‘වත්කම් – බැරකම් ලැයිස්තුව නොදී ඉන්න’ පාර්ලිමේන්තුව මෙතරම් දඟලන්නේ ඇයි? – ශාලික විමලසේන

මාධවේදි ශාලික විමලසේන ලංකා පුවත්පත 2022 ජනවාරි 16 ලියු ලිපියකි.

2018 ජුනි 21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් වූ තොරතුරු ඉල්ලුම්පත්‍රයකි. චාමර සම්පත් නමින් යොමුකර තිබූ එම ඉල්ලුම්පත්‍රය මගින් පහත‌ තොරතුරු ඉල්ලා තිබිණි.

01. 2018 වර්ෂයේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක්.

02. 2010 වසරේ සිට 2018 දක්වා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක්.

මාධ්‍යවේදියෙකු වන චාමර සම්පත් ඉල්ලා තිබුණේ වත්කම් – බැරකම් පිළිබඳ විස්තර නොවේ. ඒවා බාර දුන් – නොදුන් පිරිසගේ නම් ලැයිස්තුවකි. පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා විසින් ඉල්ලුම්කරුට දැනුම් දී තිබුණේ මේ තොරතුරු අවශ්‍ය නම්, ඒ බව කතානායකවරයාට දැනුම් දිය යුතු බවයි. මේ නිසා ඉල්ලුම්කරු විසින් තොරතුරු පනතේ ප්‍රතිපාදන අනුව, නම් කළ නිලධාරියා වෙත තමන්ගේ අභියාචනය යොමුකරන ලදි. එහිදී ද සිදුවූයේ 1975 වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය උපුටා දක්වමින් මේ තොරතුරු රහස්‍ය ඒවා බව පුන-පුනා කීම ය. මෙසේ තොරතුරු සැඟවීමේ උත්සාහයට විරෝධය පළකරමින් ඉල්ලුම්කරු විසින් මෙය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත යොමුකරන ලදි.

කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේදී කරුණු දක්වමින් පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් සඳහන් කර තිබුණේ කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා යනු එකිනෙකට වෙනස් තනතුරු දෙකක් වන බවත්, මේ නිසා කතානායකවරයා සතුව ඇති තොරතුරක් ලබාදීමේ හැකියාවක් මහ ලේකම්වරයාට නැති බවත් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

මේ කරුණ සනාථ කිරීම සඳහා පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද තර්කය වූයේ දිවි නැගුම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගයේදී සිදු වූ ක්‍රියාවලියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ පෙත්සම් පිටපතක් කතානායකවරයා වෙත බාරනොදීම නිසා අදාළ පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලීමක් කෙරිණි. එහෙත් අධිකරණයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඊට හේතු වූයේ අදාළ පෙත්සම් පිටපත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාරදී තිබීම ය. එය ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විය. කෙසේ වෙතත් එවකට පාර්ලිමේන්තුව විසින් ඊට වෙනස් මතයක් ඉදිරිපත් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිනොගැනිණි.

මේ කරුණ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශවල පාලනය කතානායකවරයා සතු වීම පැහැදිලි කරමින් පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් කොමිෂන් සභා විභාගයේදී තම මතය සාධාරණීකරණය කරන ලදි.

කෙසේ වෙතත් තොරතුරු පනතේ 5 (1)හි සඳහන් ආකාරයට තොරතුරු නිලධාරියා විසින් මේ පිළිබඳ කිසිදු අවස්ථාවක කොමිෂන් සභාවේ උපදෙස් විමසීමක් සිදු කර නැත. එසේම තොරතුරු පනත මගින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද හීන නොවන බවට 3(2) හි සඳහන් කරුණ ඔවුන් වැඩිදුරටත් උපුටා දක්වනු ලැබිණි. සියල්ල එසේ තිබියදී, සමාජ සුබසිද්ධිය වෙනුවෙන් තොරතුරු හෙළිදරව් කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු සියල්ල උපක්‍රමශීලීව සඟවනු ලැබිණි.

