ආර්ථික අර්බුදය, ක්ෂණික විසදුම හා වසල වෙලද කුලය – කතිකාචාර්ය රමිඳු පෙරේරා

ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ප්‍රචලිත අදහසක් වන්නේ අපගේ ණය නොගෙවා, එම ණය ප්‍රතිව්‍යුහගතකරනය කරන ලෙස ණය හිමියන්ගෙන් ඉල්ලා සිටිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අහිලන් කදිරගාමර් විසින් Debt Restructuring and Structural Reforms: It’s Class, Stupid!නමින් රචනා කොට තිබෙන තම අලුත්ම තීරු ලිපියේ ඉදිරිපත් කොට තිබෙන අදහස් සාකච්ඡාවට ගැනීම අප සියලු දෙනාට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. 

අහිලන් කදිරගාමර් මෙම ලිපියේ මතු කරන ප්‍රධාන ප්‍රශ්නය මෙයයි ; යම් හෙයකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට, ණය ගෙවීම සදහා යම් සහන කාලයක් අප ලබාගත්තා යැයි සිතමු. ඊට පස්සේ මොකද වෙන්නෙ? මේ වනවිට අප මුහුණ දී තිබෙන අත්‍යාසන්න ප්‍රශ්නය නම් ආනයන වියදම අපනයන ආදායමට වඩා බෙහෙවින් වැඩි වීමය. අපට මුහුන දෙන්ට සිදුව තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයේ මූලය තිබෙනේනේ එතැනය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් තුලින් අපනයන ආදායම් ඉහල යාමක් හෝ ආනයන වියදම් අඩු වීමක් අදහස් වේද? පැහැදිලිවම එසේ නැත. අත්‍යාවශ්‍ය නොවන ආනයන දිගටම සිදු කෙරෙනු ඇත. එලෙස සිදු වෙන තාක් දුරට ආනයන වියදම් පහල යාමක් ප්‍රායෝගික නොවනු ඇත. 

මේ වනවිට බොහෝ දෙනා කියන දේ නම්, එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මිස, නැතිනම් අපම මැදිහත් වී දුගී ජන කොටස්වලට දෙන රාජ්‍ය සහනාධාර කපා දැමීමෙන් තොරව මෙම අර්බුදයෙන් ගොඩ ආ හැකි මගක් නොමැති බවයි. මෙම මතයට විරුද්ධව තර්ක කරන ආචාර්ය කදිරගාමර් පෙන්වා දෙන්නේ ඖෂධ, ආහාර, ඉන්ධන හා අපනයන සදහා අත්‍යවශ්‍ය වූ අතර මැදි භාණ්ඩ ආනයන හැරුණු කොට වෙනත් ආනයන කපා දැමීම මගින් අපට විදේශ සංචිත ඉතුරු කරගත හැකි බවයි. හැබැයි මේක කරන්න නම්, විදේශ වෙලදාම සම්බන්ධ අයිතියේ වෙනසක් විය යුතුයි. දැනට විදේශ වෙලදාම තිබෙන්නේ පෞද්ගලික හස්තය සන්තකවය. අවශ්‍ය දේ වගේම අවශ්‍ය නොවන දේද ඔවුන් ආනයනය කරයි. ආනයන සම්බන්ධ යම් සීමාවක් ඇතිකරගැන්මට නම්, ආනයන වෙලදාම සදහා මෙන්ම එකී ආනයන බෙදා හැරීම සම්බන්ධව රජය මැදිහත් විය යුතුය. තම කෙටිකාලීන ලාභ අපේකෂාවෙන් ඕනෑ දේ මෙන්ම එපා දේද ආනයන කරන වෙලෙන්දන්ට ආනයන වෙලදාම භාර දී නිහඩවට සිටීමට තවදුරටත් රජයට නොහැක. 

අනෙක් කරුණ නම් ආයෝජන සම්බන්ධ ප්‍රශ්නයයි. ආර්ථික අවපාතයක් තිබෙන පසුබිමක, ලාභ නොලැබෙන නිසා, පෞද්ගලික ව්‍යවසයාකයන් ආයෝජන කරනු ඇතැයි සිතීම ප්‍රායෝගික නැත. මේ නිසා ආයෝජන සම්බන්ධ වගකීම රජය පවරා ගත යුතුය. මේ සදහා අරමුදල් සම්පාදනය කරගන්නේ කෙසේද? ආචාර්ය කදිරගාමර් පෙන්වා දෙන්නේ, මෙරට ධනවත් ජන කොටස් අය බදුවලින් විශාල මුක්තියක් භුක්ති විදින බවය. මෙම ජන කොටස් මත පනවන ධන බද්දක් (wealth tax) මගින් සැලකිය යුතු ආදායමක් රජයට උපයා ගත හැක. කොරෝනා වසංගතය සන්ධියේ මෙරට දුප්පත් ජනයා බෙහෙවින් බැට කෑවත්, අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්, මූල්‍ය සමාගම් හිමියන් ආදීහු පෙරටත් වඩා ලාභ ලැබූහ. මෙම සධන පාන්තික පිරිස් මත ධන බද්දක් පැනවිම ප්‍රායෝගික නොවන්නක් නොවේ. 

