ශ්‍රීලනිපය දැන් ආණ්ඩුවෙන් යන්නෑ! ගිහින් වැඩක් නෑ! සැබෑ ප්ලෑන් එක ගැන හෙළිදරව්ව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළ නායකයන් ආණ්ඩුවෙන් එළියට යන බව ඉඟි කරමින් ප්‍රකාශ කිහිපයක්ම කරලා තිබුණා. ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයකින් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කියා තිබුණා.

ඒත් ඇත්තටම ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට බැසීමට දැන්ම සැලසුමක් නැති බවත්, ආණ්ඩුව තුළ රැඳී ඉන්නට ශ්‍රීලනිප නායකයන් අතර එකඟතාවක් තියෙන බවත් ඒ පක්ෂයේ ඉහළම නායකයෙක් අපි එක්ක කීවා. ඒ වගේම ඔවුන්ගේ සැබෑ ප්ලෑන් එක ගැන ඔහු අපට හෙළිදරව් කළා. ඒ අනුව ඔය තැනින් තැන ශ්‍රීලනිපය එළියට බහින කතා කීවාට, සීයට අසූවක් විතර ඉඩ තියෙන්නේ තවදුරටත් ශ්‍රීලනිපය ආණ්ඩුවේම ඉන්නයි.

පහුගිය දවස්වල ශ්‍රීලනිපයේ සාකච්ඡා වට ගණනාවක් තිබුණාලු. නිල, නොනිල ඒවා. ශ්‍රීලනිපය සන්ධානයක් ගහනවාද? ඒ කොහොමද? කවදාද? කරන්නේ මොනවද? ඇමතිකම්වලින් අස් කරයිද? මේ කතාව ඒ ගැන.

අපි මේ සටහනේදී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නායකයන්ට ලොකු විවේචනයක් එල්ල කරන්නයි හදන්නේ. ඒත්! ඊට කලින් ඔවුන්ගේ පැත්තට කරුණු කිහිපයක් කියලා ඉන්නත් ඕනෑ.

මුලින්ම අපි පාර කපාගමු ඇයි මේ ශ්‍රීලනිප මගුලක් ගැන කතා කරන්නේ කියන කාරණාව නිරවුල් කරගන්නට. ඇත්තටම ශ්‍රීලනිපය දැන් වැදගත්ද? එයාලා ආණ්ඩුවේ හිටියත්, එළියට බැස්සත් වෙනසක් තියෙනවාද? කොහොමත් එකයිද? මිනිස්සු ශ්‍රීලනිපයට ඡන්දෙවත් දේවිද?

ශ්‍රීලනිපය එළියට බහින එක ඉතා වැදගත්. ඉතා තීරණාත්මකයි. අපි පැහැදිලිව ඒ මතයේ ඉන්නවා. ඒකට හේතුව මේකයි. අපේ අදහස් ඉදිරිපත් කරන ශෛලිය හැඟීම්බර එකක් වුණාට, ඇත්තටම අපි ඒ අදහස්වලට පදනම දාගන්නේ තර්ක බුද්ධියෙන්. අන්න ඒ තර්ක බුද්ධිය පාවිච්චි කළොත් පුතේ, මේ වෙලාවේ රටේ තියෙන ජාතික ජන බලවේගයේ රැල්ලට මුළු රටම ඒකමතිකව සපෝට් කරන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනෑ.

අපි ගොඩක් අය ආස ඇති අලුත් බලවේගයක් වටේ රටම පෙළගැහෙනවාට. ඒත්, ඇත්ත යථාර්තය ඒක නෙවෙයි. මේ රටේ ගොඩක් මිනිස්සු තවමත් ඉන්නේ කඳවුරු දේශපාලනයේ. කොච්චර කළත් ජාතික ජන බලවේගය හෝ ජවිපෙ පාර්ශ්වවලටත්, අනෙක් පැත්තෙන් යූඇන්පී සහ සමගි ජන බලවේග පාර්ශ්වවලටත් ටච් කරන්න බැරි ඡන්ද පදනමක්, මිනිස්සු පිරිසක් ඉන්නවා.

