ලොකුම ධනවතුන්ට ගහනවා කී බද්ද, හොරෙන්ම ඊපීඑෆ් එකටත් ගහලා

පහුගිය අයවැයේදී ඉතාම ආඩම්බරකාර විදියට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කීවා ලංකාවේ වැඩිපුරම ආදායම් උපයන, හරියට කීවොත් රුපියල් මිලියන 2000ට වඩා වාර්ෂික ආදායම් උපයන සමාගම්වලට සීයට 25ක බද්දක් ගහනවා කියලා. ඒ බද්දට අදාල පනත් කෙටුම්පත පෙබරවාරි 07 වැනිදා ගැසට් කළා.

ඒ ගැසට් කරපු පරක්කුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නා මේ බද්ද හොරෙන්ම ඊපීඑෆ්, ඊටීඑෆ් ආදී පොඩි මිනිස්සුන්ගෙ විශ්‍රාම සැලසුම් අරමුදල්වලටත් වදින බව.

ඒ වගේම හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයකින් හොඳ අර්ථකතනයකුත් කරලා තිබුණා. මේ බද්ද ගහලා ආණ්ඩුව එකතු කරගන්න සල්ලිවලට මොකද කරන්නේ කියලා. ඇත්තටම ඉස්සරහට කරන්න ලෑස්ති වෙන්නේ ඔය සල්ලි පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයන් හරහා ආයෙමත් හුදෙක් බෙදලා දාන එක. නැතිව, සංවර්ධනයට බුද්ධිමත්ව යොදවන එක නෙවෙයි. ඉස්සරහට ඡන්ද එනවා. ඒ ඡන්දවල කැම්පේන් සල්ලි විදියට ඔය මුදල් පාවිච්චි කරනු ඇති.

අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ බද්ද ගැන.

2022 පෙබරවාරි 03 දිනැති මේ පනත් කෙටුම්පත, 2022 පෙබරවාරි 07 වැනිදා ගැසට් කළා. මතක තියාගන්න, පනත් කෙටුම්පතක් කියන්නේ පනතක් නෙවෙයි හොඳේ. සම්මත වෙනතුරු ඒක බලපැවැත්වෙන්නේ නැහැ.

කොහොම නමුත් මේක ‘අධිභාර බද්ද’ යනුවෙන් හඳුන්වනවා. ‘අධිභාර බද්ද පැනනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට සම්බන්ධ සහ අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.’ යනුවෙන් මේ පනත ගැස විස්තර සඳහන් වෙලා තිබුණා.

කෙටුම්පතේ තියෙන සාමාන්‍ය කරුණු ටික මෙහෙමයි.

2022 අප්‍රේල් පළවැනිදායින් (බැසිල් මහත්තයාගේ දවසෙන්) තක්සේරු වර්ෂය පටන් ගන්නවා. එදා ඉඳන් අවුරුද්දක්. ඒ කාලසීමාවේදී ‘බදු අය කරන්න පුළුවන් ආදායම’ රුපියල් මිලියන 2000ක් (බිලියන දෙකක්) ඉක්මවන අයට ආදායමෙන් සීයට 25ක් බද්ද ගහනවා.

එතකොට ඒ බද්ද වැදෙන සමාගමකින් ලාභය ලැබෙන අයට, ඒ බද්ද දෙවැනි වතාවට වදින්නේ නෑ. උදාහරණයක් කීවොත් ධම්මික පෙරේරාගේ කම්පැණිවලට බදු වැදුණාට පස්සේ, ඒ බද්ද ගෙවලා ඉතිරිවෙන ලාභය ධම්මික පෙරේරා අතට ආවාම ඒ එන සල්ලිවලට බද්ද වදින්නේ නැහැ.

ඒ වුණත්, ලංකාවේ බදුවලට අහුවෙන සමාගමකින් නැතිව, ඒ කියන්නේ වෙනත් යම් ක්‍රමයකට රුපියල් මිලියන 2000කට වඩා සල්ලි උපයන යම් පුද්ගලයෙක් ඉන්නවානං අන්න ඒ කෙනාටත් සීයට විසිපහේ මේ බද්ද වදිනවා. සැක හිතෙන ක්‍රමවලින් සල්ලි හොයපු, තමන්ගෙ ආදායම් හෙළි නොකරන නෝනාමහත්වරුන්ට මේ බද්ද වදින්නේ නෑ හොඳේ. ඒ කියන්නේ තිරු නඩේසන්, නිරූපමා රාජපක්ෂ පන්නයේ ඕෆ් ෂෝ නෝනා මහත්වරුන්ට.