ආර්ථිකය අර්බුදයට ලක්ව තිබෙන පසුබිමක, ආයෝජන සම්බන්ධයෙන් මැදිහත් වෙමින්, ආයෝජන ඉහල දැමීමට, එතුලින් නව රැකියා අවස්ථා හා ආදායම් ජනන අවස්ථා නිර්මාණය කිරීමට රජය සතුව විශාල වගකීමක් තිබේ. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව මෙරට ප්‍රචලිත මිථ්‍යා අදහසක් ඇත; එනම් කවර දහං ගැටයක් ගැහුවත් රාජ්‍ය ව්‍යවසායන්ට ලාභ ලැබිය නොහැකි බවය. එහෙත් මෑතකාලීනව සභාපතිධූරයේ වෙනසක් ඇති වූ මිල්කෝ ආයතනයේ අත්දැකීම පැහැදිලිව පෙන්වා දෙන්නේ නිශ්චිත කලමණාකාරීත්වයක් වේ නම්, රාජ්‍ය ව්‍යවසායන්ට සාර්ථක වීමේ නොහැකියාවක් නැති බවය.

කදිරගාමර්ගේ යෝජනාව නම්, මෙම ක්ෂණික අර්බුදය පියමං කිරීම සදහා විදේශ වෙලදාම හා අභ්‍යන්තර බෙදා හැරීමේ ක්‍රියාවලිය තුලට වැඩි වැඩියෙන් රජය මැදිහත් වීම සහ නිෂ්පාදජනක ක්ෂේත්‍ර ධෛර්යයමත් කිරීම සදහා රජය පුරෝගාමී කාර්යයක් කිරීම අත්‍යවශ්‍ය වන බවය. රජය සතු වන මෙම පුරෝගාමී කාර්යය පිලිබද අදහස මෙරට තුල අධිපතිව පවතින නිදහස් වෙලදපොල පිලිබද සංකල්පයට විරුද්ධව යන්නකි. අර්බුදයේ වැය පහල පාන්තික ජන කොටස් මත පටවනු වෙනුවට, ඉහල පාන්තික කොටස් මත එම බර පටවමින් අර්බුදය පියමං කිරීමේ විදිහක් ගැන පරිකල්පනය කල යුතු බවය ඉහත කී යෝජනාවේ හරය. 

මෙම අදහසට විරුද්ධව මෙරට දේශපාලන පක්ෂ බහුතරය සිතා සිටින්නේ වත්මන් ප්‍රශ්නයට තිබෙන එකම පිලිතුර සාමාන්‍ය ජනයා මත තවත් බර පැටවීම සහ වෙලදපොල හා ව්‍යාපාරික-ධනහිමි පන්තිය හරහා මෙම අර්බුදයට විසදුමක් සොයා ගැනීම බවය. මෙම සිතීමට අනුව, ආනයනවල ප්‍රමුඛතාව ප්‍රශ්න කිරීම ආනන්තරීය පාප කර්මයක් හා සමාන වූවකි. වත්මන් අර්බුදයට හේතුව 1977 දී පටන් ගත්, වෙලදාම ලිහිල්කරණය ඇතුලු නාස්තිකවාදී ආර්ථික ප්‍රතිපත්තීන්ය. මෙම පසුබිම තුල, ණය ගෙවීම් පමනක් නොව, අපගේ ප්‍රමුඛතා සම්බන්ධයෙන්ද ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බවට යෝජනා කෙරෙන ආචාර්ය කදිරගාමර්ගේ අදහස අනිවාරණීය ලෙස සංවාදයට බඳුන් කල යුතු යෝජනාවක් වේ. එබදු විසදුමකට වත්මන් ආණ්ඩුව නොයන්නේ, ආචාර්ය කදිරගාමර් නිවැරදි ලෙස පෙන්වා දෙන ලෙස, ‘පන්ති’ ප්‍රශ්නයක් නිසාය ; මෙරට ආර්ථිකය අල්ලා ගෙන සිටින ආනයන වෙලද මාෆියාවේ – ගුණදාස අමරසේකරගේ වහරින් කිවහොත් වසල වෙලද කුලයේ – අධිකාරියට පිටුපා යාමට තරම් ශක්තියක් වත්මන් ආණ්ඩුවට නොමැති නිසාවෙනි. 

අනාගතවාදී සමාජ ව්‍යාපාරයක් මේ මොහොතේ මතු කල යුතු සටන් පාඨ දෙකකි: ආනයන මාෆියාවේ ( වසල වෙලද කුලයේ) ආධිපත්‍යය බිද හෙලනු! රාජ්‍යය මුලීක ආර්ථික සංවර්ධනයක් වහ වහා ඇති කරනු! 

ඩේලිමිරර් පුවත්පතට කතිකාචාර්ය අහිලන් කදිරගාමර් ලියූ ලිපියක පරිවර්තනයකි.

ලිපිය: https://www.dailymirror.lk/…/Debt…/231-229637

ඡායාරූපය – ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය