* මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා
සුදු ලූනු වංචාව රටට හෙළි කළ තමා එම සිද්ධියේ සැකකරුවකු කර විදෙස් ගමන් තහනමක් පොලිසිය ගෙන තිබීම නිසා ව්‍යාපාරික අවශ්‍යතාවයක් සඳහා ජනවාරි 22 දින විදෙස් ගත වීමට නොහැකිවූ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂක තුෂාන් ගුණවර්ධන මහතා පවසා ඇත.
ජනවාරි 23 දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.
සුදු ලූනු වංචාව හෙළි කිරීම ගෑස්වල ප්‍රමිතිය වෙනස් කිරීම ගැන හෙළි කිරීම ඇතුළු රටට හිතකර තීරණ ගත් තමා වැනි අයෙකුට එසේ සිදු කිරීම පිළිබඳව නීතිඥ සහාය ලබාගෙන ඉදිරි දින දෙක තුන ඇතුළත එම නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු පවසා ඇත.
තමා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඩුබායි බලා පිටත්වීමට සියලූ කටයුතු සිදුකර ගුවන් තොටුපළට රාත්‍රියේ ගිය අවස්ථාවේ තමා වැලිසර අධිකරණයේ පවතින නඩුවක සැකකරුවකු ලෙස නම්කර විදෙස් ගමන් තහනමක් ගෙන ඇති නිසා විදෙස් ගතවීමට ඉඩ ලබාදිය නොහැකි බව ආගමන විගමන නිලධාරීන් දැන්වූ බවත් ඒ නිසා නැවත නිවෙස වෙත පැමිණීමට සිදුවූ බවත් ඒ මහතා කීය.
තමාට එරෙහිව කිසිදු චෝදනාවක් අධිකරණය හමුවේ විභාග නොවන බවත් එසේ තිබියදී අධිකරණ නියෝගයක් ගත්තේ කෙසේද යන්න ජනාධිපතිවරයා, පොලිසිය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා වහාම සොයා බැලීමක් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. තමාගෙන් සැකකරුවකු ලෙස කටඋත්තරයක් හෝ ගෙන නැතැයිද විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවට දන්වා නැතැයිද ඔහු කීවේය. මෙය කාගේ අවශ්‍යතාවයට පොලිසිය සිදු කළේද යන්න වහාම හෙළි කළ යුතු බවද ඔහු කීවේය.
තමා සැකකරුවකු ලෙස නම්කර ඇත්නම් ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කළ යුතුව තිබූ බවත් එසේ නොකර තමා මුදාහරිනු ලැබුවේ තමා වරදක් කර නැතැයි එම නිලධාරීන් තේරුම්ගෙන තිබූ නිසා බවට තමා විශ්වාස කරන බවත් ගුණවර්ධන මහතා කීවේය.
තමා පාරිභෝගික අධිකාරියේ රාජකාරි කරන වකවානුවේ ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් හෙළිකර නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළ බවත් එහි ඇතැම් සැකකරුවන් ඇප ලබා නැවත එම ආයතනයේ සේවය කරන තත්ත්වයක් තුළ තමා සැකකරුවකු වූයේ කෙසේද යන්න සිතා ගැනීමටද අපහසු බවත් ඔහු කීය.
මෙවැනි සිද්ධීන් හරහා රාජ්‍ය නිලධාරීන්ට ලොකු පණිවුඩයක් ලබාදී ඇති බවත් එක්කො හොරු සමග එකතුවී හොරකම් කිරීම හෝ නැත්නම් හොරකම් දැක නොදැක සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට සිටින්න යැයි යන්න එම පණිවිඩය බවත් ඔහු කීවේය.
සුදු ලූනු සිද්ධියෙන් පසු තමාට එල්ලවූ මරණ තර්ජන සම්බන්ධයෙන් දුරකථන අංක සියලූ විස්තර ඇතුළත් සවිස්තර වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නැතැයිද ඔහු කීවේය. එවැනි පසුබිමක් තිබියදී තමා සැකකරුවකු කළේ කුමන අරමුණක් සඳහාද යන්න පොලිසිය ප්‍රකාශ කළ යුතු බවත්, එසේ තමාට එරෙහිව අධිකරණ නියෝග ලබාගත් සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.