ජනාධිපතිවරයාට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම හෝ හුවමාරු කිරීම කළ නොහැකි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව දිවයින පුවත්පතට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ජනවාරි 10 දින ගෙන්වා ප්‍රශ්න කර ඇති බව Medialk වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය පවත්වා ඇත.
කොමිසම හමුවේ පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එවැනි ප්‍රකාශයක් තමා නොකළ බව සඳහන් කරමින් දිවයින පුවත්පතේ කර්තෘවරයාට ලිපියක් යොමු කළ බව ද ඔහු පවසා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව උපුටා දක්වමින් ජනවාරි 03 වැනිදා දිවයින පුවත්පත මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර නැත්නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දෙන ලෙස කොමිෂන් සභාව ඔහුට දැනුම් දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම ප්‍රකාශය නීතියට පටහැනි බවට හා භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහසට කරන බලපෑමක් බවට සමාජයේ ලොකු කතාබහක් ඇති විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම පරීක්ෂණය පවත්වයි.