ලේකම් විසින් මාස ගාණක වැටුප් එකතු වෙලා, කෝටි හතරකට වැඩි මුදලක් පමණ වූ විශාල සල්ලි ප්‍රමාණයක් ගසනු ලැබූ ඇමති ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් කරන්න ඕනෑ. ඒ අදාල ලේකම් සල්ලි ගහපු එක ගැන නෙවෙයි. ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් හේතුවක් නිසා. මේ කතාව ඒ ගැන.
මේ වෙද්දී රටම කතා කරපු කේස් එකක් තමයි රටේ දැවැන්තම දේශපාලනඥයෙකුගේ ගිණුමේ තිබුණ මන්ත්‍රී වැටුප කෝටි ගාණක් හොරකම් කරපු ‘මෝඩ යකෙක්’ කියා ප්‍රසිද්ධියේ හඳුන්වනු ලැබූ ලේකම්වරයා ගැන කතාව.
මේ කතාවේදී දේශපාලනඥයාගේ නමත්, ලේකම්වරයාගේ නමත් කිසිම මාධ්‍යයක් සඳහන් කරලා තිබුණේ නෑ. ඒත්, නිකං ඇතාගේ නම නොකියා සම්පූර්ණ ඇතාව විස්තර කළා වගෙයි මීඩියා වාර්තාකරණය තිබුණේ. හොඬවැලක් තියෙනවා, දළ තියෙනවා, කසයක් වගේ වළිඟයක් තියෙනවා, වංගෙඩි වගේ කකුල් තියෙනවා, කළුයි, කැළේ දැවැන්තයා, ඒත් සතාගේ නම කියන්නේ නෑ කීවාට වැඩක් තියෙනවායැ?
අපි ඒත් නම කියන්නේ නැහැ. මොකද අපේ ඩිරෙක්ට් මූලාශ්‍රවලින් කතාව තහවුරු නොවූ නිසා. අපිත් ඇතාගේ නම නොලියා අනෙක් මීඩියාවල තිබුණ විස්තරේ ඇසුරෙන්ම කතාව කියන්නං.
ජනවාරි 25 වැනිදා දිවයින පත්තරයත් ප්‍රධාන ප්‍රවෘත්තියෙන්ම මේ කතාව වාර්තා කරලා තියෙන නිසා තවදුරටත් මේක ගොසිප් එකක් නෙවෙයි. නිල වශයෙන් කතා කරනු ලැබූ ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්තියක්.
දිවයිනේ හේමන්ත රන්දුනු ලියා තිබුණේ උක්ත නම නොකියන දේශපාලනඥයා ගැන පුදුමාකාර භක්තියෙන් ලියූ ප්‍රවෘත්තියක්. අනේ අපේ අහවල් නායකයාටත් මෙහෙම කළාද අප්පේ! කියන කම්පනය ඒ ප්‍රවෘත්තියේ තිබුණා.
සැකකාර ලේකම්වරයා වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ‘ප්‍රතාපවත් ප්‍රභූ’ දේශපාලනඥයාගේ විශ්වාසවන්තම පෞද්ගලික සහකාර ලේකම්වරයා විදියට කටයුතු කළාලු.
මේ කියන ‘ප්‍රතාපවත් ප්‍රභූ’ ඩෑල් එක මේ රටේ ඓතිහාසික දේශපාලන පෙරළළියකට මුලපුරමින් නව දේශපාලන බලවේගයක් ගොඩනගමින් රජයක් බිහිකිරීම දක්වා සුවිසල් මෙහෙවරක් ඉටු කළ නායකයෙකි කියලාත් ප්‍රවෘත්තියේ තියෙනවා.
ඒ නායකයා විපක්ෂයේ ඉද්දී පෙරළියක ඇරඹුමකට කැපවෙද්දී සහායකයා කාර්යමණ්ඩලයට එකතු වුණාලු.
කලක් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර කීපයක් මෙන්ම කථානායකවරයකු ලෙසද කටයුතු කළ දැනට ජීවතුන් අතර නැති ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයෙකු කියලත් මේ ලේකම් ගැන දිවයින සඳහනේ තියෙනවා. ආ, ඊට අමතරව මීට කලින් කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත් ලේකම්වරයා හිටියාලු.
‘වට් ද ෆ්…?’ යකෝ ඇතාගේ නම නොකියා ඇතාගේ විස්තරේ කීවාම අපි කොහොමද දන්නැති බබාලා වගේ හැසිරෙන්නේ.
