වයස 18ට අඩු ළමයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සමක්

කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීමට එන්නත් ලබා ගැනීම අවුරුදු දහ අටට අඩු ළමයින්ට අනිවාර්ය කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් ජනවාරි මස 31 වැනිදා සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ජනවාරි 11 වන දින  තීරණය කර ඇත.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා ඇත.

එහිදී පෙත්සම්කාර පාර්ශ­්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ. කනග්ඊශ්වරන් පවසා ඇත්තේ කොවිඩ් වසංගතය සහ කොවිඩ් මර්දන වැඩසටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් ප්‍රකාශ නිකුත් කරන බවට මීට පෙර අධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දී තිබෙන බව ය.

එසේ තිබියදී සෞඛ්‍ය ඇමතිවරයා ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති අතර එය ඉහත එකඟත්වය කඩ කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත්  ඔහු පවසා ඇත.

එසේම ළමයින්ට එන්නත් ලබා දීමේදී ඔවුන්ගේ මවුපිය භාරකරුවන් ගේ කැමැත්ත මත එය ලබා දීම සුදුසු බවද ඒ මහතා සඳහන් කර ඇත.

වෛද්‍ය ධරණී රාජසිංහම්, රංජිත් සේනානි සෙනෙවිරත්න, නිර්මලාල් හරින් ප්‍රනාන්දු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.

පෙත්සම් කරුවන් පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත අනිවාර්යය කරන නීතියක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අතර එම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීමට බලපෑම් කිරීම නීති විරෝධී බව ට පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති.

එබැවින් වයස අවුරුදු 18ට අඩු දරුවන් ට එම එන්නත අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1), 14(1)g සහ 14(1)h යන විධිවිධාන මගින් සහතික කර මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙන බවට තීරණය කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.

රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.