තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලිනන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් දැඩි ඉල්ලීමක් කරමින් ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු වෙන්දේසි කිරීම නවත්වන්නට වහා මැදහත්වෙන ලෙස සඳහන් කර තිබුණා.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වෙත යවන ලද ලිපි දෙකකින් උක්ත දැනුම්දීම කර තිබෙනවා.
තමිල්නාඩුවේ ඉඳන් දේශසීමා උල්ලංඝනය කරමින් ලංකාවට ඇතුළුවෙච්ච මේ බෝට්ටු ලංකාවේ නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඒවා. ඒවා පෙබරවාරි 07 සිට 11 දක්වා වෙන්දේසි කිරීමට නියමිතයි.
තමිල්නාඩු මහ ඇමතිවරයා තර්ක කර තිබුණේ එසේ කිරීමට නීතිමය අයිතියක් නැති බව.
ලංකාවේ තිබෙන හානියට පත් වූ තමිල්නාඩු ධීවරයන්ට අයිති බෝට්ටු 125ක් අලුත්වැඩියා කරන්නට ඉන්දියාවෙන් තාක්ෂණික සහයෝගය ලබා දෙන්නට තමිල්නාඩුවේ ආණ්ඩුව එකඟ වී තිබුණා.
ඉන්දීය ධීවරයන් සීමාව කඩාගෙන ලංකාවට ඇවිත් අපේ රටට අයිති මාළු ටික පැහැරගෙන යන සෙල්ලම නතර කරන්නට හැමදාම කමිටු හද හදා සාකච්ඡා පවත්වමින් ධීවර අමාත්‍යාංශයේ අයට නොමිලෙ රට සංචාර දෙන එක තමයි මෙච්චරකල් කළේ. ඇත්තටම රජය කළ යුතු දේ තමයි වැඩි වැඩියෙන් නීතිවිරෝධී බෝට්ටු අත්අඩංගුවට අරන්, ධීවරයන් නිදහස් කරලා බෝට්ටු වෙන්දේසි කරන එක.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගනු ලබන මෙවැනි ආක්‍රමණික ධීවර යාත්‍රා රාජසන්තක වෙනවා. ඒ අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ස්ථාන පහකදී වෙන්දේසි කිරීමට නියමිත උක්ත බෝට්ටු රාජසන්තක වූ ඒවා.
කරෙයිනගර් ප්‍රදේශයේදී යාත්‍රා 65ක්, කන්කසන්තුරේ ප්‍රදේශයේදී යාත්‍රා 5ක්, කිරන්චි ප්‍රදේශයේදී යාත්‍රා 24ක්, තලේමන්නාරමේදී යාත්‍රා 9ක් සහ කල්පිටි ප්‍රදේශයේදී යාත්‍රා 2ක් වශයෙන් වෙන්දේසි කිරීමට නියමිතයි.
මේ විදියට ඉන්දියාවේ ආක්‍රමණික යාත්‍රා වෙන්දේසි කරන්නේ පළවැනි වතාවට. මෙවැන්නක් සිදු කිරීම ඉන්දියාවෙන් පැමිණෙන ධීවරයන්ට වැදගත් පණිවිඩයක් වේවි. අනෙක් පැත්තෙන් ලංකාවේ ධීවරයන්ට බෝට්ටු ලබාගැනීමට හැකියාව ලැබේවි.
කෙසේ වෙතත් මෙම තීන්දුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගැටුම් ඇති කරන්නත් හේතු විය හැකියි. එය තීන්දු වනු ඇත්තේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තමිල්නාඩු මහඇමතිවරයාට දක්වන ප්‍රතිචාරය අනුව.