චිලියේ ජනාධිපති කොල්ලා එක්ක ලෝකෙම නායකත්වය ගන්න බලන දේශගුණ ඇමතිතුමිය!

චිලි කියන්නේ ශ්‍රී ලංකාවට වඩා ජනගහනය අඩු රටක්. එරට ජනගහනය මිලියන 19ක්. ලොකු ලෝකෙක පොඩි රටක්. හැබැයි ඒ රටේ කොපර් ආදී කර්මාන්තමය අපනයන තියෙනවා. ඩොලර් බිලියන හැත්තෑ ගාණක විතර වාර්ෂික අපනයන සිද්ධ වෙන්නේ ඒ නිසා. ලංකාවේ අපනයන ඩොලර් බිලියන 10- 20 අතර ගාණක් තමයි අන්තිමට තිබුණේ. චිලි රටෙන් වැඩපුරම අපනයනය කරන්නේ කොපර් වෙන නිසා, සෑහෙන පප්‍රමාණයක් චීනෙට අපනයන කරනවා.

සරලව කීවොත් චිලියේ අපනයන ආදායමක් මාර විදියට තියෙනවා. අපට වඩා ආර්ථිකයත් ලොකුයි. ඇමෙරිකාව ආසන්නයේ තියෙන නිසාත් ලෝකයේ ලොකුම භාෂාවෙක් වෙච්ච ස්පාඤ්ඤ භාෂාව කතා කරන නිසාත්, චිලියට භූ දේශපාලන හා භාෂාමය වාසියකුත් තියෙනවා. ඒත්, ඒවා හැරුණාම චිලි රටට තියෙන්නේත් අපට තියෙන අවස්ථාම තමයි.

ඒත්, ඒ රට දැන් ප්ලෑන් කරන්නේ ලෝකෙම අර්බුදයක් විසඳන ගෝලීය නායකත්වයක් ගන්න. ලෝකෙ වෙනස් කරන්න. ලෝකෙ යහපත් කරන්න.

ඒත්, අපේ ඉන්න පප්පලාට ලංකාව වෙනස් කරන්නවත් හයියක්, කොන්දක්, දැක්මක් නෑ.

ඔබ දන්නවානෙ, චිලි රටේ අවුරුදු තිස් ගාණක ජනාධිපතිවරයෙක් බලයට පත් වුනා. ගේබ්‍රියෙල් බොරික් තරුණ ජනාධිපතිවරයා. ඔහු ප්‍රකට දේශගුණ විද්‍යාඥවරියක් වන මෙයිසා රෝහාස්ගේ  දායකත්වයට රජයට ලබාගනිමින්, හරිත අනාගතයක් රටට ඇති කරන්න පියවර ගනිමින් ඉන්නවා. ඇය චිලි රජයේ ‘දේශගගුණ අමාත්‍ය’ ධුරය දරමින් බොරික්ගේ  කැබිනට් මණ්ඩලයට එකතු වෙලා ඉන්නවා.

 විශේෂයෙන් ලෝකයම දේශගුණ අර්බුදයට මුහුණදෙන තැනට පත් කරවලා, ලෝක අවසානයෙන් ගලවාගන්න නායකත්වය දෙන්න ගේබ්‍රියෙල් බොරික් ප්‍රමුඛ චිලි රජයට වුවමනාවක් තියෙනවා.

49 හැවිරිදි විද්‍යාඥවරියක වන මෙයිසා, උක්ත තරුණ වාමාංශික ආණ්ඩුව ගැන ප්‍රබෝධයෙන අදහස් දක්වා තිබුණා. ‘මේ තරුණ ප්‍රජාව කරලා තියෙන දේවල් ආකර්ශණීයයි. හරියට අවුරුදු 10කට කලින් මේ අය විශ්වවිද්‍යාල සිසු නායකයන්. එහෙත් ඔවුන් 21 වැනි සියවසේ අභියෝගවලට නවීනම දෘෂ්ඨිකෝණයක් ගෙනල්ලා තියෙනවා.  දේශගුණ අර්බුදයත් ඒ අභියෝග අතර තියෙනවා’ යනුවෙන් ඇය ප්‍රකාශ කරලා.

ජනවාරි 24 වැනිදා බොරික් ප්‍රකාශයට පත් කරපු කැබිනට් මණ්ඩලයේ බහුතරය කාන්තාවන් වීමත් විශේෂයි. ලංකාවට වඩා දැවැන්ත ආර්ථිකයක් තිබුණාට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 24යි. ඒ අතරින් 14ක්ම කකාන්තාවන්.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ චිලියේ දේශගුණ ඇමතිනී රෝහාස්, 2021 දී ප්‍රකාශයට පත් කළ දේශගුණ අර්බුදය පිළිබඳ අන්තර් ආණ්ඩු පැනලයේ වාර්තාවටත්  දායකත්වය දුන්නා. ඇකඩමියාව තුළ සාර්ථකත්වයක් ලැබූ ඇයට, විධායකයේ සාමාජිකාවක් විදියට චිලි රටේ අනාගතය හැඩගස්වන්නට දායකත්වය දෙන්න හැකි වේවි.

‘අප මුලින්ම කීවා කෙතරම් පොඩි රටක් වුණත්, හරි රාජ්‍යතාන්ත්‍රික විචක්ෂණභාවයෙන් කටයුතු කළොත් ගෝලීය නායකත්වයේ භූමිකාවකට යොමු වෙන්න පුළුවන් බව.

