අර රිටිගල දේවේන්ද්‍ර කියන නමින් මීඩියාවලට වොයිස්කට් ආදිය දෙන කෙනා කියපු කතාවක් වෙබ්සයිට්වලින් දැන් ප්‍රමෝට් කරනවා. මොකක්දෝ යූටියුබ් චැනල් එකකට දෙන ඉන්ටවීව් එකකදී කරපු, ඒ කතාවෙදී ඔහු කියනවා 2030 දී ‘දියසෙන් කුමාරයෙක්’ වගේ කෙනෙක් එනවාලු. සක්විති රජෙක්ලු.
දැන් පාලකයන්ම 2025 දී නැවත පත්වෙලා තව අවුරුදු පහක් යනවාලු. මේ සාකච්ඡාව හරිම ෆනී එකක්. අනෙක් පැත්තෙන් මේ කතාව ඇසුරෙන් අපට වැදගත් දෙයකුත් කියන්න ඕනෑ.
මේකෙන් සරලව කරුණක් දෙකක් උපුටා දැක්වුවොත් මෙහෙමයි.
‘දියසෙන් වගේ යුගයකට පා තියන්න පුළුවන්. දියසෙන් වගේ චරිතයක් බිහිවෙනවා..’
‘දියසෙන් වගේ යුගයක් එළැඹෙන්න 2030 පනිනවා..’
‘රටක රජකම්වලට හිමිකම් කියන කුමාරයෙක් බිහිවෙනවා නම්, ඊට අදාල පරිසරයක් නිෂ්පාදය වෙනවා.’
මේ තොරතුරු අඩි ගාණක් දිග, රහසිගත සෙල්ලිපියකලු තිබුණේ. කෙළින්ම නම් ගම් සඳහන් වෙලා නැහැලු. පොඩි වක්‍රව තමයිලු තියෙන්නේ. ඒත් ඔය කියන විදියට කොවිඩ් වසංගතය, ගෝඨාභය රුවන්වැලිසෑයේ දිවුරුම් දීම සහ එතැනින් එහා අනාගතය දක්වා අවුරුදු ගාණක් කලින්ම ඒ සෙල්ලිපිවල ‘ඍෂිවරුන්’ ලියා තියෙනවා.
මරු වැඩේ කියන්නේ මේ ඉන්ටවීව් එක කරන චතුරංග බණ්ඩාර කියන චරිතයත්, කට ඇරගෙන රිටිගල දේවේන්ද්‍ර කියන විහිළුකාරයාව සීරියස් අරන් කතාවේ ඉන්නවා. ‘කොහොමද මේවා දැනගත්තේ. විශ්වය ඔබට කියනවාද?’ කියලත් අහනවා.
නිකං ‘විශ්වය’ කියන්නේ අපට ඉස්කෝලෙදී, ටියුෂන් එකේදී හම්බවෙන ‘විශ්ව’ කියලා කයිවාරුකාර පොරක් වගේ හිතාගෙනද කොහොදෝ.
චතුරංග කියන කෙනා සම්පූර්ණයෙන් චමුදිත නොකවුට් එකක්. ඒත් චමුදිතගේ අපි දැකපු ප්‍රබල ලක්ෂණ එකක්වත් නැතිව. චමුදිතට අපි කොච්චර විවේචනය කළත් ඔහු දක්ෂයෙක්නේ. හරි, කබ්බො ගැන කතා කරලා ෆෝම් කරන්න ඕනෑ නැහැ.
අපේ පොයින්ට් එක දියසෙන් ගැන මේ සාකච්ඡාව කරන අයගේත් තියෙන ඔබ්සෙෂන් එකෙ හෙවත් උමතුව ගැන. ‘දියසෙන් ලේබල් අලවං ආපු චරිත කීදෙනෙක් ඇරියත්..’ නැවත නැවතත් මේ දියසෙන් සංකේතය පාවිච්චි කෙරෙනවා.
ඊට පස්සේ චතුරංග කියන මාධ්‍යවේදී ගොබ්බසේනත් අහනවා ‘මේ රටේ රජ පෙළපත්’ තිබුණා කියලා. බණ්ඩාරණායක, රාජපක්ෂ, විජේවර්ධන, වික්‍රමසිංහ, ප්‍රේමදාස පෙළපත් ගැන කියනවා.
‘කිරුළු පළඳවන’ කතා පවා මේකේ කියනවා.
ඇත්තටම කීවොත් මේ ඉන්ටවීව් එක මහ ලොකු පිරිසක් බලලත් නෑ. බලපු අය කුණුහරුපෙනුත් එක්ක හොඳට කමෙන්ට් කරලා තියෙනවා රිටිගල දේවේන්ද්‍රට.