මගහැරීමේ උපක්‍රම

කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයේදී ඉල්ලුම්කරුගේ පාර්ශ්වය විසින් පෙන්වා දෙනු ලැබුවේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මගින් ප්‍රකාශිත රීති සහ රෙගුලාසි අනුව අදාළ ඉල්ලීම කතානායකවරයා වෙත යොමුකිරීමට මහ ලේකම්වරයා බැඳීසිටින බවයි. එය හිතාමතාම මගහැර ගොස්, වෙනත් උපක්‍රමයක් හරහා ජනතාවට අත්‍යවශ්‍ය තොරතුරක් ලබානොදී සිටීමේ උත්සාහයක පාර්ලිමේන්තු පාර්ශ්වය යෙදී සිටින බව ඔවුන්ගේ තර්කය විය. අදාළ තොරතුරු හෙළිදරව් වීම වළක්වන ලෙස ඒ තරම්ම ඔවුන්ට උපදෙස් ලැබී තිබුණා විය හැකිය.

ඉන්පසු තොරතුරු කොමිසමේ මෙහෙයවීම මත මේ පිළිබඳ කතානායකවරයා දැනුවත් කෙරුණු අතර, කතානායකවරයාගේ පාර්ශ්වයෙන් පවසා ඇත්තේ ඉල්ලා ඇත්තේ නම් ලැයිස්තුවක් පමණක් වන බැවින්, එය ලබාදෙන ලෙස තමන් මහ ලේකම්වරයාට දැනුම් දුන් බවයි. එනම් පෙර ගොඩනැගූ සියලු තර්ක ගඟේ ගොස් ය.

කෙසේ වෙතත් මහ ලේකම්වරයා මෙය පිළිගෙන නොතිබිණි. ඊට අදාළ ව නීති උපදෙස් ලබාගත යුතු බව ඔහුගේ මතය විය. ඒ අනුව නීතිපතිවරයාගෙන් විමසූ විට, ඔහුගේ මතය වී ඇත්තේ මෙය මහ ලේකම්වරයාගේ කාර්යයක් නොවන බවත්, කතානායකවරයාගේ කාර්යයක් වන බවත් ය. කෙසේ වෙතත් මහ ලේකම්වරයාගේ පාර්ශ්වයෙන් නීති උපදෙස් ලබාගැනීමේදී කතානායකවරයා යටතේ වෙනම තොරතුරු නිලධාරියෙක් නැති බව සඟවා ඇතැයි තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබිණි. පාර්ලිමේන්තුවේ සිටින්නේ එක් තොරතුරු නිලධාරියෙකු පමණි.

මෙසේ දෙපාර්ශ්වය අතර තර්ක ගොඩනැගෙමින් තිබියදී, මේ හා සමාන නඩුවක් අභියාචනාධිකරණයේදී විභාග වීම ඇරඹිණි. ඒ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව කොමිසමේ නියෝගයක් නොසලකා හැරීමට එරෙහිව ය. වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ නීතියේ 4(අ) සහ 4(ආ)හි මෙසේ සඳහන් වේ.

(අ) පාර්ලිමේන්තු කතානායකවරයා විසින්, කැබිනට් ඇමැතිවරුන්, අනෙකුත් ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් විසින්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විනිසුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් වත්කම් සහ වගකීම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

(ආ) අනෙකුත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා වෙත වත්කම් සහ වගකීම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

 මේ අතර මෙහි 5(3) යටතේ සඳහන් වන්නේ ඔ්නෑම පුද්ගලයෙකුට නියමිත ගාස්තුවක් ගෙවීමෙන් වත්කම් ප්‍රකාශන ලබාගත හැකි බවයි.

එක සමාන නඩුවක් පවතින නිසා තොරතුරු කොමිසමේ තීන්දුව ලබාදීම අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙන තෙක් කල් දැමීමට ද වරක් තීරණය විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව පාර්ශ්වයේ නිගමනය වූයේ සෑම අවස්ථාවකදීම වත්කම් සහ බැරකම් නීතිය අනෙකුත් නීති අබිබවා යන බවයි. තොරතුරු පනතේ 4 වගන්තියේ ද එය එසේ ම සඳහන් වේ.

‘වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, මේ පනතේ විධිවිධාන සහ යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවක් හෝ ගැටීමක් ඇති වන අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතුය.’

මන්ත්‍රීවරයා යනු කවුද?

