අපි කතා කරන්න ලෑස්තිවෙන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගැන. හැමෝම ආණ්ඩුවේ භේද, ආණ්ඩුවේ අවුල් ගැන කතා කරනවා. ඇයි? මේ දේශපාලන අර්බුදය මැද්දේ විපක්ෂය පර්ෆෙක්ට්ද? අපේ මේ කතාව සජිත්ගේ වැඩ, ජලනිගේ වැඩ, චෝදනා, ඇතුළේ වළි ඇතුළු විවිධාකාර මාතෘකා ඔස්සේ ගලා යනවා.
අපි දන්නවා! ඔබ බොහෝ දෙනෙක් සජිත් ගැන උනන්දු නෑ. ඔහු කතා කරන්න වටින මාතෘකාවක් නෙවෙයි කියා හිතන අයි අපේ ප්‍රේක්ෂකයන් අතර ඉන්නවා. ඒක අපි දන්නේ දත්ත එක්ක. අපි යූටියුබ් එකට දාන වීඩියෝවල සජිත්ගේ මූණ තිබුණොත් වීව්ස් වැඩිපුර ලැබෙන්නේත් නෑ.
පහුගිය දවසක සමගි ජන බලවේගයේ කළමණාකරණ කමිටු රැස්වීමකදී ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් පිරිසක් සජිත් ප්‍රේමදාසට විවේචනාත්මකව කතා කළාලු. තදින් කතා කළාලු. මේක හදිස්සේ වුණ දෙයක් නෙවෙයි. ඉරාන්ලා, හර්ෂලා ඇතුළු පිරිසක්ම පහුගිය කාලයක් තිස්සේ සජිත් ප්‍රේමදාසගේ ඇතැම් ක්‍රියාවන්ට විවේචන එල්ල කරපු බව ඇත්තක්.
අලුතින් ලියාපදිංචි කරපු පක්ෂයක නායකයෙක් වන කුමාර වෙල්ගම මහතා වක්‍රව සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාසට විවේචනයක් එල්ල කරලා තිබුණා. වක්‍රව කියා තිබුණේ සජිත් හොඳයි, ජලනි තමයි අවුල කියන එක.
මීට වෙනස් නමුත්, ආසන්න කතා ගොඩක් සජිත් ප්‍රේමදාස 2019 අග ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගත්ත දවසේ ඉඳලාම තිබුණා. ‘සජිත්ව කන්නේ ජලනි.’ වගේ කතා. ඇය ඉරිසියාවෙන් පිරිච්ච කාන්තාවක් බවත්, හැමදේටම ඇඟිලි ගහන බවත් සමහරුන් කීවා. පක්ෂ ඔෆිස් එක නඩත්තු කරන ඒවායේ ඉඳන් මුදල්වලට පවා ජලනි ඇඟිලි ගහන බව කීවා. සමහර වෙලාවක සජිත්ට වෙනත් කාන්තාවන්ට ළංවෙන්න දෙන්නේ නැති බවත් කීවා.
විශේෂයෙන් සජබ හෙවත් සමගි ජන බලවේගය එක්ක ඉන්න, හුදෙක් මචං, බං පන්නයේ ජනප්‍රිය දේශපාලනය නොකරන දේශපාලනඥයන් සෙට් එකක්ම සජිත් එක්ක අවුලෙන් ඉන්නවා. ඊට අමතරව හරීන් ප්‍රනාන්දු වගේ අයත් ඉන්නේ කළකිරීමකින් බව අමුතු කතාවක් නෙවෙයි. කුමාර වෙල්ගම වෙනම පක්ෂයක් හැදුවා. හෙළ උරුමයෙන් අයින් වෙලා සමගි ජන බලවේගයේ ලොකු තනතුරක් බාරගන්න හිටපු චම්පික රණවකට හරි පිළිගැනීමක් නොලැබිච්ච නිසා ඔහු තවම ඒ පක්ෂෙ සාමාජිකත්වය අරන් නෑ. ඒ හැරුණාම දෙමළ, මුස්ලිම් පක්ෂ ඉන්නේත් සජිත්ගේ නායකත්වයෙන් සජබ යන ගමන ගැන කළකිරීමෙන්.