කෙසේ නමුත් දියසෙන් නැතත් ලංකාවේ ප්‍රගතිශීලීයි කියල හිතන මිනිස්සු පවා පාවිච්චි කරන අදහස්, වචන සෙට් ගොඩක් මේ වගේ කතාවක දකින්න පුළුවන්. මේ වගේ ඉන්ටවීව් ඕවර් ද ටොප්, ජෝක්ස් නිසා හයිලයිට් වුණාට මේ ඉන්ටවීව් එකේදී පදනම් වෙච්ච අදහස් පද්ධතිය නම් අපේ යූටියුබ් චැනල් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පවා දකින්න තියෙනවා. ඇයි සමහර යූටියුබ් චැනල්වල අදහස් දක්වන අයටත් ඒ අදහස් පද්ධතියෙන් ගැලවෙන්න බැහැ. ‘දියසෙන්’ කියන වචනය දාලා කැම්පේන් සිංදු පවා ගෝඨාභයට හැදුණානේ.
ඒ කියන්නේ ‘සෙල්ලිපිවල තිබුණ අනාවැකියක්’ ලෙවල් එකෙන් නැතත්, ඊට වඩා මහපොළොවේ යථාර්තයට ගැලපෙන ලෙවල් එකකින් වුණත් ගොඩක් අයගේ ඔළුවල ‘දියසෙන්’ කියන මිත්‍යාව තියෙනවා.
ඔය අදහස් පද්ධතිය අයිති වෙන වචන සෙට් එකෙන් උදාහරණ ගනිමු. එකක් තමයි ‘බිහිවෙනවා’ කියන වචනය. අනෙක ‘කුමාරයෙක්, රජෙක්’ වගේ වචන. ආ තව එකක් ‘පරපුර’ කියන වචනයත් ගොඩක් අය පාවිච්චි කරනවා.
දැහැමි රජෙක් පහළවීම, දැහැමි පාලකයෙක් පහළ වීම, ‘යුගයක්’ බිහි වීම වගේ සියලු කතන්දර මේ වෙලාවේත් කොයි වෙලාවකවත් රටක දේශපාලනය ගැන කතා කරන්න සුදුසු අදහස් පද්ධති නෙවෙයි. වචන පද්ධති නෙවෙයි.
දැන් දැන් මිනිස්සු ‘වීරයෝ ඇවිත් රට බේරගන්නේ නෑ.’, ‘දියසෙන් කුමාරයෝ නෑ.’ වගේ දේවල් තේරුම් අරන් ඉන්නවා. ඒත් ඒ තේරුම් ගත්ත අය පවා සමහර වෙලාවට විපක්ෂෙන් කවුරුහරි වීරයෙක්ව නම් කරලා ‘එයාට දෙමු, එයා රට බේරගනීවි’ කියලා කියනවා. වීරයෝ නෑ කියලා ආයෙමත් යටිහිතින් වීරයන් හොයනවා.
ඒ කියන්නේ ‘දියසෙන්’ බ්‍රෑන්ඩ් නේම් එක නැතත්, දියසෙන්ලා ගැන හිතනවා.
රිටිගල දේවේන්ද්‍රලා සහ එයාලා කියන ඒවා කට ඇරං අහං ඉන්න චතුරංග වගේ චරිත සෑහෙන විහිළුකාර ලෙවල් එකෙන් කරනවා. තව සමහර ජාතික පත්තරවල ඉඳන් ගොඩක් මිනිස්සු ඊට වඩා සීරියස් මූණකින් කරනවා.
ඒත් ඒ කවුරු කළත්, මොන ලෙවල් එකෙන් කළත් ඔය අදහස් පද්ධතියෙන් දේශපාලනය දිහා බැලීම නතර කරන්නයි ඕනෑ. ඒ කියන්නේ මේ ෆිලෝසොෆි එකෙන්, ඒ දෘෂ්ඨිවාදයෙන් අපි සමාජයක් විදියට ගැලවෙන්න ඕනෑ. ඒක රිටිගල දේවේන්ද්‍රට හිනාවෙන එකට වඩා අමාරු වැඩක්.
දේශපාලනය දිහා බලන්න ඊට වඩා විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක වගේම ප්‍රායෝගික ක්‍රම තියෙනවා. දැන් අපේ රටවල තියෙන්නේ ‘රාජකීය පැළැන්ති’ නෙවෙයි. නායකයන් ‘බිහිවෙන්නේ’ නෑ. සමහරවිට රටක වෙනසට නායකයා කියන පුද්ගලයා අදාල වෙන්නේ යම් සීමාවකට විතරයි. එතැනින් එහාට රටක් වෙනස් වෙන්නේ මිනිස්සුන්ගේ ගති ලක්ෂණ නිසා.