේ දේශපාලනඥ එම්එල්ඒ හිස්බුල්ලාට. හිජාස් ගිහින් තමන්ට විශ්වවිද්‍යාලයක් තියෙන බව කියන්න හේතුවක් නෑ.
බෲස්ලිගේ චිත්‍රපටි දාලා කරාතේ ඉගැන්වූ බවත් මේ සාක්ෂිවල තිබුණා. බෲස්ලි කරාතේ ඉගැන්වුවේත් නෑ. අනෙක සාමාන්‍යයෙන් මාෂල් ආට් උගන්වන අය ෆිල්ම් පෙන්න පෙන්වා මාෂල් ආට් උගන්වන්නේ නෑ.
පාස්කු ඉරිදා ප්‍රහාරයටත් සම්බන්ධයි වගේ කතන්දර කියලා හිරේ දාගෙන සෑහෙන කාලයක් හිටියාට පස්සේ හිජාස්ට එරෙහිව පුත්තලම් අධිකරණයේ තිබුණේ එයා මද්රාසාවකට ගිහින් දවසක් දේශනයක් කරපු විත්තියක්.
ඒත්, ඒ චෝදනාවල සාක්ෂි පවා මාර පරස්පරයි. අවුල් සහගතයි. එක වෙලාවක සාක්ෂියක් දුන්න කොල්ලෙක් කියනවා මට හොඳට මතකයි හිජාස් ආපු දවස, ඒ මගේ උපන්දිනේ කියලා. ඒත් තව තැනක කියනවා, නෑ නෑ එදා නෙවෙයි ආවේ කියලා. එක තැනක චෝදනා කරනවා හිජාස් ක්‍රිස්තියානි අයව මරන්න ඕනෑ කියලා දේශනා කරපු බවක්. ඒත්, තව තැනක කියනවා නෑ නෑ යුදෙව්වන්ව මරන්න ඕනෑ කියලාලු දේශනා කළේ.
පාස්කු ප්‍රහාරයකට අනුබල දුන්නා කියලා කයිකන්දර කියා හිරේ දාපු නීතිඥයා අන්තිමේ ‘අන්තවාදී දේශන’ කළා කියලා වෙනම චෝදනාවකට නඩු දාන තැනට පත් වුණා.
ඉතින්, ඔය විදියට කන්දක් විළිලා, මී පැටියෙක් වදලා, ඒ මී පැටියත් ඇත්ත මීයෙක්ද බොරු මීයෙක්ද කියලා ප්‍රශ්න ඇති වෙන සීන් එකක් තමයි හිජාස්ට ආණ්ඩුවෙන් දාපු නඩුව.