ඒක ශ්‍රීලනිපයටත්, ඊට පස්සේ පොහොට්ටුවටත් ආමන්ත්‍රණය කරන්න හැකියාව තියෙන, කඩන්න අමාරු ඡන්ද පදනමක්. අද නිහඬව හිටියාට ඒ කඳවුරත් පණපිටින් මේ රටේ ඉන්නවා.

මේ අයගේ ‘ඡන්ද පදනම’ හෙවත් කතිරය විතරක් නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නේ. දේශපාලනය ගැන ඔවුන් කරන ප්‍රචාරක ව්‍යාපාරවලදී මතු කරන කාරණා මොනවාද? ඔවුන්ට හිතවත් මාධ්‍ය සමාජයට ගේන ප්‍රවෘත්ති සහ මතවාද මොනවාද? ඒ පක්ෂෙට හිතවත් අය ගංතොටේදී කතා කරද්දී කියන කරුණු කාරණා මොනවාද? ඒ මිනිස්සු මේ සමාජයට එකතු කරන්නේ මොනවාද?

ඉතින්! ඒ දේශපාලන කඳවුර දැන් අවුරුදු 15ක් විතර තිස්සේ මහින්ද, ගෝඨාභය, බැසිල් සහ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ බූදලයක් වෙලා තියෙන්නේ.

ඒ බූදලය නැවතත් පුද්ගලයන්ගෙන් මිදිච්ච බලවේගයක නමට ලියැවෙන්න ඕනෑ. සන්ධානයක නමට ලියැවෙන්න ඕනෑ. ඒ කඳවුර ජාතිවාදය අවුස්සන, පටු පුද්ගල වර්ණනා නොකරන, දූෂණ වංචාවලට පසුබිම හදන, පටු දැක්මක් තියෙන කඳවුරකින් එහාට යන්න ඕනෑ. යම් වාමාංශික පදනමකුත් ඇති, දේශීයත්වය ගැන අදහසකුත් තියෙන, සාම්ප්‍රදායික, ගතානුගතික අදහස් මත පදනම් වෙච්ච පිරිසක් එතැනට යන්න ඕනෑ. විවිධ අදහස් තියෙන සන්ධානයක් එතැන හැදෙන්න ඕනෑ.

සෞඛ්‍ය සම්පන්න දේශපාලන කඳවුරක් බවට ඒක හැරෙන්න ඕනෑ. ශ්‍රීලනිපය මාර සෞඛ්‍ය සම්පන්න නැතිව ඇති, ඒත් රාජපක්ෂලා බූදලයක් විදියට හදාගත්ත විකෘති දේශපාලන බලවේගය කඩන්න දැන් තියෙන ප්‍රධාන චාන්ස් එක තමයි ශ්‍රීලනිපය.

අනෙක දැන් මේ නිශ්චිත මොහොතේ ශ්‍රීලනිප- පොහොට්ටු දෙපැත්තේ අය එල්ල කරගන්න චෝදනාවලදී ශ්‍රීලනිපය කියන කරුණු සාධාරණ පදනමක් තියෙන ඒවා.

ශ්‍රීලනිපය එක්ක සන්ධානයට එද්දී රාජපක්ෂලා ගිවිසුම් තුනක් ගැහුවා. ඒවායේදී ලොකු ලොකු දේවල් පොරොන්දු වුණා. ඇමතිධුර, පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ආදී නොයෙක් දේවල්. ශ්‍රීලනිපයේ ඡන්දත් ගෝඨාගේ ජයග්‍රහණයට හේතු වුණා. ඒත් අන්තිමේ ඒ හැම පොරොන්දුවක්ම පොහොට්ටුවෙන් කැඩුවා. ඒ විතරක් නෙවෙයි, මුල ඉඳන්ම ශ්‍රීලංකා එකට හූ කිව්වා. ප්‍රසන්න රණතුංගලා මුල ඉඳලාම මෛත්‍රීට ඇටෑක් කළා. ගෝඨාභයලා පවා කතා කරගෙන යද්දී හිටපු ජනාධිපති කියලා මෛත්‍රීට ගැහුවා.