මේ සියලු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කරන ලද වැදගත්ම තර්කය වන්නේ මෙවැනි ලැයිස්තුවක් ලබාදීමක් පිළිබඳ කිසිවක් වත්කම් හා වගකීම් නීතියේ සඳහන් නොවන බවයි. ඔහු ඉල්ලා ඇත්තේ වත්කම් ප්‍රකාශ නොවේ. ලැයිස්තුවක් පමණි. ලැයිස්තුවක් අනාවරණය වීම වැළැක්වීම සඳහාත් දීර්ඝ කරුණු දැක්වීම් රැසකි.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව මගින් මීට අදාළ නියෝගය ලබාදෙමින් මුලින්ම සඳහන් කරන ලද්දේ පාර්ලිමේන්තුව නම් එකම ආයතනය තුළ කතානායකවරයා සහ මහ ලේකම්වරයා යනු වෙනම කටයුතු කරන ආයතන දෙකක් නොවන බවයි. එසේම ආයතනය සතු තොරතුරකට අදාළ ලැයිස්තුවක් සකස් නොකිරීම පිළිගත නොහැකි කරුණක් බව ද කොමිසම සිය නියෝගයේ සඳහන් කර තිබේ. මන්ත්‍රීවරයෙකු ඉටු කරන්නේ මහජන කාර්යභාරයකි. එම නිසා ඉහළ ම මට්ටමේ මහජන නිරීක්ෂණයකට ඔවුන් යටත් විය යුතුය යන්න කොමිසම මගින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එදිරිව ජනාධිපති ලේකම් කාර්යාලය නියෝගයේ ද පැහැදිලිව පෙන්වා දී ඇත. වැදගත්ම කරුණ වන්නේ පාර්ලිමේන්තුව පාර්ශ්වයෙන් පෙන්වා දෙන පරිදි මෙහි පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළුවක් නැත. ඉල්ලා ඇත්තේ නම් ලැයිස්තුවකි. එමගින් මහජන සුබසිද්ධිය ඉටුවීමක් සිදුවන්නේ යැයි ද නියෝගයේ සඳහන් ය.

තොරතුරු කොමිසම සිය නියෝගයේ දිගින්-දිගටම සඳහන් කර ඇත්තේ මේ ලැයිස්තුව හෙළිදරව් වීම වැළැක්වීමේ උත්සාහය ප්‍රශ්නසහගත බවයි. තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතියක් වෙනුවෙන් මුළු ලෝකය ම කටයුතු කරමින් සිටියදී, පාර්ලිමේන්තුව තොරතුරු වසන් කිරීම වෙනුවෙන් සියලු නීති ප්‍රතිපාදන ගෙනහැර දක්වමින් සිටී.

අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශය පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ලබාදෙන තුරු මුලදී කල්දැමුණද, වසර දෙකකට අධික කාලයක් ඇදුණු මේ කරුණට අදාළ කොමිසමේ නියෝගය ඊට පෙර ලබාදීමට තීරණය කෙරුණේ ඉල්ලුම්කාර මාධ්‍යවේදී චාමර සම්පත් විසින් යළිත් ගොනුකරන ලද අභියාචනයක් නිසා ය. කෙසේ වෙතත් කොමිසමේ අවසාන නියෝගයේ පැහැදිලිව සඳහන් වන්නේ මේ තොරතුරු ලබාදිය යුතු වන බවයි.

කොමිසමේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට

කොමිසමේ එම නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ. කොමිසමේ නියෝගය අහෝසි කරන ලෙස එමගින් ඉල්ලා ඇත. එම පෙත්සම යළිත් ලබන 20දා කැඳවීමට නියමිත ය.

වැදගත් ම කරුණ වන්නේ වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් පමණක් ඉල්ලා තිබියදී, එය ලබානොදී සිටීමට මේ දරනු ලබන උත්සාහයයි. මේ පිටුපස ඇත්තේ කුමක්ද? ලැයිස්තුව හෙළිදරව් වුවහොත්, 2010 – 2018 කාලය තුළ මන්ත්‍රීවරුන් කටයුතු කළේ කෙසේද යන්න අනාවරණය වේ. උදාහරණ කීයක් නම් කියන්නද? සඟවන්නට බොහෝ දේ ඔවුන්ට ඇත.

මේ තොරතුරු ජනතාවට අත්‍යවශ්‍යයි !