කොහොම නමුත් හර්ෂ ද සිල්වා මහතා මතු කරපු කාරණය එන්නේ, මේ පනතේ බදු අය කෙරෙන සමාගම් ආදිය අර්ථකතනය වෙන තැනදී. ඒ අර්ථකතනයේ සඳහන් වෙනවා 2017 අංක 24 දරන දේශී ආදායම් පනතේ 3 වන වගන්තතිය යටතේ ඒ යෙදුමට දීලා තියෙන අර්ථකතනයම දෙන්න ඕනෑ කියලා.

තුන්වැනි වගන්තියේ තියෙනවා මෙහෙම. ‘….තක්සේරු වර්ෂයකක් සඳහා තැනැත්තෙකුගේ බදු අය කළ හැකි ආදායම, එම වර්ෂය සඳහා එක් එක් සේවා නියුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් සහ වෙනත් මූලාශ්‍රවවලින් වූ එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි සම්පූර්ණ ආදායමට සමාන විය යුතුය..’ කියලා.

ඊට අමතරව දේශීය ආදායම් පනතේ පස්වැනි පරිච්ඡේදයේ, තුන්වැනි කාණ්ඩයේ භාර, ඒකක භාර, අන්‍යෝන්‍ය අරමුදල ආදියට බදු ගහන හැටි සඳහන් වෙනවා.

ඒ කියන්නේ යම් අර්ථලාභීන් ඉන්න ඊපීඑෆ්, ඊටීඑෆ් හෝ වෙනත් විශ්‍රාම වැටුප් අරමුදල් වගේ ඒවා, නැත්නම් කුමන හෝ ප්‍රතිලාභයක් ලබන අරමුණෙන් මිනිස්සු සල්ලි ඉතිරි කරන අරමුදල් බදු ගහන්න පුළුවන් විදියට හඳුනගන්නවා.

ඒ කියන්නේ ලංකාවේ බිස්නස් කරන සමාගම් තියෙනවානේ. ඒවා කොටස් හිමියන් එකතුවෙලා හැදිච්ච සමාගම්නේ. අන්න ඒ වගේ, සේවක අර්ථසාධක අරමුදල වගේ ඒවාත් ලංකාවේ සමාගමක් විදියට සලකනවා. මගේ හෝ ඔබේ සල්ලි ඒ අරමුදලේ දාලා තියෙනවා නම්, ඒක අපේ කොටස් හිමිකමක් විදියටම සලකනවා.

ඒ අර්ථකතනය පාවිච්චි කරලා තමයි මේ කියන බද්ද සේවක අර්ථසාධක අරමුදලටත් වදින්නේ.

ටැක්ස් ද රිච් හෙවත් ධනපතීන්ට බදු ගසනු යන්න මේ වෙද්දී ලෝකයේම එන සටන් පාඨයක්. අධික ධනයක් උපයන අයගෙන් බදු අය කරමින්, සමාජ විෂමතාව නැති කරලා, සමාජය අතර ආදායම් සාධාරණ ලෙස බෙදන්න කියන යෝජනාව තමයි ඒ විදියට මතු වෙන්නේ.

ලංකාව වගේ රටවල්වල නම් ධනපතියන්ට බදු ගසනු කියන ඉල්ලීමටත් එහා ගිහින් හැබෑ ධනපතියන් කවුද කියා හොයනු, ඔවුන්ගේ ආදායම් සෙවූ සැටි සොයනු, හොරෙන් ඉපයූ අයගේ දේපළ රාජසන්තක කරනු, බදු නොගෙවා ආදායම් හැංගූ අය ගස් යවනු වගේ සටන්පාඨත් ගන්න වේවි.

කොහොම නමුත්, මේ පනවන අධිභාර බද්ද කියන්නේ ඒ ධනවතුන්ගෙන් නිසියාකාරව උපයන විට බදු අය කරගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ කියන්නේ රටේ බදු ප්‍රතිපත්තියේ ව්‍යුහාත්මක වෙනසක් නෙවෙයි. ඒ වෙනුවට සල්ලි ටිකක් හොයාගන්නට අයවැයේදී අහසින් පාතත් කරපු බද්දක්.

සැබෑ ප්‍රශ්නය තමයි මේ බද්ද වදින සමාගම් බොහෝ විට මේ බද්ද නං නැවත අය කරනු ඇත්තේ පාරිභෝගිකයාගෙන්මයි. සමාගමකට බද්දක් වැදුණාම, ඒ බද්දත් එයාලා විකුණන බඩුවේ මිලටම එකතු කරයි.