එතනෝල් වංචාකාරයෙක්ට ගුවන් තොටේ පිළිගත් රාජ්‍ය ඇමති කවුද?

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කරපු ප්‍රධාන පෙළේ එතනෝල් ව්‍යාපාරිකයෙක් රාජ්‍ය ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන් කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් ඇතුළට අරන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බව අරුණ පත්තරය ප්‍රධාන ප්‍රවෘත්තිය විදියට වාර්තා කරලා.

ඒත් මැදිහත් වූ රාජ්‍ය ඇමතිවරයා කවුද කියා සඳහන් කර තිබුණේ නෑ.

මේ ව්‍යාපාරිකයා ඇවිත් තියෙන්නේ ඩුබායි ගියපු දේශපාලනඥයෙක් එක්ක බවත් අරුණ පත්තරය වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා.

ඊකේ 652 අංකය සහිත එමිරේට්ස් ගුවන් යානයෙන් පහුගිය 10 වැනිදා පාන්දර 12.45ට මේ පිරිස කටුනායක ගුවන් තොටුපොළට ආවාලු. එහිදී ප්‍රභූ පර්යන්තයේ ඉඳන් ඒ ව්‍යාපාරිකයාව එක්කගෙන යන්න රාජ්‍ය ඇමතිවරයෙක් ඇවිල්ලාලු.

ජයලත් ක්‍රිෂාන් පීරිස් කියන මේ ව්‍යාපාරිකයාට විරුද්ධව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් තියෙන බවත් වාර්තාවේ සඳහන්. ඒ අනුව ගුවන් තොටුපොළේදි ඔහුව සීඅයිඩි භාරයට ගත්තාලු.

විස්කි බෝතල්වලට පාට වතුර කවලම් කිරීමේ සිදුවීමකටලු මේ ව්‍යාපාරිකයාට චෝදනාව තියෙන්නේ. මේ ගැන ඇහුවාම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබුණේ ඔහුව අත්අඩංගුවට අරන් අධිකණයට ඉදිරිපත් කළාම ඇප ලැබුණාලු.

මේ සිදුවීමට අදාල තොග තියාගෙන හිටියේ ග්ලෝබල් පාක් කියන ගුදමෙන්ලු. මේ ගුදම යහපාලන ආණ්ඩුව කාලයේ මුදල් ඇමතිවරයාව හිටපු රවී කරුණානායකගේ දියණිය ඔනෙලා කරුණානායකට අයිතියි.

මේ විස්කි ගනුදෙනුවට සම්බන්ධ නිසා මේ ව්‍යාපාරිකයා අවුරුද්දකට කලින්ලු රටෙන් පැන්නේ. දැන් ලංකාවට ඇවිත් දේශපාලන බලවතුන්ගේ උදව්වෙන් අධිකරණයට ඉදිරිපත් වුණාලු.