– මාධ්‍යවේදී චාමර සම්පත්

* ජනතාව තෝරලා යවලා තියෙනවා නම්, ජනතාව හොයන්නෙත් නැත්නම්, ඔබට මොකටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් – බැරකම්… ?

මහජන නියෝජිතයන්ගෙ වත්කම්-බැරකම් තොරතුරු තවදුරටත් සඟවමින්, ප්‍රසිද්ධ නොකර තබාගැනීම අපේ රටේ තවමත් සිදුවුණත් ලෝකයෙ බොහෝ රටවල මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මහජන නියෝජිතයන්ගේ හා රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්-බැරකම් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කළ යුතු බවට නීති සකස් වෙලා තියෙනවා. ඒ නිසාම මහජනතාවට වගකියන මහජන නියෝජිතයන් පිරිසක් වගේම නිලධාරීන් පිරිසක් බිහිවෙලා ඉන්නවා. සීයට සීයක් නොවුණත් සාපේක්ෂව ඒ තත්ත්වය තියෙනවා. ඒ අතින් බලන කොට අපි තවම සෑහෙන පස්සෙන් ඉන්නෙ.

ජනතාව තෝරලා යවන්නෙ තමන්ව නියෝජනය කරන්න පිරිසක්. ඒ නිසා ඔවුන් කරන කියන දේවල් පිළිබඳව ජනතාව අවධානයෙන් සහ අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. ජනතාවගෙ මේ අවධානය අඩු නිසා ජනතා නියෝජිතයනුත් ඔවුන්ගෙ වගකීම් අමතක කරනවා. ඒ වගකීම ප්‍රශ්න කළ යුතු ජනතාව අතරින් එක් අයෙක් විදිහටයි මමත් වත්කම්-බැරකම් පිළිබඳව සොයා බැලුවෙ.

* මාධ්‍යවේදියෙක් විදිහට නැතුව, ඡන්දදායකයෙක් විදිහට මන්ත්‍රීවරුන්ගෙ වත්කම් – බැරකම් ඔබට කොයිතරම් වැදගත් ද… ?

මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සියල්ලන් ඔවුන්ගේ වත්කම්-බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වෙනවා. එමගින් ඔවුන්ගේ සැබෑ තත්ත්වය ජනතාවට දැනගැනීමට අවස්ථාවක් තියෙනවා. ඉන්පසුව වාර්ෂිකව මහජන නියෝජිතයන් තමන්ගේ වත්කම් පිළිබඳව හෙළිකළ යුතුයි. මහජනතාවගේ බදු මුදල් භාවිතා කරන මහජන නියෝජිතයන්ගේ සුපිළිපන්නභාවය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකිවෙන්නේ එවිටයි.

සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මැතිවරණයකට ඉදිරිපත් වන කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් හෝ බවට පත්වුණාට පස්සෙ හිතාගන්න බැරි තරම් ධනවත් වෙනවා අපි දැකලා තියෙනවා. ඒක හැමෝටම ප්‍රශ්නයක්. හැමෝටම ඒක ගැන විවිධ උත්තර තියෙනවා. ඒත් ඒවගෙන් කීයෙන් කීයක්ද ඔප්පු වෙලා තියෙන්නෙ. ඒක නිසා මගේ වෘත්තියට විතරක් නෙමෙයි, පුරවැසියෙක් විදිහටත් මට මේ තොරතුරු අත්‍යවශ්‍යයි.

* තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් ඔබ මීට පෙර කළ කටයුතු ගැන කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්ද… ?

තොරතුරු අයිතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට පෙර සිටම ඒ ගැන මම උනන්දුවකින් කටයුතු කළා. ඒ නිසාම තොරතුරු අයිතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අවස්ථාවේ සිට ම විවිධ ආයතනවලට තොරතුරු අයදුම්පත් යොමුකරමින් තොරතුරු ලබාගෙන තියෙනවා. ඒ තොරතුරු මගේ වෘත්තිය හරහා සමාජගත කරලා තියෙනවා. තොරතුරු අයිතිය කියන්නෙ ජනතාවගෙ අයිතියක්. ඒ නිසා ජනතාව එය වැඩි වශයෙන් භාවිතා කළ යුතු බවයි මගේ අදහස. මොකද ජනතාවගේ බදු මුදල් භාවිතා කරලා තමන් ප්‍රදේශයේ කරන වැඩ කටයුතු සිදුවෙන්නේ කොහොමද කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. මම හැමෝටම යෝජනා කරන්නෙ මේ අයිතියෙන් ප්‍රයෝජන ගන්න කියලා.

