ඩොලර් නැතිව රට ගිනිගනිද්දී රාජපක්ෂ නෑයෙක්ට ඉඩමක් තෑගි දෙන්න හදලා!

ඩොලර් නැතිව රට ගිනිගන්න අස්සේ රාජපක්ෂලාගේ පවුලේ ඩීල් එකක් නිසා කැබිනට් එක ගිය සතියේ ගිනිඅරන් තිබුණා. මේ කතා කරන්නේ ඒ ගැන.

මේ සිදුවීම ගැන තොරතුරු අරුණ, ද මෝනිං සහ දේශය පුවත්පත්වල තිබුණා.

කඩුවෙල සහ අතුරුගිරිය අතරමැද්දේ ඔරුවල ගැන දන්නවා ඇති. ඔරුවල මිලේනියම් සිටි එකත් තියෙනවා. දැවැන්ත රබර් වතු කපමින් බිහිවෙච්ච අර්ධ නාගරික ජනපදය. ඒ අතරමැද්දේ තමයි ඔරුවල ලංකා වානේ සංස්ථාවත් තියෙන්නේ. අපි දන්න බ්‍රෑන්ඩ් නේම් එකෙන්ම කිවොත් ‘ලංවා’ කම්පැණිය.

ඉස්සර කොරියන් කම්පැණියක්. ඒත් පස්සේ ඒක රාජපක්ෂ පවුලේ ඥාතියෙක් වන නන්දන ලොකුවිතාන කියන ව්‍යාපාරිකයාට අයිති වුණා. හැබැයි ව්‍යාපාරය තිබුණේ ආණ්ඩුවේ ඉඩමක.

ඒ අනුව ඉඩම් ප්‍රශ්නය නිරවුල් කරගැනීමේ වුවමනාවක් කාලෙක ඉඳන් තිබුණාලු.

මේ ව්‍යාපාරිකයාට අක්කර 185ක විතර රුපියල් බිලියන ගාණක් වටින ඉඩම වානේ සංස්ථා ඉඩම දෙන්න කැබිනට් පේපර් එකක් ගිය සතියේ දාලා තිබුණා. ඒක තමයි කැබිනට් එක ගිනිගන්න හේතුව වෙලා තිබුණේ.

කුලියට, බද්දට දෙනවා තියා විකුණන්නේත් නැතිව ‘නිදහස් දීමනා පත්‍රයකින්’ තමයි මේ ඉඩම දෙන්න උත්සාහ කරලා තිබුණේ. ආණ්ඩුවට සල්ලි නැතිව ඩොලර්වලට ඉඩම් වෙන්දේසි කරන කාලෙක එස්.එම්. චන්ද්‍රසේන කියන අංක එකේ බැසිල් හිතවාදියා ඉඩම් ඇමති විදියට මේකට කැබිනට් පත්‍රිකාව දාලා තිබුණේ දැවැන්ත දාන පාරමිතාවක් හිතේ තියාගෙන වෙන්න ඇති.

කොහොම නමුත් වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ පිරිසක් මේකට දැඩි විරෝධයදක් දක්වපු හින්දා පත්‍රිකාව අකුලාගත්තලු. පස්සේ දාන්න කියලා. විමල් වීරවංශ මහතා කියලා තියෙනවා මේ කියන ඒරියා එක ඇතුළේ සාමාන්‍ය මිනිස්සු ක්‍රීඩා කරන පොදු ක්‍රීඩාංගණයකුත් තියෙන බව. මේ කම්පැණියට ඉඩම දුන්නොත්, ඒ පොදු ක්‍රීඩාපිටිය පවා පෞද්ගලික බිස්නස් එකකට යටත් වෙනවා.

කොහොමහරි අන්තිමේ බැසිල් රාජපක්ෂ පවා පිළිගත්තාලු කිසිම මුදලක්වත් අය නොකර නිකන්ම ඉඩම දුන්නොත් වෝටර්ස් එජ් ඉඩම දුන්න වෙලාවේදී වගේ උසාවියට ගිහිල්ලා ඒ ගනුදෙනුව දූෂිත ගනුදෙනුවක් විදියට පෙන්වාදිලා ඉඩම ආයෙත් ආණ්ඩුවට ගන්න හැකි වේවි කියලා.

