දෙරණේ ජාතිවාදී ප්‍රවෘත්තියට එරෙහිව අධ්‍යාපන විශේෂඥවරියන්ගෙන් සැර ලිපියක්!

අද දෙරණ ආයතනය ශිෂ්‍යත්ව විභාගය ගැන ප්‍රවෘත්ති වාර්තාකරණයකදී සිංහල සිසුවියක සුළුතර ජනවර්ගයකට අයත් ගුරුවරියක් එම ජනවර්ගයට අයිති සිසුන් තිදෙනෙකුට උත්තර කියා දුන් බව කරපු ප්‍රකාශයක් වාර්තා කිරීම ගැන ප්‍රශ්න කරමින් හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ටාරා ද මෙල් සහ ආචාර්ය සුජාතා ගමගේ මහත්මියන්ගේ අත්සනෙන් යුතුව ලිපියක් අද දෙරණ ආයතනයට යොමු කරලා තියෙනවා.

ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරකවරියන් වන මෙම විශේෂඥවරියන් පෙන්වා දී තියෙන්නේ ශ්‍රී ලංකාවේ විවිධත්වය තුළ අනෙකා ඉවසමින් ජිවත්වීමේ හැකියාව සහිත සංවේදී ජීවිතයක් ගත කරන්නට ඉඩ පහසුකම් ලැබෙන විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කකරණ සිදු කරන්නට ආණ්ඩුව උත්සාහ කරන අස්සේ මෙවැනි ප්‍රචාරයන් කිරීම ගැටලු සහගත බව.

ඔවුන් පෙන්වා දෙන්නේ සිසුන් පාසලේ රැඳෙන්නේ පැය හයක කාලයක් බවත්, අවුරුද්දකට සීමිත දින ගණනක් බවත්, ඒ සිසුන් ජීවත්වෙන සමාජය ඔවුන්ගේ සිතීම් පද්ධතිය හැඩගස්වන බවත් ජනප්‍රිය මාධ්‍ය පවා එහි දැවැන්ත භූමිකාවක් ඉටු කරන බවත්.

විභාගයේදී ස්ථාන ගණනාවක ගැටලු මතු වූ බව වාර්තා වී තිබෙන බවත්, මේ පිළිබඳ විමර්ශන සිදු කරන්නේයැයි විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙන බවත්, එවැනි පසුබිමක අහිංසක දැරියකගේ ප්‍රකාශයක් ඉස්මතු කරමින් ඇවිලෙන ගින්නට ඉන්ධන දමන්නට තැත් කිරීම කණගාටුදායක බව මෙම විශේෂඥවරියන් දෙදෙනා පෙන්වා දී තිබෙනවා.

මෙම නිවේදනයට පදනම් වී තිබුණේ ශිෂ්‍යත්වය පැවති දවසේ අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ තිබුණ ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ කොටසක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේදී ගැටලු රැසක් ගැන වාර්තා වී තිබුණා. ඒ වාර්තා අතතරමැද්දේ කුඩා දරුවන් දෙදෙනෙකුගේ මුහුණු පෙන්වමින් උක්ත ජාතිවාදී කතාව ඔවුන් වාර්තා කළා.

ගල්ගමුවේ යූබී වන්නිනායක විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රශ්න පත්‍රවලට උත්තර දෙන්න වෙලාව දුන්නේ නැහැ කියන චෝදනාව එල්ල වූ අවස්ථාවක කුඩා ළමයෙකුගේ ප්‍රකාශයකක් වගකීමක් නැතිව අද දෙරණ වාර්තාවේ සඳහන් කරලා තිබුණා. ‘මුස්ලිම් ළමයි තුන්දෙනෙක් හිටියා. ඒ මුස්ලිම් ළමයි තුන්දෙනාට ඒ මුස්ලිම් ටීචර් උත්තරත් කියලා දුන්නා.’ යනුවෙන් සිසුවියක් කියන අයුරු එහි සඳහන් වුණා.

මේක රටේ එක තැනක, සිසුන් තිදෙනෙක් ගැන පුංචි දැරියක් කරපු ප්‍රකාශයක්. ඒත්, මුළු රටටම පොදු තත්වයක් විදියට මේක ඉස්මතු කරලා ජාතිවාදය අවුස්සන්න මේ සුළු සිදුවීම වුණත් ප්‍රමාණවත්.