ඉතින්! එහෙම තියෙද්දී මේ ආණ්ඩුව ඇත්තටම පිස්සු කෙළින වෙලාවක. ඇත්තටම ආණ්ඩුව මහ කැත විදියට හැසිරෙන වෙලාවක ඒ ගැන කතා නොකර ආණ්ඩුව රකින්නට ශ්‍රීලනිපය කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වීමම පිස්සුවක්.

ඒවා  පැත්තක තියමු. මෙච්චර දවස් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිහඬව ඉන්නට හේතු වුණ කාරණාව තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නඩුවක් වැටිලා, අමාරුවේ වැටේවි කියන බව. දැන් ඔහුට ඒ බය නෑ. එහෙම නඩුවක් වැටුණොත් ඒකත මෛත්‍රීට දේශපාලන වාසියට පාවිච්චි කරන්න පුළුවන්. මෙච්චර දවස් හොඳට ඉඳලා, දැන් එකපාරම නරක් වුණාද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී 2015 දී විරුද්ධ පාර්ශ්වයෙන් ඡන්දය ඉල්ලලා අපි කලින් සඳහන් කරපු ගතානුගතික දේශපාලන කඳවුර ඉස්සරහා කරපු ‘පව්’ 2018 කුමන්ත්‍රණයෙනුත්, මේ දක්වා ආණ්ඩුවේ ඉඳීම ඇතුළේත් ගෙවලා හමාරයි. ඒ නිසා දේශපාලන බලය ගැන කෝණයෙන් බැලුවොත්, මෛත්‍රීලාට දැන් කඳවුරක් විදියට ශක්තිමත් වෙන්න පුළුවන්.

හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. අපි යූටියුබ් එකේත්, කලින් වැඩකරපු පත්තරවලදීත් පැහැදිලිව ශ්‍රීලනිපය ගැන උනන්දුවෙන් කටයුතු කළා. 2019 දී ඉතා පැහැදිලි සිංහලෙන් ලීවා පොහොට්ටුව ඉතා ඉක්මනින් දියවෙලා යනවා. පොහොට්ටුව කියන්නේ තාවකාලික ප්‍රොජෙක්ට් එකක්. දැන් ඉඳන්ම ශ්‍රීලනිපය එළියේ හිටියොත්, ජනාධිපතිවරණයටත් අපේක්ෂකයෙක් දාලා තනියම ඉල්ලුවොත් තාවකාලිකව ඒ පක්ෂයට පාඩුවක් වේවි. සමහරවිට ආසන පොඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේත් ලැබේවි. ඒත්! එයාලාගේ කඳවුරේ රාජපක්ෂලාට අමතරව ජොන්ස්ටන්ලා, ගාමිණී ලොකුගේලා ඇතුළු මිනිස්සුන්ට එපා වෙච්ච සාම්ප්‍රදායික දේශපාලුවන් පවා පොහොට්ටුව ඇතුළේ ඉවරවෙද්දී වඩා තරුණ, ජව සම්පන්න අලුත් නායකයන් ටිකක් එක්ක ශ්‍රීලනිපයට එළියට බහින්න චාන්ස් එක ලැබේවි. එදා අපි ඒ කරුණු ඒ විදියටම කීවා. ඇත්තටම එදා අලුත් බලවේගය වුණේ පොහොට්ටුව නෙවෙයි. ශ්‍රීලනිපය.