මේ රටේ ‘රජයන්’ දහයක් පහළොවක් දැන් නෑනේ. රජයක් හදන්න නායකත්වය දුන්න, ප්‍රතාපවත් නායකයෙක් නං, එයාගේ ලේකම් එකතු වුණේ අවුරුදු හයකට කලින් නම්, ලේකම් දැන් ජිවතුන් අතර නැති කතානායක කෙනෙකුගේ පුතෙකුත් වෙනවා නම් මේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂ සහ උදිත ලොකුබණ්ඩාර ගැන.
මතක තියාගන්න! අපි දන්නේ නෑ මේ කතාවේ ඇත්ත නැත්ත. අපි ට්‍රයි කළා. ඒත් තහවුරු කරගන්න බැරි වුණා. ඒත්, දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ සහ උදිත ලොකුබණ්ඩාර ගැන බව පැහැදිලියි. ඊට අමතරව මේ ප්‍රවෘත්තිය ලීව තවත් වෙබ් අඩවි ගණනාවක් ‘මෝඩ යකෙක්’ විදියට ප්‍රසිද්ධියේ හැඳින්වුවාලු.
ඉතින්, මතක තියාගන්න. අපි කියන්නේ නැහැ මහින්දගේ සල්ලි කෝටි හතරක් උදිත ලොකුබණ්ඩාර ගැහුව බවක්.
අපි කියන්නේ ඒ දෙන්නාගේ නම නොකියා ඒත් ඒ දෙන්නාව සම්පූර්ණයෙන් වක්‍රව සඳහන් කරමින් දිවයින පත්තරේ ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ලියා තියෙන බවක්.
කොහොමහරි දිවයින ප්‍රවෘත්තියේ සඳහන් විදියට අවුරුදු හයක් තිස්සේ මේ උදිත ලොකු බණ්ඩාර සමාන විස්තරයක් තියෙන ලේකම්වරයා දේශපාලනඥයාගේ බැංකු ගිණුමේ තිබුණ මාසික වැටුප වංචනික විදියට අරගත්තාලු. ඊට පස්සේලු දැනගත්තේ අවුරුදු ගාණක් තිස්සේ වැටුප අරගෙන කියලා.
දැන් ඒ ලේකම්වරයාව ඉවත් කරලාලු. පරීක්ෂණ කරනවාලු. ඒක තමයි ප්‍රවෘත්තිය.
දැන් මේ ප්‍රවෘත්තියේ තියෙන කතාව ගැන අපට කුතුහලයක්, ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ අය හිතන එක නෙවෙයි. මේ මහින්ද රාජපක්ෂ හෝ එයාට ඉතාම සමාන නම සඳහන් නොකරන දේශපාලනඥයා අවුරුදු හයක් විතර කාලයක් තිස්සේ මාසික වැටුප තියෙන අකවුන්ට් එක දිහා හැරිලාවත් බැලුවේ නැත්තේ කොහොමද?
මාසික වැටුප නැතිව, අත තියන්නෙත් නැතිව මේ කෙනා ජිවත් වුණේ කොහෙන්ද? බිස්නස් තිබුණාද? වෙන හොර අකවුන්ට් තිබුණාද? ඕෆ් ෂෝ අකවුන්ට් තිබුණාද?
ඇත්තටම මේ ගැන තොරතුරු ඇතිව මේ ගැන වාර්තා කරපු මාධ්‍ය ආයතනවලට පවා වගකීමක් තියෙනවා හැංගිමුත්තන් නොකර මේ ගැන විවෘතව කියන්න. මේ විදියට මහින්ද මහත්තයාට සමාන හැඳින්වීම් වක්‍රව දැම්මාම, ඇත්තටම මේක මහින්ද මහත්තයාගේ ගිණුම නෙවෙයිනං ඒ මනුස්සයා ගැන වැරදි වැටහීමක් රටේ මිනිස්සුන්ට ඇති වේවි එක පැත්තකින්.
අනෙක් පැත්තෙන් කවුද අප්පා මේ ඇමති? කොහෙන්ද අප්පා එයාට ජිවත්වෙන්න සල්ලි. අත තියන්නෙත් නැතිව ඉන්න තරං ඒ පඩියේ වටිනාකම චුට්ටියට දැනෙන මේ අතිශය ධනවත් ඇමති ගැනනේ විමර්ශනය යන්න ඕනෑ. ලේකම් ගැන නෙවෙයිනේ.