බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙය කාදිනල් හිමි නැවත වතාවක් ඍජුවම ආණ්ඩුවට අභියෝගයක් වෙමින් මහජන අදහස් එළිපිට ප්‍රකාශ කිරීමකි. මෙවැනි අදහස් කාදිනල් හිමිපානන්ට පමණක් නොව සාමාන්‍ය මහජනතාවටද ඇති බව පැහැදිලිය.
ලංකාවේ බෞද්ධ හිමිවරුන් බොහෝ දෙනෙකුට නැති කොන්දක්, ඍජු බවක් ඇතිව කාදිනල් හිමිපාණෝ මේ වෙද්දී ඍජුව ආණ්ඩුව ප්‍රශ්න කරමින් සිටිති.
එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය. මේ සම්මන්ත්‍රණයේදී සිරිල් ගාමිණී පියතුමාද කාදිනල් හිමිපාණන්ට සමාන අදහස් දැක්වීය.
කෙසේ වෙතත් උක්ත සංවාදයේදී තවත් ඉතා තීරණාත්මක කාරණාවක් කියැවිණි.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව තමන් සමඟ සබඳතා පවත්වන බලවත් රටවල් වෙත ද ගොස් සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවය.
“අපි පුළුවන්තරම් උත්සාහා කළා. අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලටත් යනවා.
අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්දතා තියෙනවා. අගරදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා බලවත් රටවල්වල ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්.
අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ. නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ”
බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල් හිමි වැඩිදුරටත් අදහස්ද දක්වමින් කරණු කියා තිබුණි. ආණ්ඩුව හා පොලීසිය නාටකයක් කරන බව පැහැදිලිව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ බෝම්බය හමුවූ දින සවස්වරුවේ සී.සී.ටී.වී දර්ශන පරීක්‍ෂා කිරීම ප්‍රමාණවත් බව පොලීසිය කියා තිබුණත් උදෑසන දර්ශන නරඹන ලෙස තමන් පියතුමන්ලාට දැනුම් දුන්නේ ඒ නිසා බව ද ප්‍රකාශ කළහ.
මෙය මුනි නැමැත්තා මත පටවා අත සෝදාගැනීමට පොලීසිය උත්සහ කළ බව කී කාදිනල්තුමෝ එවැනි දේ වීමට ඉඩදිය නොහැකි බවත්, අධිකරණය ගැන විශ්වාසය තබා පොලීසිය කළ වරද අධිකරණයේදී නිවැරදි කරවීමට කටයුතු කරන බවත් පැවසූහ. මිනිසුන්ට තර්ජනය කොට කටඋත්තර ලබාගෙන කරන පරීක්ෂණ පිළිගැනීමේ අසීරුව පිළිබඳවත් කාදිනල්තුමෝ් පෙන්වා දුන්හ.