කටුකම්බි එතූ තල් පිත්තකින් තමන්ට පහරදී තුවාල සිදු කළ බවට රියදුරකු මුලතිව් දිස්ත්‍රික්කයේ යුද හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.
ප්‍රහාරයෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ටිපර් රථ රියදුරා පුදුකුඩියිරුප්පු මූලික රෝහලට ඇතුල් කර ඇති බව එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් වාර්තා කර ඇත.
මීට දෙමාසයකට ඉහතදී ද යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුල්ලිවයික්කාලේ දී දෙමළ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් ට කටුකම්බි එතූ තල් පිත්තකින් පහර දී තිබුණි.
පහර කෑමට ලක්ව ඇති නවරත්නම් උදයසීලන් රෝහලේදී මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ජනවාරි 24 සඳුදා පාන්දර තුනට පමණ කයිවේලි ප්‍රදේශයේ ඔහු විසින් පදවාගෙන යමින් සිටි ටිපර් රථය නැවතූ සිවිල් ඇඳුමින් යුත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් වාහනයේ පටවා ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කර කළ බවය.
මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි 68 වැනි සේනාංකයට අයත් 682 වැනි බල සේනා මූලස්ථානයේ බවට විශ්වාස කෙරෙන එම නිලධාරීන්ට රියැදුරා පවසා ඇත්තේ රථය හිස් එකක් බවයි.
ඒ අවස්ථාවේ තමන් වාහනයෙන් බස්සා ගෙන පහර දුන් බව පවසන උදයසීලන් පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇති පරිදි අඩුම තරමින් දෙදෙනකුවත් කෙරෙන් මත්පැන් ගඳ වහනය වී ඇති බවත් ඔහු පවසා ඇත.
පහර දුන් දිනයේ සවස් යාමය වනවිට යුද හමුදා නිලධාරීන් බව පවසන පුද්ගලයන් උදයසීලන්ගේ ඥාති මිත්‍රාදීන්ට දුරකතනයෙන් අමතමින් පැමිණිල්ල ඉල්ලා අස් කර, සමථයකට පත්වන වන ලෙස බල කරන බව රියැදුරා මාධ්‍යවේදීන්ට පවසා ඇත.
තවත් කටුකම්බි එතූ තල්පිති ප්‍රහාරයක් ගැන 682 වැනි බල සේනාවට චෝදනා