මෙහෙම ගියොත් රටේ නීතියක් නැති වේවි! – නීතිඥ සංගමයෙන් තීරණාත්මක නිවේදනයක්

දැන් රටේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියට ගියොත් රටේ නීතියක් නැති, නීතියේ පාලනය විනාශ වූ භයානක තත්වයක් ඇති වෙන්නට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව අමරසූරියගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරලා.

එම නිවේදනයේ සඳහන් ආකාරයට එම සංගමය මේ වෙද්දී වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය ගැනත් එමගින් ලංකාවේ නීතියේ පාලනයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවගේ ජීවන තත්වයට සිදු විය හැකි බලපෑම ගැනත් සැලකිලිමත් වෙනවාලු.

නැගී එන ජීවන වියදම, ගෑස් ඇතුළු අත්‍යවශය ආහාර ද්‍රව්‍ය හිඟය, විදේශ සංචිත නොමැති වීම, විදේශ මුදල් එවීමට නොහැකියාව, ජාත්‍යන්තර ඒජන්සි කිහිපයකින්ම ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකකව වසා දැමීම, විදේශ ගුවන් සමාගම්වල මෙහෙයුම් කටයුතු නතර වීම ගැන පුවත්, ඉදිරියේදී ඇති විය හැකි බලශක්ති අර්බුදය ගැන අනතුරු හැඟවීම් ආදී සියල්ලෙන් පෙනී යන්නේ රජය තවදුරටත් ප්‍රමාද නොවී ආර්ථික අර්බුදය ඉක්මනින් ආමන්ත්‍රණය කළ යුතු බවලු.

කෙසේ වෙතත් මේකේ වඩාත් භයානක පැත්තක් තමයි නීතිඥ සංගමය තමන්ගේ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ආර්ථිකයේ ගරාවැටී රටේ පරිපාලනයට සහ නීතීයේ ආධිපත්‍යයට වඩාත් ගැඹුරු බලපෑම් එල්ල කරන්නට ඉඩ තියෙන බව. සිදුවිය හැකි නරකම බලපෑමක් විදියට නීතියේ පාලනය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවදානමක් ඇති බව ඔවුන් කියනවා.

ඒ කියන්නේ නීතිය පිළිපදින්නේ නැති අරාජික තත්වයකට රට ගමන් කරන්න ඉඩ තියෙන බව.

ඒත්, එවැනි තත්වයකට එන්න කලින් දැන් තියෙන දැවැන්ත විෂමතාව එක්ක ලංකාවේ පුරවැසියන්ට තමන්ගේ පෞද්ගලික වගේම පොදු අයිතිවාසිකම් භුක්ති විඳින්න තියෙන ඉඩඩ සීමා වෙන බව ඔවුන් කියනවා. ඒ වගේම වැඩිම ආර්ථික පීඩාවට පත් වූ අය මේ සමාජයේ වැඩිපුරම අවදානමට ලක්ව සිටින බව මතක් කරනවා.

දැන් ඩොලර් 3ක විදේශ සංචිත ප්‍රමාණයක් ඇති බව කීවත්, එයින් ණය ගෙවීමට කොච්චර ප්‍රමාණවත් වේවිද කියන එකත්, ඒ අතරින් කොච්චර ප්‍රමාණයක් විදේශ රටවල්වලින් මූල්‍ය හුවමාරු ගිවිසුම් හරහා ලැබුණාද කියන එකත් අවිනිශ්චිත බව නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුදය ගැන දීර්ඝ විදියට විස්තර කරන මෙම නිවේදනයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්, ඉකොනොමිස්ට් මාධ්‍ය ආයතනයේ වාර්තා මෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල නිකුත් කරපු නිවේදන උපුටා දක්වමින් මේ මොහොතේ පවතින අර්බුදය ගැන සහ ගත හැකි පියවර ගැන සඳහන් කරනවා.

එමෙන්ම තමන්ගේ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් ‘ස්වයං රැකියා’ ලෙස වෘත්තියේ යෙදෙන බවත්, ඔවුන් ද මෙම අර්බුදයේ බලපෑමට මුහුණදෙන බවත් සඳහන් කර තිබෙනවා.

දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැන් පවතින අර්බුදය ගැන උපදෙස් ලබා ගන්නා ලෙසත්, ඒ අනුව කටයුතු කරන ලෙසත් යෝජනා කර තිබෙනවා.