ඒත්! ඒක ඇහුවේ නෑ. පොහොට්ටුව ගියා. ඒකෙන් පස්සේ අපි බල දේශපාලනය පැත්තකින් තියලා රටක් විදියට වෙච්ච විනාසය සලකමු. රාජපක්ෂලා මහා බලයක් එක්ක පත් වුණා. 20 වැනි සංශෝධනය සම්මත කරලා මහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාපයකට කරගැහුවා. ගෝඨා යාන්තමට ජනාධිපතිවරණය දිනලා, යාන්තමට පාර්ලිමේන්තු බලය ලැබූ තත්වයකට වෙනස්ව, සීමාව ඉක්මවූ බලයක් ලැබුණා. පොහොර තීන්දුවේ ඉඳන් උද්දච්ච තීන්දු ගන්න තැනට පාර කැපුවා. ආර්ථික අර්බුදය වැඩි කෙරෙන විදියේ තීන්දු ගත්තා. වසංගත පාලනය හරියට කළේ නෑ.

මේ සියලු විනාසයන්ගේ සෑහෙන පංගුවක් මේ ආණ්ඩුවට කරගහපු ශ්‍රීලනිපය ගන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි. අපි කලින් කී අසාධාරණකම්, ගැරහිලි වෙද්දී මෙච්චර දවස් ශ්‍රීලනිපය නිවට, නියාලු පක්ෂයක් විදියට ආණ්ඩුව ඇතුළේම හිටියා. ඉඳලා, ඉඳලා දැන් තමයි එළියට බහින තැනට කතන්දර කියන්නේ.

ඔන්න ඔය පසුබිමේ තමයි අපි ශ්‍රීලනිපයේ ඇත්තම ප්ලෑන් එක ගැන කියන්න ඕනෑ. අද, හෙට හෝ ලබන සතියේ ආණ්ඩුවෙන් එළියට යන්න කිසිම සැලසුමක් ශ්‍රීලනිපයට නෑ. එහෙම යන්නේ නැති බව ඉතා පැහැදිලිව ශ්‍රීලනිප නායකයන් එකඟතාවක ඉන්නවා. එතකොට ඔය යන කතා ඔක්කොම බොරු. එහෙනම් ජනාධිපතිම ශ්‍රීලනිප ඇමතිවරුන් දෙන්නා සහ රාජ්‍ය ඇමතිවරුන් තුන්දෙනා අස් කළොත් තමයි.

පහුගිය සතියේ ශ්‍රීලනිප නායකයන් අතර කතාවක් ගියාලු ගෝඨාභය ජනාධිපතිවරයා ලබන සතියේ ඒ පස්දෙනා අස් කරලා දාවි කියලා. ඒත්! ගෝඨා ඒ තීන්දුව ගනීවිද කියලා ආණ්ඩුවේ කිසිම නායකයෙක් හරියට දන්නේ නෑ. ඒ කියන්නේ ගෝඨාභය මහත්තයාවත් හරියට දන්නේ නෑ. ඒ දවසේ ඇඳෙන් නැගිටිනකොට තියෙන මූඩ් එක අනුවනේ ගෝඨාභ රාජපක්ෂ මහතාත් තීන්දු ගන්නේ.

මේ  අතරේ එළියට බහින එක කෙසේ වෙතත් දැනටමත් මෛත්‍රීපාල සිරිසේන මහතා කරලා තියෙන දැඩි ප්‍රකාශ එක්ක ශ්‍රීලනිපයේ මත තුනක බෙදීමක් තියෙනවාලු. මොකද, මේකේ දෙපිරිසක් ඉන්නවා. එක සෙට් එකක් කියන්නේ ආණ්ඩුවෙන් අයින් වෙලා සජබ එක්ක සන්ධානෙකට යන්න ඕනෑ බව. ඇමතිකම් අරන්, බලය තියාගන්න අනාගතේ ඉඩ ලැබෙන්නේ එතකොටලු. මෙහෙම කියන පිරිස චන්ද්‍රිකා බණ්ඩාරණායකටත් හිතවත් අය.

