පැල්මඩුල්ලේ කුට්ටාපිටියේ විසූ ලෝ ප්‍රකට සාහිත්‍ය කරුවා….  කරු පරණවිතාන 

මෙවර  නව වසර සඳහා මගේ සමාජ මාධ්‍ය සුබ පැතුමේ පසුබිම් සිතුවමට මා එක් කළේ  පැල්මඩුල්ල නගරයට පෙනෙන  කිරිඳි ඇල්ල කඩා හැලෙනා සුන්දර දර්ශනයකි. කිරිඳි ඇල්ලෙන් පහලට එන ජල ධාරාව අවටින් ඒ කරා එන ලොකු කුඩා දිය දහරද එකතු කර ගනිමින් දෙනවක පාතකඩ නිමිනය ඔස්සේ සන්නස්ගම ලෙල්ලෝපිටිය වෙල් යාය හරහා බෝපැත්තේ ගල් ගිගිරාන ඇතුලෙන් රිංගා ගොස් රත්නපුර නගරයට නුදුරු මල්වල ගම අබියසින් කළු ගගට එක්වේ. 

මේ ගංගාවේ මුල් බොහොමයක් ඇත්තේ බැලු බැලූ තැන මීර ජලය වැගිරෙන සාර පල සදිසි කුට්ටාපිටිය කඳු පංතිය තුළය. කුට්ටාපිටිය ගම්මානය දිගේලි වී  ව්සිරී ඇත්තේ මේ කඳු පංතිය ආශ්‍රිතවය. මහනුවර රාජාණ්ඩු කාලයේ ශ්‍රිපාදස්ථානයේ නඩත්තුව පිණිස  වෙන් කරන ලද විහාර නින්දගමක් වූ මේ  මේ ගම් පියසේ ඉහල කඳුකර ඉඩම් පසුකාලීනව ඉංග්‍රීසි වැවිලි කරුවන් විසින් සරුසාර තේ වතු යායක් බවට පත් කරන ලදී. මේ වතු යායේ මැද කොටසේ කඳු මුදුනක පිහිටි වතු බංගලාවක මේ ලිපියේ කථා නායකයා තම වතු පාලක පියා සමග  සිය ළමා කාලය ගත කළේය. ඒ ලෝක ප්‍රකට සාහිත්‍ය කරුවකු වන මයිකල් ඔන්ඩච්චි  (Michael Ondaatje) ය.

 ළමා විය ලංකාවේ ගත කළ මයිකල් ඔන්ඩච්චි පසුව එංලන්තයටත් ඊටත් පසුව කැනඩාවටත් ගොස් එහි පුරවැසියකු බවට පත්විය. ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ කැනේඩියානු සාහිත්‍යකරුවකු වශයෙනි.

විචිත්‍රවත් ඉංග්‍රීසි බසකින් නවකතා පහක් කාව්‍ය ග්‍රන්ථ දාහතරක් සහ තවත් සාරගර්භ ශාස්ත්‍රීය කලා ලේඛන රැසක් ඔන්ඩච්චි අතින් බිහි විය.

1992 වසරේදී බුකර් සාහිත්‍ය සම්මානය ඔහු ලියූ The English Patient (ඉංග්‍රීසි ආතුරයා) නව කතාවට හිමි විය. කැනඩාවේ විශ්ව විද්‍යාල වල මෙන්ම බොහෝ රටවල ඉංග්‍රීසි සාහිත්‍ය අධ්‍යයන අංශවල ඔන්ඩච්චිගේ සාහිත්‍ය ප්‍රබන්ධ වලට විශේෂ අවධානයක් හිමි වී ඇත. එයට එක් හේතුවක් වන්නේ සම්ප්‍රදායික ෂානරීය සීමා අතික්‍රමණය කරමින් කෙරෙනා ඔහුගේ ප්‍රබන්ධ කරණයේ සුවිශේෂත්වයයි.

සාහිත්‍යකරණය යනු ප්‍රජා සත්කාරයකැයි විශ්වාස කළ ඔන්ඩචිචි ඉතිහාසයේ මායිමට තල්ලු කරනු ලැබූ ආන්තික  ප්‍රජාවන් ගැන වැඩියෙන් ලීවේය. නිදසුනක් ලෙස In the Skin of a Lion නමින් ඔහු ලියූ නවකතාවේ හරය වන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරය ගොඩ නැගීමෙහිලා සාමාන්‍ය කම්කරුවන් ඇතුලු සුළු ජන කොටස් දරණ ලද අමිල දායකත්වය මහා මානවවාදී ඇසකින් බැලීමට අපව පෙළඔවීමය.

