අනුරලා මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැ දැකීම සහ ලියනගේ අමරකීර්තිගේ විග්‍රහය – විදර්ශන කන්නන්ගර

අනුරලා මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමේ සිදුවීම සුජාත කිරීම වෙනුවෙන් අප මිත්‍ර ලියනගේ අමරකීර්ති  සිය බුද්ධිමය රන් කෙන්ඩියෙන් සිංහ තෙල් බිද බිද ගලපා ඔහුගේ බ්ලොග් අඩවියේ සටහනක් රචනා කර ඇත.ඒ සදහා ඔහු ‘තාර්කික ලෞකිකවාදයේ’ සිට ‘පශ්චාත්-විචාරාත්මක ලෞකිකවාදය’ දක්වාත් ‘රොමිලා තාපර්’ ගේ සිට ‘අමර්තයා සෙන්’ දක්වාත් විහිදෙන සංකල්පීය ආයුධ කිහිපයක් ප්‍රදර්ශනය කර සිටියි.

   අනුරලාගේ අස්ගිරි-මල්වතු බැහැ දැකීම පිළිබද විවේචන අඩවියට අමරකීර්ති ඇතුල්වන්නේ ඊට ඇති ලොකුම හා පහසු දොරටුවෙනි.බොහෝ විට එය ඊට ඇති එකම දොරටුව යැයි අමරකීර්ති වැනි සිංහල-බෞද්ධ ප්‍රගතිශීලීන් තමන්ටම ඒත්තු ගන්වා ගැනීමට බෙහෙවින් රුචිකරනවා වැනිය . ඊට අනුව අපේ සම්ප්‍රදාය සමග අභිමුඛ වී දේශපාලනය කරන ජවිපෙ/ජාජබ වැනි බලවේගයක් මල්වතු-අස්ගිරි පාර්ශව බැහැ දැක සංවාද කිරීමේ ,ආසිරි ලැබීමේ අවුලක් නැත.එය සාමාන්‍යය.ඔහුගේ සටහන අවසානයේ දක්වන පරිදි අනුරලා …”අට පිරිකර රැගෙන පන්සල් ගියද ආගමික අන්තවාදයට එරෙහිවත්, අශීලාචාර භික්ෂු ප්‍රතිරූපකවලට එරෙහිවත් අභීතව…” කතා කර ඇත. අනුර(ලා) “ආචාරධාර්මික භික්ෂූන් වහන්සේලා සමග නිරන්තර සංවාදයක පිහිටා සිටියේය”.තවදුරටත් අමරකීර්ති මෙසේ ද කියා සිටියි..”මෑතක් වනතුරුම ජාතිවාදී භික්ෂු ප්‍රතිරූපවල ව්‍යාජ සිංහ ස්‍යෙයා සහ වහසි බස්වලට රැවටී සිටි බොහෝ බෞද්ධයෝ අලුත් ආචාරධාර්මික බෞද්ධකමක් සොයමින් සිටිති”..

අපූරුය. අනුරලා, අමරෙලා මල්වතු-අස්ගිරි ඇතුළු අධිපති ආගමික නියෝජනයන් නිරතුරුව මුණ ගැසෙන්නේ ‘අලුත් ආචාරධාර්මික බෞද්ධ කමක්’ වෙනුවෙනි. “බෞද්ධ අනන්‍යතාවය මැදුම් පිළිවතින් පවත්වා ගැනීම” වෙනුවෙනි. මල්වතු-අස්ගිරි වැනි ඩබලයන් එම ආචාර ධාර්මික භික්ෂූන් ගණයට නොවැටෙන බව අමරෙ කියන්නේ නැත.අමරෙට අනුව අනුරලාගේ අස්ගිරි-මල්වතු වන්දනය අප තේරුම් ගත යුත්තේ “අශීලාචාර භික්ෂු ප්‍රතිරූප” වලට එරෙහි ප්‍රතික්‍රියාවක් ලෙසය..අමරෙගේ අදාළ ලිවීම තුළ වන “සූස් කට්ටකම” තව ශාප් විය යුතුව තිබෙයි.

ජාතික සම්ප්‍රදායන් හා එහි සංඝඨකයන් විමුක්තිවාදී විකල්ප දේශපාලන න්‍යාය පත්‍රයක් තුළට ඇතුළත් කරගැනීම අපගේ ද අවධාරණාත්මක යෝජනාවකි. එ’නිසා භික්ෂූන්,පන්සල්, වතාවත් හා ජන විශ්වාසයන් නිශේධනාත්මකව බැහැර කිරීමේ ආන්තික වාම ස්ථාවරයක අප නැත. එහෙත් අත්‍යවශ්‍ය හා තීරණාත්මක කරුණු දෙකක් මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙයි. පළමුවැන්න වන්නේ ඉහත කී සංඝථකයන් විකල්ප කතිකාවක් තුළ අලුතෙන් සුසම්බන්ධ කරන්නේ කෙසේද යන්නයි. සරලව කිවහොත් එම සම්ප්‍රදායික උපාංගයන් එහි පසුගාමී අගයන්ගෙන් විතැන් කර යළි අර්ථවත් කරලීමේ භාවිතයයි.ජවිපෙ දෘෂ්ටිවාදී අවුල් පිරිසිදු කර දීමේ ස්වයං-භූමිකාවක් අමරෙ විසින් මේ කාලයේ බාර ගෙන තිබුණද ඉහත කතිකාමය තාක්ෂණය ගැන අමරේට අවබෝධයක් ඇත. සාහිත්‍ යික හා සංස්කෘතික නූතනත්වය පිළිබද ඔහුගේ රචනා මෙහිදී අපට විවිධ පාඩම් කියා දෙන බව ද කිව යුතුය.

එහෙත් අමරෙලා වැනි සිංහල-බෞද්ධ ප්‍රගතිශීලීන් ඇතුළු නොවීමට පරිස්සම් වන අසීරු-පටු දොරටුව ඇත්තේ ඉහත කී වඩාත් තීරණාත්මක දෙවෙනි කරුණට අදාළවය.එය නම් යම් සිදුවීමක් අර්ථවත් කෙරෙන කතිකාමය සන්දර්භය නොහොත් එහි කතිකාමය පසමිතුරු අක්ෂය කුමක්ද යන්නයි.අනුරලාගේ අස්ගිරි-මල්වතු මන්ත්‍රණයට සංගත අර්ථ පථයක් ලැබෙන්නේ එමගිනි.එය කුමක්ද ?

ජවිපෙ දේශපාලනය මුළුමනින්ම පදනම් වන්නේ බහුතරවාදී ජාතික රාජ්‍ය මතවාදී සිතිජයකය. ‘එක් රාජ්‍යයකට ඇත්තේ එක් ජාතියක්‍ ය’ යන මෙම යුරෝ-යටත් විජිත මතවාදයට ජවිපෙ ඉතිහාසය පුරාම ණයගැතිය.මේ ‘ඒකීය ජාතිය’ යනු අන් කිසිවක් නොව සිංහල-බෞද්ධ බහුතර ජනවාර්ගික ජාතිකවාදයයි.දෙමළ වාර්ගික-ජාතිකවාදී ව්‍යාපාරය  සටන් වැදුනේ මෙම අධිපතිවාදයට එරෙහිවය. එම දෙමළ අරගල ව්‍යාපාරය පදනම් වූයේ සන්නද්ධ මැදිහත්වීමකින් තවත් ඒකීය ජාතික රාජ්‍යයක් නිර්මාණය කරගැනීමේ (එල්ටීටීඊ වැනි) නැඹුරුවක්  මුල පටන්ම හෝ මුළු මනින්ම නියෝජනය කරමින් නෙවෙයි. රාජ්‍ය බලය බෙදාගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී-ප්‍රතිශංස්කරණ  අරගලයක්ද ඒ හා අවියෝජනීයව බැදී තිබිණි.  උතුරු-නැගෙනහිර සන්නද්ධ අරගලය වනසා දැමීමේ මහමොළ කරු ලෙස ජවිපෙ අධි-උද්වේගයකින් කටයුතු කළේ මේ බලය බෙදා  ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමද වනසා දැමීමේ දේශපාලන අභිලාසයෙනි. මහින්ද රාජපක්ෂව ‘ ‘ ‘බල්ලෙකු නාවන ලෙස’ ඇද ගෙන යමින් උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ හිස මතට ‘බර අවි අතහැරීමේ’ ජවිපෙ මෙහෙයුම එහි කුප්‍රකට ප්‍රතිඵලයයි.

දෙමළ ජනතාව මත දියත් කළ සංහාරය වෙනුවෙන් අවම වශයෙන් සමාව භජනය කිරීමකින් හෝ තොර වූ ජවිපෙ තවමත් යහමින් සිටින්නේ එම යුද්ධය උත්කර්ෂණය කිරීමේ හා යුධමය-සංහාරයේ නායකත්ව උරුමය තමා සන්තක කරගැනීමේ ආඩම්බරයකය. උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙත බලය බෙදා හැරීමේ කිසිදු දේශපාලන යෝජනාවක් ජවිපෙට නැතුවා පමණක් නොව ජවිපෙ/ජාජබ සිටින්නේ නියමෙන් හා අනියමෙන් ඊට එරෙහි ස්ථාවරයකය.තමන් මත රාජ්‍ය මර්දන හස්තය සාහසික ලෙස යොදවා සිය යුක්ති සහගත දේශපාලන ඉල්ලීම් පවා කමකට නොගන්නා ජවිපෙ/ජාජබ ගැන බහුතර දෙමළ ජනතාවට ඇත්තේ එදිරිවාදී ආකල්පයකි.බැහැර කිරීමකි.

අනුරලා මල්වතු-අස්ගිරි මූලස්ථානය ඇතුළු විවිධ භික්ෂු සංස්ථාවන් සමග නිතර ගණුදෙනු පවත්වා ගැනීම අර්ථවත් වන්නේ මෙම පුළුල් සන්දර්භය තුළය. මෙලෙස දෙමළ ජනතාවගේ දේශපාලන අරගලයට එරෙහි ව රාජ්‍ය මර්දනය උසි ගැන්වූ ආගමික-මතවාදී කේන්ද්‍රය ඇත්තේ දළදා වහන්සේ වැඩ සිටින මායිමේමය. ඒ මල්වතු-අස්ගිරිලාය. අනුරලා එම මර්දනයේ දේශපාලන මතවාදී හස්තය විය. නොබෝදා එකී අත්වැල් පැටලුණී. එය හුදු  අහම්බයක් නොව මනුෂ්‍ය-දේශපාලන යුක්ති ධර්මයකට එරෙහි වූ සාමූහික ගිවිසුමක් පිළිබද බරපතළ සංකේතයකි. අවම වශයෙන් මෙවැනි විප්‍රකාරයන් දෙස බලා සිටින දෙමළ ජනතාවට සිතෙනු ඇත්තේ කුමක්ද ?..ජවිපෙට කෙසේ වෙතත් අමරකීර්තිලා වැනි බුද්ධිමතුන්ට මේ ගැන වගක් තිබේවිද ?

“පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය”