මහින්දට කොන්දේ කරපු සැත්කම! එංගලන්තෙන් රාජකීය වෛද්‍යවරයෙක් ඇවිත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනවාරි 24 වැනි සඳුදා නවලෝක රෝහලට ඇතුළත් කර ඇත්තේ කශේරුකාවේ සැත්කමක් සඳහා බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරලා තියෙනවා.

කෙසේ වෙතත් ඒ සැත්කම පැයක පමණ එකක් බවත්, එයින් පසු දරුණු සංකූලතා නොමැති බවත්, ඊට පස්සේ ජනවාරි 25 වැනිදා ඔහු රාජකාරී කටයුතුවලට පවා සහභාගී වී ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අගමැතිවරයාට සැත්කම කරලා තිබුණේ බ්‍රිතාන්‍යයේ සිටින අංක එකේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වගේම ලන්ඩන්වල මහාචාර්යවරයෙක් වන හිලාලි නූර්දීන්. ඔහු මෙරට සම්භවයක් තිබුණත් බ්‍රිතාන්‍යයේ පදිංචි, ඉතා මිල අධික වෛද්‍යවරයෙක්. මෙම මහාචාර්යවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මොහොතේ අගමැතිවරයාට අමතරව තවත් ප්‍රබල දේශපාලනඥයන්ටත් සැත්කම් සිදු කර ඇති බව ඩේලි මිරර් වාර්තාවේ ලියා තියෙනවා.

එම වෛද්‍යවරයා පැයක පමණ කාලයක් ඇතුළත කර ඇත්තේ ලමිනෙක්ටොමි කියන සැත්කම බව ඩේලි මිරර් වාර්තාවේ සඳහන්. අපට වෛද්‍ය ක්ෂේත්‍රය ගැනත් විවිධ සැත්කම් නාම ගැනත් ලොකු දැනුමක් නැතත්, අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණු විදියට මේ සැත්කම කශේරුකාවේ කොටසක් ඉවත් කිරීම සඳහා වන සැත්කමක්.

Hilali Noordin

කශේරුකාවේ පිළිකා සෛල තිබීම හෝ අස්ථි බිඳීමක් හෝ කශේරුකාවේ වෙනත් ආබාධයක් ආදී හේතු ගණනාවක් ලුමිනෙක්ටොමි නම් වූ සැත්කමට හේතු විය හැකි බව වෛද්‍ය විද්‍යාව පිළිබඳ විස්තර කෙරෙන වෙබ් අඩවිවල සඳහන්.

ඊට අමතතව අගමැතිවරයාට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර කරපු විශේෂඥ ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා සැත්කමට එකතු වෙලාලු. නරේන්ද්‍ර පින්ටෝ වෛද්‍යවරයා අස්ථි,පේශි පද්ධතියේ සැත්කම් සඳහා ප්‍රකට විශේෂඥවරයෙක්.

අර මීට කලින් ආචාර්ය උපාධියක නමත් සඳහන් කරමින් යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරාධනයක් විදියට මෙරට වැඩකරන විදේශ නියෝජිතයන්ට ආරාධනා යැවූ කොක්ටේල් සාදය මතක ඇති. සතියකට පමණ කලින් ඒ ආරාධනාපත නිසා යෝෂිතගේ ආචාර්ය උපාධිය ගැන ඇතැමුන් කතා කළා. අන්න ඒ උත්සවය හැන්දෑවේ පැවැත්වුණාද, ඒකට මහින්ද ආවාද කියා පැහැදිලි නැහැ. එහෙත්, මහින්ද රාජපක්ෂ මහතා හැන්දෑවේ විදේශ තානාපති නිලධාරීන් පිරිසක් එක්ක කාර්යාලයීය සෝෆාවක සිට හමුවෙන අන්දම දැක්වෙන ඡායාරූප දෙකක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තියෙනවා.