‘මම හිතනවා චිලි රටට ලෝක දේශගුණ අර්බුදයට එරෙහි සටනේ නායකත්වය ගන්නට ලොකු ඉඩක් තියෙන බව. ලොකයේ අනෙක් රටවල් දේශගුණ අර්බුදයට එරෙහිව පෙළගස්වන්න මට අවකාශය විවර වුණොත් මම සතුටින් බාර ගන්නවා’ යනුවෙන් ඇය කියා තිබුණා.

දේශගුණ අර්බුදය නොතකා කටයුතු කරන ලෝක නායකයන් අතර අංක එකේ කෙනෙක් චිලිය ආසන්නයේ ඉන්නවා. බ්‍රසීල ජනපති ජායිර් බල්සනාරෝ. ලෝකයේ පෙණහැල්ලක් බඳු ඇමසන් වනය වනසන්නට ඉඩ දී ඔහු බලා ඉන්නවා. ඒත් එක්කම මේ කලාපයේ දේශගුණයත් අවදානම්. චිලියේ නිතර නියඟ ආදිය ඇති වෙනවාලු. ලෝකයේ වියළිම කාන්තාරය වන ඇටකාමා තියෙන්නේත් චිලි රටේ. එරට කෘෂිකර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තයත් ආර්ථිකයේ වැදගත් තැනක් ගනිද්දී, දේශගුණය කියන්නේ රටට සම්පතක්.

ඒ නිසා ‘ඔක්සිජන් කන්නද?’ කියා අහන ඇමතිලාව තෝරාගත්ත අපේ ජනාධිපතිට වඩා වෙනස්ව, දේශගුණ විශේෂඥයන්ව තමයි චිලි ජනාධිපති පත් කරලා ඉන්නේ.

‘ගෝලීය උෂ්ණත්වය කියන්නේ කාර්මික විප්ලවයෙන් පසු වසර 200ක කාලසීමාව තුළදී මනුෂ්‍ය ශිෂ්ඨාචචාරය සංවර්ධනය වූ හැටි පෙන්වන රෝග ලක්ෂණණයක්. එහි ප්‍රතිඵල දෙකක් තියෙනවා. එකක් අපගේ පරිසරය විනාශ වීම. දෙවැන්න ආයතනගත විෂමතාව. ඒ විෂමතාව තමයි 2019 දී චිලි රටේ සමාජ අසහනය වර්ධනය වෙලා නව ව්‍යවස්ථාවක් ලියන තැනට වර්ධනය වුණේ.’

2019 දී මහා පරිමාණයෙන් යුගයක් වෙනස් කරන අසමානතාවට එරෙහි උද්ඝෝෂන මාලාවක් චිලි රටේ පැනනැගුණා. ඒකාධිපති පාලන සමයක ලියැවුණු චිලි ව්‍යවස්ථාව වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක් ලියන තැනට ඒ උද්ඝෝෂන තල්ලු වුණා.

දැන් චිලි රට 2050 වෙද්දී එරට හරිතාගාර වායු විමෝචනය බිංදුව දක්වා පහත හෙළන්නට පියවර ගනිමින් ඉන්නවා. ඒ අනුව ඉන්ධන පාවිච්චිය, ඉන්ධනවලින් දිවෙන බලශක්ති ප්‍රභව පිටුදැකීම ආදී පියවර ඔවුන් ගන්නවා. 2040 සිට ගල්අඟුරු බලාගාර අලුතින් පිහිටුවීම තහනම් කෙරෙන පනතක්ද සම්මත කෙරුණා.

කෙසේ වෙතත් දේශගුණ අර්බුදයට පිළියම් ලෙස රටක් වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි. ‘එය රටක දැවැන්ත ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කෙරෙන ක්‍රියාවලියක්’ යනුවෙන් රෝහාස් හදුන්වා තිබුණා. ඒ අනුව ආර්ථිකය, සමාජ ජීවිතය මෙන්ම සංවර්ධන මාවත පවා වෙනස් කරන්න සිද්ධ වෙනවා.

එකපාර නින්දෙන් ඇහැරී කාබනික පොහොර තහනම් කළා වගේ එවැනි වැඩක් කරන්න බැහැ. ඒ වගේම අවසාන ඉලක්කය ගැනත් පැහැදිලි වෙන්න ඕනෑ.

පරිසර හිතකාමී වෙලා සංවර්ධනය කරන්න බැහැ කියන කතාව විසිවැනි සියවසට අයිති පරණ කතාවක් බව රෝහාස් කියනවා. චිලි රට කිසිම කර්මාන්තයක් නැති ලොකුම ලොකු උද්‍යානයක් කරන බලාපොරොත්තුවක් තමන්ට නැති බවත් ඇය කියනවා. ඒ වෙනුවට ‘දේවල් වෙනස් විදියට’ කරන්න සිදු වෙන බව තමයි ඇය පෙන්වා දෙන්නේ.

රෝහාස් යම් ක්ෂේත්‍රයක විශේෂඥවරියක් මිසක අත්දැකීම් බහුල දේශපාලනඥවරියක් නෙවෙයි. ඇය ඒ බව හොඳට දන්නවා. ‘මම විශේෂඥවරියක් වූ පළියට දේශපාලනඥයෙකුට වඩා සාර්ථක බව හිතන්නේ නැහැ. ඇත්තටම විශේෂඥයන් සහ දේශපාලනඥයන් යන දෙපිරිසම මෙවැනි ක්‍රියාවලියකට අවශ්‍යයි.’ යනුවෙන් ඇය කියනවා.