ඒ වෙලාවෙම කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතාත් කියලා තියෙනවා නිදහස් දීමනා පත්‍රයකින් ඉඩම් පවරන්න පුළුවන් ආගමික, සංස්කෘතික ආදී කාර්යයන් සඳහා විතරක් බව.

ඇමෙරිකන් ඩොලර් මිලියන 15කට 1996 දී මේ සමාගම කොරියානු පෞද්ගලික කම්පැණියක් යටතට පත් වූ බව ඇමති චන්ද්‍රසෙන කීවාලු. ඒ කියන්නේ ඉස්සර රජයට අයිති සමාගමක්, ඊට පස්සේ කොරියානු කම්පැණියට අයිතිවෙලා. ඊටත් පස්සේ තමයි 2006 දී ලොකුවිතාන ඒක අරන් තිබුණේ. එදා මේ කම්පැණිය පෞද්ගලිකකරණය කළාට ඉඩම විකුණුවේ නෑ.

2006 දී සමාගම ගත්තාට පස්සේ ලොකුවිතාන මාධ්‍යවලට කියා තිබුණාලු ඇමෙරිකන් ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සමාගම වෙනුවෙන් කරපු බව. අවුරුදු දෙකහමාරක් විතර ඒ ආයෝජනයෙන් දුවන්නත්, ඊට පස්සේ අවුරුදු හතරක විතර කාලයක් ඇතුළේ කම්පැණිය ලාබ ලබන තැනට පත් කරන්නත් සැලසුම් කරන බව ඔහු එදා කීවාලු.

නන්දන ජයදේව ලොකුවිතාන සභාපතිත්වය දරණ ඔනික්ස් ගෲප් ඔෆ් කම්පැණීස් කියන එකට තමයි වානේ සංස්ථාව අයිති. ඒ යටතේ වානේ සංස්ථාවට අමතරව ලංවා සිමෙන්ති සමාගමකුත් ඉස්සරහට එන්න තියෙන බව ඔවුන්ගේ වෙබ්සයිට් එකේ සඳහන්. එතැනින් එහාට ඔවුන් සතුව දැවැන්ත වාණිජ බිල්ඩින්, විලා, ෂොපින් සෙන්ටර්, වෙයාර්හවුස් ආදී නොයෙකුත් ඉදිකිරීම්වලට අදාල දේවල් ඔවුන්ට අයිතියි. ටයර් සමාගමුත් එනවා. ඒ වගේම කේටරින් ආදී ක්ෂේත්‍රවල පවා ඔවුන් වැඩ කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ 2005 අවුරුද්දේ පටන්ගත්ත මේ කම්පැණිය, මෙහේ රාජපක්ෂ පවුල දේශපාලනිකව බලවත් වෙද්දී ඊට සමගාමීව ආර්ථික වශයෙන් දියුණු වුණා.

කොහොමහරි පොයින්ට් එක මේකයි. ලාංකිකයෙක් සතු වුණත්, ලංවා සමාගමේ මව් සමාගම ඩුබායිවල තියෙන එකක්. විදේශ මුදලින් ලාභ හොයන එකක්. මේ වගේ වෙලාවක සාකච්ඡා කරලා ඩොලර්වලින් ඉඩම විකුණන්න තිබුණානේ. ඒ මව් සමාගමට තමන්ගේ ඉඩම් අවුල නිරවුල් කරගන්නත් එක්ක ඩොලර්වලින් ඉඩම ගන්න බැරිකමකුත් නෑ.

ඒත්, රටට කොච්චර කෙළවුණත් එයාලාගේ ඩීල් සුපුරුදු විදියට කරගෙන යන්න එයාලා උත්සාහ කරන බව තමයි මේ සිදුවීමෙන් තහවුරු වෙන්නේ.