දෙවැනි සෙට් එක කියන්නේ ආණ්ඩුවේ තනතුරු අරගෙන විපක්ෂයේ වගේ, ඒත් ආණ්ඩුවේම පාර්ශ්වයකුත් වගේ ඉන්න ඕනෑ බව. ඇමතිකම් විතරක් අතෑරලා, ආණ්ඩුවට විවේචනය කරමින් ඉන්න ඕනෑ බව. හැබැයි සජබ පැත්තට බර වෙන්න හොඳ නැති බව. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර වැනි අයගේ මතය.

තුන්වැනි සෙට් එක කියන්නේ ආණ්ඩුවට සපෝට් කරමින් ඒ කඳවුර ශක්තිමත් කරමින් ආණ්ඩුව ඇතුළේම ඉන්න ඕනෑ බව. ඒ කියන්නේ ලසන්ත අලගියවන්නලා වගේ පිරිසක්. ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙවල් එකේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා ඒ මතයේ.

කොහොම නමුත් මේ මත තුන නිසාම, දැන් තියෙන එකඟතාව තමයි විශේෂ තීන්දුවක් නොගෙන මේ විදියටම ඉන්න එක. ආණ්ඩුවෙන් එළියට බහින්න කල් වැඩියි, එළියට බැහැලා මොකද කරන්නේ කියලා තමයි දැන් කතාව.

ඒ විතරක් නෙවෙයි, ආණ්ඩු කඳවුරේ ඉන්න අනෙකුත් පාර්ශ්ව එක්ක තවම හරිහැටි සාකච්ඡා කරලාත් නෑ. විමල්, වාසු, ගම්මන්පිළ කඳවුරේ ඉහළම නායකයෙක් අපි එක්ක කීවේ මෛත්‍රීපාල සිරිසේනලා සන්ධාන ගහලා ආණ්ඩු හදන කතා කීවාට තවම හරිහැටි තමන්ගේ පක්ෂ එක්ක සාකච්ඡාවක්වත් කළේ නැති බව. ඔය කයිවාරු ගැහුවාට අඩු තරමේ යුගදනවි ගිවිසුම ගැන නඩුවේදී ශ්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් දෙන්නාට එන්න කීවාට ඒ මගුලට ආවේත් නැති බව.

එහෙම පසුබිමක සීයට අසූවක්ම ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්න ඉඩ තියෙනවා. ඡන්දයක් එනතුරුම. ඒ ඡන්දය ළං වෙද්දී මොකක්හරි මැජික් එකකින් රාජපක්ෂලා නැවත ජනප්‍රිය වුණොත්, ශ්‍රීලනිපය පොහොට්ටුවේම ඉන්න ඉඩ තියෙනවා. ඒ වගේම එයාලා හිතපු තරම් ශක්තියක් නැති වුණොත්, රාජපක්ෂලා එක්ක හැප්පෙන්න බය වුණොත් ගිහින් සමගි ජන බලවේගයට සෙට් වෙන්නත් ඉඩ තියෙනවා.

ඒකම තමයි ශ්‍රීලනිපය මෙතැනට වැටෙන්න හේතු වුණේත්. කොන්දක් ඇතිව, අවදානමක් තියෙන තීන්දු නිර්භීත විදියට ගන්න මෛත්‍රීපාල ප්‍රමුඛ ශ්‍රීලනිප නායකයන්ට හයියක් නැතිකම. දැනුත් ඒ හයිය නැහැ. මිනිස්සු ආණ්ඩුවට බණින නිසා අවස්ථාවාදී විදියට යමක් කිමින් ඉන්නවා විතරයි.

ඉතින් එතැනින් එහා ගිය පුළුල් දැක්මක් සහ කොන්දක් තියෙන නායකත්වයක් ආවොත් නං අපි මුලින්ම කීව විදියට ඒ දේශපාලන කඳවුරේ බලය රාජපක්ෂලාගෙන් ගලවලා, ඒ කඳවුර යහපත් තැනකට ගේන්න ශ්‍රීලනිපයට හැකි වේවි.