**

අභියාචනාධිකරණයට යෑම කල්මැරීමේ උපක්‍රමයක්

– පාර්ලිමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (පරිපාලන) ලැසිල් ද සිල්වා

* පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ ඔබ, කතානායකවරයාගේ භූමිකාව සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ භූමිකාව හඳුන්වන්නෙ කොහොමද?

කතානායකවරයා කියන්නෙ දේශපාලන පත්වීමක්. හැබැයි ඒ තනතුරට පත්වීමෙන් පසු ඔහුට දේශපාලන තීන්දු ගන්න බෑ. ඒක උත්තරීතර තනතුරක්. මහ ලේකම් ධුරය කියන්නෙ පරිපාලන තනතුරක්. මේ දෙදෙනා එක්ව සහ වෙන-වෙනම කටයුතු කරන අවස්ථා තියෙනවා. කොහොම වුණත් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ දෙන්නාටම ඒකාබද්ධ වගකීමක් තියෙනවා.

* වත්කම් – බැරකම් ප්‍රකාශ දුන්නු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ ලැයිස්තුවක් ලබාදීම මේ තනතුරුවලින් දිගින්-දිගටම ප්‍රමාද කරමින් ඉන්නවා. එහෙම කරන්න පුළුවන් ද?

මහජන නියෝජිතයෙක්ව අපි පත්කරලා යවන්නෙ ඇයි? ඒ වගකීම හරියට ඉෂ්ඨ කරනවා නම්, ඔහුට හෝ ඇයට තමන්ට පවරපු වගකීමට අදාළව හංගන්න දෙයක් තියෙන්න විදිහක් නෑ. ඒත් අපි දන්නවා දැන් ඉන්න අයට හංගන්න හුඟක් දේවල් තියෙනවා.

පාර්ලිමේන්තුව කියන්නෙ කතානායකවරයාගෙ ආයතනයක් නෙමෙයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇස්, කන් සහ හඬ විය යුතුයි කියලා ප්‍රකට කියමනක් තියෙනවා. කතානායකට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අභිමතානුසාරී බලයක් නෑ. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න නම්, ඒ කටයුතු විනිවිදභාවයෙන් යුතුව කරන්න ඔ්නෙ. කතානායකවරයා දේශපාලන තීන්දු ගන්නවා නම් මේවට අදාළව මහ ලේකම්වරයා සෘජුව තීරණ ගන්න ඔ්නෙ. මේ වගේ තොරතුරු දෙන්න ඔ්නෙ. ඒකට මහ ලේකම්වරයට අයිතියක් තියෙනවා. මහ ලේකම් ධුරය කියන්නෙ ස්වාධීන තනතුරක්.

මේක ජනතාවගෙ මූලික අයිතිවාසිකමක් පිළිබඳ ප්‍රශ්නයක්. මෙතැනදි කතානායක අදාළ වෙන්නෙ නෑ. මගේ අදහස මේ කරන්නෙ තොරතුරු සඟවන්න කල්මැරීමක්. අධිකරණයට යන්න තීරණය කරන්න ඇත්තෙත් ඒ අරමුණින්.

පාර්ලිමේන්තුව කියන්නෙ නීති සම්පාදනය කරන ආයතනයක් විතරක් නෙමෙයි. ඒ සම්පාදනය කරන නීති ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන විමර්ශනය කිරීමේ වගකීමත් පාර්ලිමේන්තුවට තියෙනවා. එතකොට ඒ වගකීම එතැනින්ම කඩනවා නම්, තව මොන කතා ද. නීතියට අනුව වත්කම්-බැරකම් ප්‍රකාශ දෙන්න ඔ්නෙ කියලා තියෙන්නෙ ඇයි? ඒවා හංගන්න ඔ්නෙ දෙයක් නම් මෙහෙම නීතියක් ඇවිත් තියෙන්නෙ ඇයි? ඔය හංගන කට්ටියගෙ උත්තරවලට ආපහු අහන්න තියෙන ප්‍රශ්නෙ තමයි ඒක.