නැවත කුට්ටාපිටිය වෙත හැරෙමු. ඔන්ඩච්චි කුට්ටාපිටිය  ගැන ලියන්නේ Running in the Family නමින් ඔහු ලියූ ඓතිහාසික නව කතාව තුළය.  නමුත් එය නවකතා ෂානරයට පමණක් සීමා කළ හැකි කෘතියක් නොවේ. එය එක් අතකින් ඓතිහාසික වෘත්තාන්තයකි. එක් යුගයක ඉතිහාස කතාවකි. චාරිකා සටහනකි. ස්වයංචරිතාපදනායකි. පශ්චාත් යටත් විජිත සමාජ විවරණයකි… යටත් විජිත යුගය අවසාන කාලයේ සහ නිදහස ලැබූ මුල්කාලයේ ශ්‍රී ලාංකික ප්‍රභු පැලැන්තියක කතන්දරයක වේශයෙන් ලියැවුන මේ කෘතියට ඉහත දැක්වු සෑම ෂානරීය අනන්‍යතාවක්ම ඇත.

කුට්ටාපිටිය  ඔහු විස්තර කරන්නේ මිහිදුම්වලා පටලයක් මගින් සැබෑ ලෝකයෙන් වෙන් කළ භූමිභාගයක් ලෙසය. මේ වතුයායේ බංගලා පරිශ්‍රයෙහි කෙලි දෙලෙන් ගත කල ළමා කාලය, උද්භිද රසිකයකු වූ ඔහුගේ පියා විසින් කරන ලද විසිතුරු වගාවන්, දෙමළ කම්කරුවන්ගේ තප්පු නාදය මුසු සංගීතය ආදී නොයෙක් දෑ ගැන ඔහු ලියයි. තමාගේ ජීවන කුසලතාවන් වල මූල බීජ ඔහු තුල තැන්පත් වූ යේ කුට්ටාපිටියේදී බව ඔහු ලියයි.

මයිකල් ඔන්ඩච්චිගේ සාහිත්‍ය ගැන මට ඇල්ම වැඩි වූයේ කැනඩාවේ සේවය කළ සමයේය. එවකට  ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පිහිටා තිබූ Yong and Eglinton හි තිබූ මුල් පෙලේ පොත් සාප්පු හැම එකකම ඇතුලු වන දොරටුව අසල ප්‍රදර්ශනය කර තිබුනේ මයිකල් ඔන්ඩච්චි විසින් ලියන ලද ගද්‍ය පද්‍ය කෘති සම්භාරයයි. ඒවා  කියවිමට පෙළඹුනේ  කැනේඩ්යානු සාහිත්‍ය රසිකයන්  මේ කෘති වලට දැක් වූ ඇල්ම දුටු විටය.

දැන් නිදහසේ ඇවිදින්නට කාල වේලාව ලැබී ඇති මට 

ඔන්ඩච්චි ළමා කාලය ගත කළ නිවස බැලීමට සිත්විය. මේ වතු බංගලාව දැන් සංචාරක නවා තැනක් ලෙස නවීකරණය වෙමින් තිබේ… තවමත් ඔන්ඩච්චිගේ පියා විසින් ඉන්දන ලද විසිතුරු ශාඛ මහගස් ලෙස මේ භූමියේ ඇත. මේ දිනවල උදයට සහ සවසට මෙහි ඇත්තේ නුවර එළි සීතලකි. ඔන්ඩච්චි ලියා තිබෙන්නේ උඩ සිට පහල බලන කල පැල්මඩුල්ල කරා දිවෙන මාර්ගය දඟර ගැසුන කහ පාට නාගයකු ලෙස දිස්වන බවය. ඒ එකලය. මෙකල එම පාර දිස්වන්නේ දඟර ගැසුන කළුපාට නාග රාජයකු ලෙසය.

කරු පරණවිතාන මහතාගේ මුහුණු පොතේ පළ වූ ලිපියකි.