ඛේදවාචකයකින් ගායනයට ආ, ලතා මංගෙෂ්කර් ගැන ඔබ දැනගන්නම ඕනෑ කරුණු 10ක්

ඛේදවාචකයකින් ගීත ගායනයට ආපු, ගොඩක් පීඩා මැද ගායනයට යොමු වෙලා පිරිමි රජකරපු කලා ලොවක් දිනූ ලතා මංගේෂ්කර් ගැන තමයි මේ කතාව. අවුරුදු අසූවක් විතර තිස්සේ කලාවේ හිටපු, මධුබාලාගේ ඉඳන් ශ්‍රීදේවි, රේඛා, මධුරි, කරිෂ්මා සිට ප්‍රීති සින්ටා දක්වා ගීත ගැයූ ඇය ජීවිතයෙන් සමුගත් බව ඇසීම පවා හිතට එක විදියක වේදනාවක්.

අපි මේ වීඩියෝවෙදී කතා කරන්නේ ලතා මංගෙෂ්කර් ගැන ඔබ දැනගන්නම ඕනෑ පුදුම සහගත කරුණු දහයක් ගැන. ඉන්දියාවේ නයිටිංගේල් ලෙස නම් ලැබූ ඇය චිත්‍රපටි දහසකට වැඩි ගණනක, ගීත දහස් ගණනක ගායනා කරලා තියෙනවා. ඇගේ සහෝදර සහෝදරියන් පවා ගීත ගැයුවා. ඒ අතරින් ප්‍රසිද්ධම ආශා බෝස්ලේ. ඊට අමතරව උෂා මංගෙෂ්කර්, මීනා කාඩිකර්. හ්‍රිඩ්‍යනාත් මංගෙෂ්කකර් ආදී සහෝදරවරුන්ගේ ඉඳන් ඥාතීන් ගොඩක් කලාවේ ඉන්නවා. ලතාගේ පියා නාට්‍ය ශිල්පී දීනානාත් මංගෙෂ්කර්.

මේ කාරණා ඔබ දන්නවා ඇති. ඒත්, එතැනින් එහාට ඇය ගැන අපි කතා කරමු.

ලතා මංගෙෂ්කර් ගැන කතා කරද්දී, අපි ඇයව විස්තර කරන්නේ කොහොමද? මොන වචනවලින්ද? මොන හැඩයෙන්ද? ඇගේ ශ්‍රේෂ්ඨත්වය අල්ලාගන්නේ කුමන වචනවලටද? ජාවෙඩ් අක්තර් සහ ගුල්සර් මේ ප්‍රශ්නයට කාලෙකට කලින් උත්තර දුන්නා.  

ඇත්තටම ඉතිහාසයේ ඇතැම් කලාකරුවන් ඉන්නවා ඒ අයගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරන්නට අලුතින් වචන අවශ්‍ය නැහැ. ඒ නමම ඇති. මයිකල් ආන්ජිලෝ, ශේක්ෂ්පියර්, බිතෝවන් යනාදී බොහෝ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරන්නට සුදුසුම යෙදුම තමයි ඒ අයගේ නම.

ලතා මංගේෂ්කාර්ගේ ශ්‍රේෂ්ඨත්වය අහුවෙන වචන දෙක තමයි ඇගේම නම. ඇය, ලතා මංගේෂ්කර්. ඕනෑ කෙනෙක් නම කී පමණින් ශ්‍රේෂ්ඨත්වය දන්නවා.

අංක දහය ‘ඛේදවාචකයකින් ගායනයට’

ලතා මංගේෂ්කර් උපත ලැබුවේ 1929 දී. නිදහසට ලබන්න කලින් ඉන්දියාවේ.  පියා නාට්‍ය ශිල්පියෙකු වුවත් 1942 දී හෘදයාබාධයකින් පියා නැතිවෙනලා. ඊට පස්සේ 13 හැවිරිදි ලතාට පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ගී ගයන්නටත්, රඟපාන්නටත් සිදු වෙලා. සල්ලි උපයන්න. කුඩා කාලේ ඇය වෙන අය වැඩ ඉවරවෙලා තේ බොන වෙලාවට ඒක කරන්නේත් නැහැලු. මුලු දවසේම කන්නේ නැතිව ඉන්නවාලු, රෑට ගෙදර අයට කන්න සල්ලි ඉතුරු කරන්නට. පයින්ම වැඩට ගියාලු.

අංක නවය පළමු සාර්ථකත්වය

1942 දීම ඇගේ මුල් ගීය නාචු යා ගායෙ ගැයුවා. ඇගේ මව්බස වන මරාති භාෂාවෙන් කරපු චිත්‍රපටියකට කරපු මේ ගීය, පස්සේ ෆිල්ම් එකට ගත්තේ නැහැලු. ළපටි නමුත් පරිණත හඬකින් යුත් ඇගේ ගායනය දැන් අන්තර්ජාලයෙන් යොයාගන්න පුළුවන්. ඒ අවුරුද්දෙම මරාති චිත්‍රපටියක රංගනයෙන් ඇය කලාවට නිල වශයෙන් එකතු වුණා. කෙසේ වෙතත් ඇය ජනප්‍රියත්වයකට පත් වුණේ 1948 දී මජ්බූර් කියන ෆිල්ම් එකේ දිලල් මේරා තෝඩා කියන සිංදුවෙන්. ඒත් ඇගේ මහා පරිමාණ සාර්ථකත්වය හරියටම තහවුරු වුණේ 1949 මහල් කියන ෆිල්ම් එකේ මධුබාලාට පසුබිම් හඬ සපයමින් ආයේගා ආනේවාලා කියන ගීය ගැයීමෙන් පස්සේ. බොලිවුඩයේ මුල්ම හොරර් ෆිල්ම් එකක් විදියට සලකන මේ ෆිල්ම් එකත් ඓතිහාසික එකක්. එතැනින් පස්සේ පණස් ගණන්වලදීම ලතා ඉන්දියාව කැළඹුවා.

අංක අට නේරුව හැඬෙව්වාලු

1963 ජනවාරියේදී ඉන්දීය ජනරජ දිනය සමරන අවස්ථාවේ ආයෙ මේරෙ වතන් කේ ලෝගන් කියන ගීය ලතා මංගේෂ්කාර් ගැයුවා. ඒ වෙද්දී ඉන්දු-චීන යුද්ධය ඉවරවෙලා මාස කිහිපයක්. ලතා සෙබළුන්ගේ ජීවිත වෙනුවෙන් ගැයුවේ. මගේ සහෝදර ජනතාවනි කියලා පටන් ගන්න සිංදුවේදී ඉල්ලන්නේ යුධබිමෙන් ආපහු නොආපු, කැපකිරීම් කරපු වීරයන් වෙනුවෙන් කඳුලක් හෙළන්න ආදී අදහස්. ගීය ගයන අවස්ථාවේ ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරුගේ ඇස්වලට කඳුළු පිරුණාලු.

අංක හත – ‘මට මගේ සිංදු අහන්න බැහැ.’

ලතා මංගෙෂ්කර් වගේ දැවැන්ත චරිතයක් බවට පත්වෙද්දී, ක්ෂේත්‍රය ඇතුළේ විවිධ කතන්දර හැදෙනවා. ‘ලොකුකම්’, ‘ආඩම්බරකම්’ සහ ‘ඊගෝ’ ගැන. ඒ කතන්දර ගැන විශ්වාස කරනවාට වඩා ඒ ඒ දැවැන්ත චරිත කී දේවල් දිහා බලන එක තමයි වටින්නේ. ලතා වතාවක් කීවා ‘මට මගේ සිංදු කවදාවත් අහන්න බැහැ.’ කියලා. ‘මම ඒ සිංදුවලට අහද්දී, මට දැනෙනවා මීටත් වඩා හොඳට කියන්න තිබුණා කියලා. තව ටිකක් නිර්මාණශීලී වෙන්න තිබුණා කියලා.’ යනුවෙන් ඇය කියනවා. ලතා මංගෙෂ්කර් ලෙවල් එකේ ගායිකාවක් තමන්ගේම නිර්මාණවල අඩුපාඩු දකිනවා කියන්නේ සෑහෙන නිහතතමානීකමක්.

‘සංගීතය කියන්නේ මගේ ජීවිතය. අද පවා මම ගොඩක් බයයි මට සංගීතය නිර්මාණය කරන නිර්මාණකරුවා සෑහීමට පත් කරන්න මට බැරිවේවි කියා.’

අංක හය – ආශා සහෝදරිය

ලතාගේ සහෝදරිය ආශා බෝස්ලේ  විවාහය හින්දා ලතාගේ පවුලෙන් වෙන් වෙලා කතා නොකර හිටි කෙනෙක්. ඒ නිසා මේ දෙන්නා අතර ගැටුම් අවුස්සන්න සමහරුන් උත්සාහ කරන නමුත්, තමන් සහෝදරිය එක්ක හැමදාම ගැටුම් බේරාගත් බව ලතා කියා තියෙනවා. ‘ආශාගේ හඬ මට වඩා වෛවර්ණ එකක්’ යැයි ඇය වතාවක් කියා තිබුණා.

අංක අංක පහ – සම්මාන

ලතාට ඉන්දියාවේ දෙන්න තියෙන හැම සම්මානයක්ම වගේ දීලා තියෙන බව අමුතුවෙන් අහන්න දෙයක්ද. පද්ම භූෂන්, පද්ම විභූෂන්, දාදා සහෙබ් පාල්කේ අවෝඩ්, එන්ටීආර් නැෂනල් අවෝඩ් සිට ඉන්දියාවේ ඉහළම සම්මානය වන භාරත් රත්න දක්වා සම්මාන ඇය ලැබුවා.

අංක හතර- ගිනස් වාර්තා

1974 දී ඇය ගිනස් පොතට ගියේ වැඩිම ගීත ගණනක් පටිගත කළ ලොව ගායකයා හො ගායිකාව ලෙස. පසුකාලීනව මොහොමඩ් රාෆිත් වැඩිම ගී ගැයූ කෙනා ලෙස හැඳින්වුවා. කෙසේ වෙතත් 2011 වෙද්දී ඇගේම සහෝදරිය ආශා බෝස්ලේ වැඩිම ගී පටිගත කළ කෙනා විදියට ගිනස් පොතේ සනිටුහන් වුණා.

අංක තුන – ලතා සතු වූ බලය

එක වෙලාවක කෙනෙක් කීවාලු, ලතාට හෙම්බිරිස්සාවක් ආවොත්, මුළු බොලිවුඩයටම කිවිසුම් යනවා කියලා. ලතාගේ එක හිස සැලුමකින් සංගීත කම්පැණිවල ඉරණම වෙනස් කරන්න පුළුවන් බවත් කියනවා. හැම විනාඩියේම කොහේ හෝ ලතාගේ ගීයක් වාදනය වෙන බව කියනවා. ඒ වගේම ඉන්දියාවේම අවිඥාණය ඇතුළේ, එයාලාගේ මානසිකත්වය ඇතුළේ ලතාගේ හඬ දැවැන්ත භූමිකාවක් ඉටු කරනවාලු. එතරම් ප්‍රබල හඬක් සතු බලය කොච්චර වෙන්න ඇතිද?

අංක දෙක – ලතාගේ අහිංසක හඬ

ලතාගේ කටහඬ පිළිබඳ ලිංගිකත්වය පිළිබඳ කතාවක් තියෙනවා. ලතා තමයි නූතන ඉන්දියානු කාන්තා ගායන හඬට මුල්ම ආදර්ශය වුණේ. ඇගේ හඬ තමයි සියදහස් ගණන් පසුකාලීන ඉන්දීය ගායිකාවන් ආදර්ශයක් කර ගත්තේ. ඊට වෙනස් වූ හඬවල් පසුකාලීනව බිහි වුණත්, පුරුෂ මූලික ඉන්දියාවේ පිරිමියාට යටහත් වූ අහිංසක ගැහැණියගේ හඬ තමයි ලතා නිරූපණය කළේ.

කොහොමද එහෙම වෙන්නේ? ඇය ගයන ස්වර පරාසය, ඇගේ කටහඬේ ටෝන් එක, ටෙම්පො එක ආදී දේවල්වලින්. ලතා ජනප්‍රිය වූ පනස් ගණන්වල ඉන්දියාවේ කාන්තාව කියන්නේ බොහෝ විට ශරීරය ආවරණය කළ යුතු, එළියේ නොයා යුතු, හඬ උස්සලා කතා නොකළ යුතු, පිරිමින්ට අවනත විය යුතු, පෞද්ගලික අවකාශෙක ඉන්න ඕනෑ කෙනෙක්.

එතකොට, ප්‍රසිද්ධ අවකාශයේ ප්‍රසිද්ධියේ ගී ගැයූ ලතා කොහොමද එදා පිරිමින්ව අවුස්සන්නේ නැතිව, ඔවුන්ගේ ගෞරවය දිනාගත්තේ. කලින් කී ‘අහිංසක’ ‘යටහත් පහත්’ කාන්තා හඬ සිනමාව ඇතුළේ හසුරවමින්.

අපි කියන්නේ ‘ලතා අරගල කළේ නෑ.’ වගේ එකක් නෙවෙයි. එදා ලතාට වැඩ කරන්න තිබුණ අවකාශය තමයි ඒ.

ඊට වෙනස්ව, ටිකක් දඟකාර, සෙල්ලක්කාර වගේම ස්වාධීනත්වයක් තියෙන හඬ තිබුණේ ආශා බෝස්ලේට. ඒ වගේම ලතාට වඩා ආශා කටහඬට රාගය මුසු කරනවා.

මෑතකාලීනව නම් ‘එන්ජෝයි එන්ජාමි’ ගීය ගයන ‘දී’ වගේ කෙල්ලන්ගේ ඉතාම ප්‍රබල, ස්වාධීන හඬවල් ඉන්දියාවේ තියෙනවා. ඉන්දීය කාන්තා හඬවල් විශේෂයෙන් දකුණු ඉන්දියාවේදී පට්ට රැඩිකල්, සටන්කාමී ඒවා. ලතා හැදූ මුල්වලින් ඒ හඬවල් වෙනස් වෙලා.

කොහොම වුණත් මේ ගැහැණු ගායනා කටහඬක තියෙන්නේ ‘ස්වාධීනත්වයද?’ ‘යටහත් පහත් බවක්ද?’ කියන ප්‍රශ්නය එදා මෙදාතුර අපේ කලාපයේ නිතර සාකච්ඡාවට ලක් වෙන එකක්.

අංක එක – පිරිමින්ගේ කලාවක් ජයගැනීම

ලතා මංගෙෂ්කර් පුංචි කාලෙ හරි දඟයිලු. නිතර කියවනවාලු. තාත්තා සංගීත පන්තිවලට ඇහුම්කන්දීම වගේම ඔහුගේ මරණයෙන් පස්සේ පවුලේ බර කරට ගැනීමෙන් ඇගේ ජීවිතේ වෙනස් වෙන්න ඇති. එහෙම සංගීත බිස්නස් එකට ආපු ලතා, හුදෙක් පිරිමි ගායකයන් මැද අතුරු මාතෘකාවක් නොවී, තමන්ගේම ආධිපත්‍යයක් හදාගැනීම කාන්තාවන්ට ආදර්ශයක්. බොලිවුඩය පිරිමින්ගෙන් පිරිච්ච, කාන්තාවන්ට වැඩ කරන්න අසීරු කර්මාන්තයක් වුණාලු. ලතාට බාධක ගොඩක් තිබුණාලු. ඒත්, ඇය ජයගත්තා. අන්න ඒකයි ඈ ගැන අවසානයේ අපි සිහිතබාගන්න ඕනෑ.