වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් ලැයිස්තුවකට අනුව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතාට පෙරදාතම කර උසස්වීමක් ලබා දී ඇති බව Medialk වෙබ් අඩවිය වාර්තා කර ඇත.
පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව මහතාට එලෙස පෙරදාතම කර උසස්වීමක් ලබා දී ඇත්තේ ඔහු ප්‍රධාන චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාර නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ දිනයට පෙර දිනයේ වීම විශේෂත්වයකි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව ඊයේ (06) දහවල් 11ට ලබාදීමට නියමිතව තිබිණි. ඒ අනුව ජනමාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ අංක 06 ශාලාව අසල රැස්ව සිටියහ. දහවල් 11.10ට පමණ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවිණි. චූදිතයන් දෙදෙනා වූ පොලිස් පරීක්ෂක එම්.රංගජීව නෙවමාල් සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවේ තීන්දුව අවසන් වුවත්, එහි යතුරුලියන දෝෂ ආදිය නිවැරදි කළ යුතු වන නිසා ඊයේ දිනයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය. එම නිසා නඩුවේ තීන්දුව ලබාදීම ජනවාරි 12 වැනිදා පස්වරු 1.30 වන තෙක් කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබියදී පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් රංගජීව නෙවමාල් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ නියෝගය ජනවාරි 05 නිකුත් කළේය. රංගජීව මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇත්තේ 2020 ජනවාරි මස පළමු වැනිදා වන සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකකට පෙරදාතම කරමිනි. උසස්වීමේ නියෝගය නිකුත් කළ දිනයේ සිට එම තනතුර ස්ථිර උසස්වීමක් සේ සැලකීමටත්, ඊට අදාළ වැටුප් සකස් කිරීමටත් පොලිස්පතිවරයා අදාළ අංශවලට දැනුම් දී තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන සිදුවූයේ 2012 නොවැම්බර් මස 09 වැනිදා ය. සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා සැකකරුවන් දෙදෙනා (රංගජීව සහ එමිල් රංජන්) අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වසරේ මාර්තු 28 වැනිදා ය. ඔවුන්ට ඇප ලබාදීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළ අතර, ඉන් අනතුරුව අභියාචනාධිරණයට යොමු කළ ප්‍රතිශෝධන පෙත්සමක් අනුව 2018 සැප්තැම්බර් මස 27 වැනිදා රංගජීව මහතා ඇප මත මුදා හැරිණි.
ඒ වන විට රංගජීව මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකම ගොඩනැගිල්ලක පැවති අතර, රංගජීව මහතා එම ගොඩනැගිල්ලේ ම රාජකාරි කිරීම නිසා විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඔහු ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කරමින් 2018 දෙසැම්බර් මස 19 වැනිදා පොලිස් මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා විශේෂ දුරකතන පණිවුඩයක් නිකුත් කළේය.
රංගජීව මහතාට මහාධිකරණයේ අධිචෝදනා බාරදීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ඔහුගේ වැඩ තහනම් කළේය. මේ වැඩතහනම සම්බන්ධයෙන් ඔහු විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනා කරනු ලැබීමෙන් අනතුරුව 2019 දෙසැම්බර් 19 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව එම වැඩතහනම ඉවත් කර කොන්දේසි සහිතව සේවයේ පිහිටුවීමට තීන්දු කළේය. එම තීන්දුව අනුව රංගජීව මහතා යළි සේවයේ පිහිටුවීමට 2019 දෙසැම්බර් 26 වැනිදා පොලිස් විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අදාළ අංශවලට දැනුම් දුන්නේය.
ඔහු නැවත සේවයේ පිහිටවනු ලැබුවේ විධිමත් විනය පරීක්ෂණයට හා අධිකරණ ක්‍රියාවලියට යටත්ව වන අතර, වැඩතහනම් වූ කාලයට අදාළ ව හිඟ වැටුප් ගෙවීම විනය පරීක්ෂණයෙන් පසුව සිදුකිරීමට ද දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත් මහාධිකරණයේ නඩු තීන්දුව ලබාදීමට පෙර, එනම් ජනවාරි (06) රංගජීව මහතා පෙරදාතම කර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
2012 නොවැම්බර් 09 වැනි සිකුරාදා කොළඹ, වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත කොට සිරකරුවන් සමූහ ඝාතනය කිරීමේ අපරාධයට දැන් අවුරුදු නවයකි. 2015 මාර්තු මාසයේ දී සුදේෂ් නන්දිමාල් නමැත්තකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් තමන් මේ සිද්ධියේ ඇසින් දුටු සාක්කිරුවකු බවත්, ඊට අදාළ පරීක්ෂණ කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඒත් කිසිවක් සිදු වූයේ නැත. ඉන්පසු ඔහු 2017 මැයි මාසයේ දී මේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස බල කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.
සම්පූර්ණ වාර්තාව කියවන්න