කාදිනල් හිමි බෝම්බ- දේශපාලනයේ බෙල්ලෙන් ඇල්ලීම

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හොයා ගැනිමේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය හරි විමර්ශනයක් කළේ නෑ කියලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කී බව ඔබ දකින්න ඇති. ජනවාරි 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගෙග් දේවස්ථානයෙන් බෝම්බයක් හම්බවුණා කියන සිද්ධිය ගැන තමයි කාදිනල් හිමි මේ කතා කළේ.

මේ රටේ බෝම්බ දේශපාලනය ගැන දැවැන්ත ඉතිහාසයක් තියෙනවා. ගොඩක් බෝම්බ පිටිපස්සේ දේශපාලනික කතාන්දර, සාහිත්‍යයන් ගෙතිලා තියෙනවා. ඒ ඉතිහාසය ඇතුළේ තියලානේ මේ බෝම්බය ගැනත් අපට කතා කරන්න වෙන්නේ.

ඇත්තටම මේ වෙලාවේ රටේ දේශපාලනය උඩු යටිකුරු කරන්න පුළුවන් දරුණු බෝම්බයකින් හෝ ඊට සමාන වෙනත් දේශපාලන ප්‍රබන්ධයකින් විතරයි. ඒ කියන්නේ මහා තර්ජනයක්, අනතුරක්, අවදානමක් ගැන මහා කුමන්ත්‍රණ න්‍යායක් සහිත මහා කතාන්දරයක්. මාධ්‍යවලින් පන්න පන්නා ලියන්න පුළුවන්, වවාගෙන කන්න පුළුවන් ප්‍රබන්ධයක්. නාමල් කුමාරගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය වාගේ. වෛද්‍ය සාෆි මව්වරුන් වඳ කිරීම වාගේ.  

මේක ඉතාම වැදගත්, තීරණාත්මක ප්‍රකාශයක්.

‘අපේ පල්ලියේ වසර ගණනාවක් වැඩ කරපු හතරදෙනෙක්ව පොලීසියට කැඳවාගෙගන ගියා. ඊට පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් කර තිබුණා මේ බෝම්බය තබා යන්නට කටයුතු කළේ මුණි කියන පුද්ගලයා කියා. අපි මේ සීසිටීවී දර්ශන හොඳින් නැරඹුවා. අපි කිව්වා අපේ පියතතුමන්ලාට කරුණාකරලා උදේ වරුවේ ඉඳලා සීසීටීවී දර්ශන නරඹන්න කියලා. මොකද පොලීසිය කිව්වේ අපට හැන්දෑවේ තුනෙන් පස්සේ දර්ශන නැරඹුවාම ඇති කියලා.

ඒ අනුව අපට පේනවා උදේ 9යි 52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළු වෙනවා. සිලිසිලි බෑගයක් රැගෙන කළුපාටට හුරු කලිසමක් සහ බුෂ් ෂර්ට් එකක් ඇඳගත් පුද්ගලයෙක්  ටිකක් නොන්ඩි ගසමින් පල්ලියට එනවා. මේකේ ඇත්ත සොයා යනවා වෙනුවට කතන්දරයක් ගොතන්නට යන වැඩක් හැටියට පේනවා. ඒ නිසා පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අපි ප්‍රතික්ෂේප කරනවා.’

මේ ප්‍රකාශය පැහැදිලිව ලංකාවේ බෝම්බ දේශපාලනයේ බෙල්ලෙන් අල්ලා ප්‍රශ්න කිරීමක්. අනෙක් පැත්තෙන් මේ ආරම්භක මොහොතේම කාදිනල් හිමි මේ වගේ ප්‍රකාශයක් කිරීම ඒ දේශපාලනයට කණේ පහරක්.

මේ වෙද්දි පවතින දේශපාලන තත්වය තමන්ට වාසි සහගත පැත්තට හරවාගන්න බැරි වුණොත් සමහර දේශපාලන බලවේග ඊළඟට මොන වගේ කුමන්ත්‍රණයක් දියත් කරාවිද කියන එක විශ්වාස නෑ.

මේ කියන බෝම්බ ප්‍රහාරය එවැනි දේශපාලන කුමන්ත්‍රණයක්ද? අනෙකක්ද? කියන එකත් අප හරියටම, තිතටම දන්නේ නැහැ.

ඒත් කාදිනල් හිමි වගේ කෙනෙක් මෙවැන්නක් ආරම්භ වන අවස්ථාවේම ‘පොලීසිය බොරු කරන’ බව චෝදනා කරද්දී, මහා සමාජය අනාගතයේදී බෝම්බ පිළිබඳ ආණ්ඩුව පැත්තේ ප්‍රබන්ධ කොයි විදියට බාර ගනීවිද කියන එක ප්‍රශ්නාර්ථයකට හැරෙනවා. ආණ්ඩුව ගොතන ඕනෑ කතාවක් මහා සමාජය බාර ගනීවිද?

මීට කලින් ආණ්ඩු නායකයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයන් ගැන නොයෙකුත් ප්‍රශ්න මතු කළත්, ඒවා මතු කළේ කාදිනල් හිමි වගේ බලවත් පුද්ගලයන් නෙවෙයි. ඔය ප්‍රශ්න මතු කරපු අයගේ ප්‍රකාශයන්ට මාධ්‍ය ආවරණ ලැබුණේත් නෑ. ඒ ප්‍රශ්න කරපු අයව දේශද්‍රෝහීන් සහ කුමන්ත්‍රණකාරයන් විදියට ලේබල් කළා. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඔවුන්ගේ හඬට ඉඩ නොලැබුණා විතරක් නෙවෙයි, ඔවුන් දේශද්‍රෝහීන්ය කියලා චෝදනා කරන ඒවාට වැඩිපුර ඉඩ ලැබුණා.

ඒත් කාදිනල් හිමි වැනි කෙනෙක් මෙවැනි කුමන්ත්‍රණ ප්‍රශ්න කරද්දී ඒවාට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මුල් පිටුවේ ඉඩ විවෘත වෙද්දී, තවදුරටත් කුමන්ත්‍රණකාරයන්ට තමන්ගේ ප්‍රබන්ධය තමන්ට ඕනෑ හැටියට සමාජයේ වගා කරන්නට ඉඩ නැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා, මේ සමාජය නොමඟ යවා දේශපාලනයක් කරන්නට අර අඳින ඕනෑ බලවේගයක් මේ සිදුවීමෙන් පාඩමක් ඉගෙනගැනීම යහපත්.