අපි මුලින් කියා ඉන්නම් ජලනිගේ කතාව ගැන අපේ අවංක අදහස නම් ඒක ‘සාධාරණ’ නැහැ කියලයි. ජලනිට ඔය එල්ලවෙන චෝදනා ‘බොරු’ කියලා අපි කියනවා නෙවෙයි. අපි ඒවා ‘වැරදියි’, ‘පදනම් විරහිතයි’ කියා කියන්නේ නැහැ. ජලනි පර්ෆෙක්ට් කාන්තාවක් බව අපි හිතන්නේ නැහැ. ඒ වෙනුවට ඇය අඩුපාඩු ගොඩක් තියෙන කෙනෙක්.
එහෙනම් ඇයි ‘විවේචන සාධාරණ නෑ’ කියලා කියන්නේ? අපි ප්‍රශ්න කරන්නේ සජිත් හොඳයි- ජලනි තමයි කන්නේ කියන ජනප්‍රිය අදහස. ඇය කාන්තාවක් වීම, අපේ දේශපාලනයේ තියෙන සුපුරුදු කාන්තාව හෑල්ලු කිරීමේ ලක්ෂණය බොහෝදුරට ජලනිට එල්ලවෙන විවේචන ඇතුළේ ප්ලේ වෙන බව අපි හිතනවා. උදාහරණයක් විදියට කුමාර වෙල්ගම කියන්නේ කාන්තාවන්ට කිසිම ගරුත්වයක් නැති, සාම්ප්‍රදායික පුරුෂ මූලික හාමු චින්තනයෙන් පිරිච්ච නායකයෙක්.
අපි සජිත්ට ගැන ගොඩක් විවේචන තියෙන සමගි ජන බලව්ගයේ ටිකක් ප්‍රගතිශීලී නායකයෙක් එක්ක ඔය ගැන ටික වෙලාවක් විස්තර ඇතිව කතා කළා. ඔහුත් මේ කාරණය පෙන්නලා දුන්නා. සජිත් 2019 කැම්පේන් එක පටන් ගන්නකොට යූඇන්පී ඔෆිස් එකෙන්, සිරිකොතෙන් හරි උදව් ලැබුණේ නෑ. ලැබේවි කියන විශ්වාසය තිබුණේත් නෑ. ඒ නිසා කැම්පේන් ඔෆිස් එක, මුදල් පරිහරණය කිරීම වගේ හැමදේම කරන්න ගත්තේ පෞද්ගලික මට්ටමෙන්.
සජිත් නෙවෙයි, ඕනෑ කෙනෙක් මේ වගේ වැඩකදී වැඩිපුර විශ්වාස කරන්නේ තමන්ගේ පවුල, මිත්‍රයන් ඇතුළු සමීපම අය. ඒ නිසා ජලනි වගේම සජිත්ගේ වෙන පෞද්ගලික මිත්‍රයන් ගණනාවක් මේ කැම්පේන් එකට බැස්සා. ඇත්තටම එදා ඉඳන් සජිත්ගේ පෞද්ගලික කැම්පේන් හැන්ඩ්ල් කරපු අය. එතැනිනුත් එහා ගිහින් 2020 දී සමගි ජන බලවේගය හැදෙනකොට ඒ පක්ෂයටත් හරි තනතුරු, ඔෆිස්, වැඩ රටාවන් නොතිබිච්ච නිසා ඒ පක්ෂයේ පරිපාලනයත් ජලනි ප්‍රමුඛ ‘ඉනර් සර්කල් එකක්’ ඩැහැගත්තා.
අපි කියන්නේ මේක අයිඩියල් තත්වයක් කියලා නෙවෙයි. ඒත්, ඇමෙරිකාවේ බරක් ඔබාමාගේ වැඩවලටත් මිෂෙල් ඔබාමා දායක වෙනවා. බිල් ක්ලින්ටන්ට හිලරි දායක වුණා. එංගලන්තෙ මහරැජිණට කිරීටය තිබුණාට ඇගේ සැමියා ඉන්නතුරු ඔහුටත් භූමිකාවක් තිබුණා. මොකද, ජලනිට වගේම ඔය නම් කීව කිසිවෙක්ට දේශපාලන චරිතයක පාට්නර් වෙන්න සිදුවීම නිසා සාමාන්‍ය රස්සාවක් හෝ බිස්නස් එකක් කරගෙන ඉන්නට පසුබිම හැදෙන්නේ නෑ. තමන්ගේම කියා වෘත්තිය ජීවිතයක්, සමාජ ජීවිතයක් හදාගන්න ඉඩක් නෑ. එයාලාගේ ජීවිතයම ‘අහවලාගේ පාට්නර්’ කියන තැනින් අර්ථකතනය වෙනවා. ඉතින්! එක්කෝ ජලනි කුස්සියේ උයමින් හැංගිලා ඉන්න ඕනෑ. නැත්නම් තමන්ගේ පාට්නර්ගේ වැඩවලට දායක වෙන්න ඕනෑ.
ඒ නිසයි අපි කීවේ ජලනිට එල්ලවෙන විවේචනය සාධාරණ නෑ කියලා. ඇත්තටම සජිත්ගේ අඩුව එන්නේ ජලනි නිසා නෙවෙයි. සජිත් කියන්නේම හරිම දුර්වල දේශපාලන නායකයෙක්. ජලනි හිටියත්, නැතත් ඒ අඩුව එහෙමමයි.
මේ දවස්වල සජිත් කරන දේ දැක්කාද?
සමගි ජන බලවේගය දේශපාලන පක්ෂයක් වෙනුවට ‘සජිත් ප්‍රේමදාස සහන පදනම’ බවට පත් වෙලා. සජිත් ප්‍රේමදාස මිනිස්සුන්ට බඩු බෙද බෙදා යනවා.
ඩේලි මිරර් පත්තරේ තියෙනවා ප්‍රවෘත්තියක්. සජිත් ප්‍රේමදාස මන්නාර්වල අදහස් දැක්වීමකදී කීවාලු අනෙක් පක්ෂවල නායකයන්ට අභියෝගයක් කළාලු තමන් වගේ වැඩ කරන්න කියලා. මිනිස්සුන්ට වැඩ කරලා පෙන්වන්න කියලා.
ඔහු අදහස් කරන්නේ මේ දවස්වල ‘හුස්ම’, ‘සක්වල’ ආදී විවිධ ලේබල් ගහගෙන විවිධ බඩුභාණ්ඩ බෙදමින් ඔහු දාන සංදර්ශන ගැන වෙන්න ඇති. ඒ වගේ සංදර්ශන දාන්න කියලා වෙන්න ඇති. කාගෙන්ද? චම්පික රණවක, අනුර කුමාර දිසානායක හෝ කුමාර් ගුණරත්නම් වගේ අයගෙන්ද ඒ ඉල්ලන්නේ?
ඉස්කෝලෙකට කම්පියුටර් දෙන එක හෝ වෙන මගුලක් දෙන එක මේ වෙලාවේ මාර වැඩක් කියලා ඔහු හිතනවා. මේ වෙලාවේ මිනිස්සුන්ට ඕනෑ බඩුවක් බෙදන එකට එහා ගිහින්, ලංකාව මේ තත්වෙට වැටුණේ ඇයිද කියන ප්‍රශ්නෙට උත්තර. සාමාන්‍ය මිනිස්සුව දේශපාලනයෙන් අන්දපු හැටි කියාදෙන දැනුම මිනිස්සුන්ට ඕනෑ. මිනිස්සුන්ට බඩු බෙදලා ඡන්දෙ ගන්න හිඟන දේශපාලනය වෙනස් කරලා, තමන්ට අවශ්‍ය දේවල් මිනිස්සුන්ට ලැබෙන විදියේ දේශපාලන ක්‍රමයකට වෙනස් වෙන හැටි කියාදෙන දැනුම මිනිස්සුන්ට ඕනෑ.
මේක ඇත්තටම විහිළුවක්. විකාරයක්.
ඔහු ප්‍රසිද්ධියේ කියනවා මම ‘දේශ පාලනය’ නෙවෙයි, ‘දේශ සේවය’ කරනවා කියලා. මොන ලබ්බේ කතාවක්ද ඒ?
හරි! දේශ පාලනය කියලා වචන දෙකක් එක ළඟින් තිබ්බාම ‘රට පාලනය කරනවා’ වගේ අදහසක් හිතට ගන්නවා නං දේශපාලනය කරන්නේ නැහැ කියන ඒක වෙනම කතාවක්.
ඒත් දේශපාලනය කියන්නේ හුදෙක් වචනාර්ථයකට එකක්නේ. දේශපාලනය කියන්නේ හුදෙක් රට පාලනය කිරීමෙන් එහාට ගිය මගුලක්. ඉතින්! මම ‘දේශපාලනය’ කරන්නේ නෑ, දේශ සේවය කරනවා කිය කියා බඩු බෙදමින් සජිත් ප්‍රේමදාස මහතා මේ වෙලාවේ ‘ලුම්පන්ම’ දේශපාලනයක් කරමින් ඉන්නේ.
සාම්ප්‍රදායික බඩු බෙදන පක්ෂ දේශපාලනයක ඔහු ඉන්නේ. ඒත් ඒකෙන් මේ වෙලාවේ රටත්, ලෝකයත් මුහුණදෙන අර්බුදය තොගයට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ.
ඉතින්! එහෙම තියෙද්දී සජිත් හොඳයි, නෝනා තමයි අවු වගේ කතා කීම ඉතාම පහත් වැඩක්. නෝනා ඇඟිලි ගහනවා වැඩියි වගේ කතාන්දර කීම විහිළුවක්.
සජිත් රට වටේ ඇවිදිමින් මහන්සි වෙන බව ඇත්ත. හරියට නිදාගන්නේත් නැතිව මාර විදියට සජිත් මහන්සි වෙනවාලු. ඔහුට වැඩ කිරීමේ විනයකුත් තියෙනවාලු. ඒ වගේම මේ වෙලාවේ මහන්සි වෙන විපක්ෂයේ කිහිපදෙනෙක් ඉන්නවා.
චම්පික රණවකත් මේ වෙලාවේ ඊට නොදෙවනි විදියට මහන්සි වෙනවා. අනුර කුමාර දිසානායකත් ඊට නොදෙවනි විදියට මහින්සි වෙනවා. හුදෙක් නිදිමරන එකත්, මහන්සි වෙන එකත් මත රටේ නායකයා තීන්දු කරන්න බෑ.
සජිත් කියන්නේම මේ වෙලාවේ දේශපාලන තත්වයට විකාර උත්තර බඳින දුර්වලම දුර්වල නායකයෙක්. 2019 දී සජිත් පස්සේ හර්ෂලා, ඉරාන්ලා, ඉමිටියාස්ලා වගේම රන්ජන්ලා ප්‍රමුඛ සජබ හෘදය සාක්ෂියක් තියෙන ටීම් එකක් පෙළගැහුණා. ඒ ඇවිල්ලා රනිල් නායකත්ව පුටුව බදාගෙන කරගෙන ගියා ඒකාධිකාරී පක්ෂ පරිපාලනයට විරුද්ධව වගේම, ඒ වෙලාවේ රටේ හැදිලා තිබුණ මහජන රැල්ලට ටිකක් ‘දේශ හිතෛෂී’ මූණක් තියෙන බහුතර ජනයාව අල්ලන්න පුළුවන් නායකයෙක් ඕනෑ බව හිතූ නිසා.
ඒත්! සජිත්ට ‘බහුතර ජනයා’ අල්ලන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අද තියෙනවා. ඒ වගේම අද දේශපාලන භූ දර්ශනය හෙවත් පොලිටිකල් ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙලා. එදා වගේ දේශීයත්වය, අභිමානය, ස්වෛරීත්වය ආදී මේ රටේ අධිනිශ්චය වෙච්ච හරිහැටි තේරුමක් නැති බහුතර ජනයා අල්ලන මගුල් අදහස් පද්ධතිවලට වඩා මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අර්බුදය විසඳාගන්න නිසි වැඩපිළිවෙලක් පෙන්වන නායකයෙක්. බුද්ධියක් තියෙන, ඒ බුද්ධිය ප්‍රකට කරන, පරිණත නායකයෙක්. ටිකක් තියුණු දර්ශනයක් තියෙන, ඒ බව පෙන්වන නායකයෙක්. ඒ වගේම ටිකක් දරුණු විදියට ඉලක්කයකට කතා කරන්න පුළුවන් තියුණු නායකයෙක්. සටන්කාමී නායකයෙක්.
සජිත් කොහෙත්ම තියුණු නෑ. ඒ වෙනුවට සෑහෙන දියාරු, කිසිම ඉලක්කයක් නැති කතා ඔහු කියන්නේ.
අනුර කුමාර මේ රටේ ආර්ථික දත්ත ආදිය කටපාඩමෙන් කියද්දී මිනිස්සු ඒ තියුණු බව දකින එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින්, විපක්ෂයේ අනෙක් නායකයෝ බඩු බෙදුවාද? කියල අහන එක විකාරයක්. උමතුවක්.
මෙහෙම පසුබිමක සජිත්ට කෙළවන්නේ ජලනි ප්‍රේමදාසවත්, සජිත් වටේට ළංවෙච්ච සුළුතරයක්වත් නෙවෙයි. සජිත්ට කෙළවන්නේ සජිත්ම තමයි. ඒ එක්කම සජිත්ගේ පක්ෂයේ ඉන්න යම් දැනුමක් තියෙන හොඳ දේශපාලනඥයන්වත් හෑල්ලු වෙනවා.