විවේචනය modern කරගන්න! – ගීතිකා ධර්මසිංහ

පහතින් දක්වා ඇත්තේ එක්තරා ස්ත්‍රියක් විසින්  ප්‍රකාශ කරන ලද අප සමාජයේ ඉතාම බහුලව භාවිතා වන යෙදුමකි. මෙවැනි භාෂාත්මක යෙදුම් යම් සමාජයක බලය හැසිරවෙන ආකාරය මනින කදිම මිනුමකි. එය සාමාන්‍ය ජන විඥානය විදහා පායි. 

දැනට පවතින මහේක්‍ෂය භාෂාව යනු පිරිමියා මුලික වූ ස්ත්‍රීය දෙවෙනි කොටලා සලකන භාෂාවකි. එම භාෂාව ඓතිහාසික ගොඩනැංවීමකි. එය සේවය කරන්නේ එක්තරා අධිපති අදහස් සමුදායකටය. ඒ නිසාම මෙවැනි යෙදුම් මගින් එම භාෂාව අනෙකා වෙතට හෙලු පීඩිත සහ දෙවෙනි කොට සැලකීමේ බැල්ම දරා සිටියි. උදාහරණයක් ලෙස දෙමළුන් පඩි ගත්තා වගෙයි, සක්කිලි වැඩ කරන්න එපා, පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා, ගෑනියෙක් වගේ අඬන්න හෝ හැසිරෙන්න එපා වැනි අදහස් ගත හැකිය. දෙමළ ජනතාවගේ භාෂාව හා සංස්කෘතිය වෙත වූ නුරුස්සනා බැල්ම, සක්කිලි ජන කොට්ටාසය විසින් කරන ලද ඔවුනගේ රැකියාව නිසා ඔවුන් වෙත හෙලු පහත් කොට සැලකීමේ දැක්ම, ළමුන් නොදන්නා බව හෝ ඔවුන් විදියට හැසිරීම වැඩිහිටියෙකුට නොහොබිනා බව ආදීන්හි ඇත්තේ තමන් ඉහලට ඔසවා ගැනීමේ සහ අනෙකා පහත් කොට සැලකීමේ බලය පිළිබඳ ව්‍යයාමයන්ය.

මේ බලයේ තරංග කෙරෙහි අවධානය යොමු නොකරන නැතහොත් එවන් කතිකාවක අවශ්‍යතාවය ගොඩ නැගී නොමැති සන්ධර්භයක අපට හමු වන්නේ මෙවැනි අගතීන් පිරුණු භාෂාවක් සහිත සමාජයක් පමණක් නොව එයින් පීඩාවට පත් කෙරුණු ස්ත්‍රීන් සහ පිරිමින් පවා නොදැනුවත්වම එහි ගොදුරු බවට පත් වීමේ ආදීනවය. ස්ත්‍රියක් විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති පහත කියමන ඊට උදාහරණයකි.

අප සමාජයේ “චීත්තයක් වගේ යන්න” භාවිතා වන්නේ බාල, නොදැනුවත්, මෝඩ, පහත් ගනයේ, දැනුමෙන් අඩු,  ඕපාදුප කියවන, අන් අයට නිගරු කරන පිරිස් සැලකීම සඳහාය. [හරියට ඉංග්‍රීසි සමාජවල භාවිත වන don’t be a p-u-ss-y වැනිය.] මෙහි බරපතලකම වන්නේ චීත්තය ඇන්දේත් අඳින්නේත් ස්ත්‍රීන්ය. ඒ නිසා ‘චීත්තයක්’ යනු මේ ගති දරාගත් ස්ත්‍රියකි යන්න මෙම භාවිතයේ අරුතයි. ස්ත්‍රිය පිරිමින්ට නැති අගුණ දරා සිටිතැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් මෙහි ප්‍රශ්නය එවන් අයෙක් අමතක කර දමන්නේ එම අගතීන් ඉබේ ඇති වු ඒවා නොවන බවය. එයට ඉතිහාසයක් ඇත. එය සියයට සියයක්ම හින්සනීය ඉතිහාසයකි. 

චීත්තය සරම මෙන්ම ඉතාමත් ලස්සන පහසු ඇඳුමකි. සරමට නැති අගුණක් චීත්තයට ඇති බව දක්වා තිබීම ඇයව පහත්කොට සැලකීමේ යම් හින්සනීය ඉතිහාසයක ගොඩ නැංවීමක් බව විශේෂයන් අප ස්ත්‍රීන් වටහා ගත යුතු වෙයි.  

අප දන්නා බොහෝ දැනුවත් ස්ත්‍රීන් පවා සිය කතා බහේදී මෙවැනි වචන භාවිතා කරනු පෙනෙයි. මටද එවන් ඉතිහාසයක් තිබුණි. වරක් වැඩිය කෑ කෝ ගසන ඇහුම්කන් නොදෙන ස්ත්‍රීයකට මම ඇමතුවේ වට්ටි අම්මා කියාය. ඊට ලැබුණු දරුණු විවේචනය නොවන්නට මෙම භාෂා හරඹයෙහි මමද ගොදුරක් බව අවබෝධ කර නොගනු ඇති!  

භාෂාව මගින් සිදු කරන්නේ පවතින යතාර්තයන් පිළිබඳ අපගේ කියවීම් සහ ආඛ්‍යාන ‘පිළිගත් දෙය’ බවට පත් කිරීමයි. එය පිළිබඳ අප දැනුවත් නොවන විට සිදු වන්නේ අපව තලා පෙලා දමන කතිකාවන්ම නැවත නැවතත් පුනරාවර්තනය වීමට ඉඩ හැරීමයි. එය භාෂාව හරහා අපිට කල හැකි මහේක්ෂය කතිකාව වෙනස් කිරීමට භාෂාවටම ඇති ශක්තියට පිටුපසින් සිටීමකි. ඒ නිසා විවේචනයේ භාෂාව අලුත් කරගන්න.