යාපනය කොඩිකාමම් කෙට්පේලි ප්‍රදේශයේදී රහසිගත වැලි ජාවාරමේ නිරත ට්‍රැක්ටරයකට යුදහමුදාවේ ඊයේ (25) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත් වැලි ජාවාරමේ නිරත එක් අයෙකු අත්අඩංගුවට ගත් බවත් කොඩිකාමම් පොලීසිය දැනුම් දුන් බව වන්නි ප්‍රාදේශීය වාර්තාකරු රොමේෂ් මධුශංක වාර්තා කරලා තියෙනවා.
ඒත් ගැටලු සහගත කාරණය තමයි වැලි ජාවාරම් වගේ ඒවා ගැන සොයා බැලීම යුද හමුදාවට අයිති රාජකාරියක් නෙවෙයි. මෙවැනි කාරණා ගැන සොයා බැලීම පොලීසිය ආදී සිවිල් ආයතනවල කාර්යභාරයක්. ඒත් ඒ වෙනුවට හමුදාව මේවාට මැදිහත්වීමත්, වෙඩි තැබීම් ආදිය කිරීමත් බැලූ බැල්මට නං අවුලක් නැතිව ඇති. ‘කවුරු කළත් මොකෝ, ජාවාරම් නවත්වන්නනේ’ කියා හිතෙනවා ඇති.
මේ විදියට හමුදාව තුවක්කු රැගෙන ගිහින් වෙඩි තැබීම්වලින් සංකේතවත් වෙන්නේ තාම උතුර යුද්ධය අවසන් කරපු සිවිල් මිනිස්සු ජීවත්වෙන සිවිල් නීති තියෙන කලාපයක් වෙනුවට තුවක්කු රැගත් හමුදාව ක්‍රියාත්මක වෙන යුද කලාපයක් විදියට. ‘මුදා නොගත් කලාපයක්’ විදියට.
ඒ මුදා නොගත් කලාප හැඟීම අපේ ආණ්ඩුවට දැනෙනවා නම්, එහේ මිනිසුන්ටත් දැනෙන එක වළක්වන්න බෑ.
ලෝකය පුරා සිවිල් නීතිය ක්‍රියාත්මක කරන්න හැදූ ආයතනය තමයි පොලීසිය. හමුදාව ඉන්නේ ඇතුළෙන් හෝ එළියෙන් රාජ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ලවෙද්දී ඒවාට අදාලව ක්‍රියාත්මක කරන්න. අනෙක, තුවක්කුව ඇදලා වෙඩි තැබීම හැම අවස්ථාවටම ගැලපෙන්නේ නැහැ. වැලි ජාවාරම නීතියෙන් වරදක් බව ඇත්ත. ඒත් ඒක පාලනයට වෙඩි තැබීම සුදුසුද?
‘යුදහමුදා බුද්ධි අංශයට’ නීතිවිරෝධී වැලි ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබුණාලු. ඒ අනුව කෙට්පේලි ප්‍රදේශයේ මාර්ගයේ සෝදිසි මෙහෙයුමක යුද හමුදාව නිරත වුණාලු. ඒ වෙලාවේ ආපු වැලි පටවාගත් ට්‍රැක්ටරයක් නවත්වන්න හමුදාව විධාන කළාලු.
නොනවත්වා ට්‍රැක්ටරය ධාවනය වෙද්දී වෙඩි තැබූ බව තමයි රොමේෂ් මධුශංකගේ වාර්තාවේ සඳහන් වෙන්නේ.
ඊට පස්සේ හමුදාව ට්‍රැක්ටරයේ රියදුරාව අත්අඩංගුවට ගත්තාලු. වෙඩි තැබූ වෙලාවේ බියට පත් වූ ට්‍රැක්ටරයේ සිටි අනෙක් අය පැනලා ගියාලු. අත්අඩංගුවට ගත් කෙනාව පොලීසියට බාර දුන්නාලු.
හමුදාවට නීතියෙන් බලයක් නැහැ මෙවැනි දේවල්වලට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකට බලය තියෙන්නේ පොලීසියට. මෙවැනි නීතිරෝධී ජාවාරම් වටලන්නත් ඕනෑ පොලීසිය.
ඒ වෙනුවට උතුරේ හමුදාව මේවා කිරීම සාමාන්‍ය දෙමළ ජනතාවට පෙනෙන්නේ තමන්ව හමුදාව යොදා පාලනය කරන්නට ගන්න උත්සාහයේ දිගුවක් විදියට.
දැන් කෙනෙක් විමසාවි, ‘එහෙම දකින එක වැරදියි, වැරැද්ද කළේ ජාවාම්කාරයෝනේ, හමුදාව කළේ නවත්වපු එකනේ..’ ආදී වශයෙන්. ඒත් මෙහේ ඉන්න අය මොන ප්‍රශ්නය කොහොම ඇහුවතත් උතුරේ මිනිසුන්ට දැනෙන හැඟීම වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්තය. ඒක තේරුම් ගන්න නම් උතුරේ කෙනෙක්ට දැනෙන විදිය තේරුම් ගැනිමේ අවංක උත්සාහයකට යන්න ඕනෑ.
එහෙත් හමුදාවට මෙවැනි බුද්ධි තොරතුරක් ලැබුණේ නම් පොලීසියට වුණත් මැදිහත් වෙන්න තිබුණා. දෙවැනියට හමුදාවේ බුද්ධි අංශ සීමාව ඉක්මවා උතුරේ ක්‍රියාත්මක වීමත් මිනිස්සුන්ගේ නිදහස පැත්තෙන් යහපත් තත්වයක් නෙවෙයි. ජාවාරම් අල්ලන එක පොලීසියට වුණත් කළ හැකියි. හරියට නීතිය ක්‍රියාත්මක වෙන පරිසරයක් තිබෙනවා නම්.