ඔබ දන්නවද? යම් ෆිල්ම් එකක කොච්චර අඩුපාඩු තිබුණත්, විචාරකයෝ කොච්චර ඒ අඩුපාඩු පෙන්නුවත්. මිනිස්සු ඒවා ගණන් නොගෙන ෆිල්ම් එක ආදරෙන් බදාගෙන, වැළඳගෙන ඒක විඳින අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
පුෂ්පා – ද රයිස් කියන්නේත් ගොඩක් පැතිවලින් අඩුපාඩු තියෙන, සිනමාව කලාවක් විදියට අරන් කල්පනා කළොත් සෑහෙන නරක ගති ලක්ෂණ තියෙන චිත්‍රපටියක්. බාහුබලී, කේජීඑෆ් වගේ දකුණු ඉන්දියාවේ බිහිවෙලා, මුළු ඉන්දියාවම කළඹපු දැවැන්ත සිනමා නිර්මාණවලට සමාන තවත් වැඩක්.
ඒත්… 2021 අග සහ 2022 අවුරුද්ද මුල ඉන්දියාව කළඹන චිත්‍රපටිය වුණේ පුෂ්පා – ද රයිස් තෙලුගු ෆිල්ම් එක. අපි කතා කරන්නේ, තමන්ගේ අඩුපාඩු වහගෙන මිනිස්සුන්ගෙ හිත දිනාගන්න ෆිල්ම් එක සමත් වුණේ කොහොමද කියලා. හරියටම කීවොත් මේ ෆිල්ම් එක අපව මෝහනය කළේ කොහොමද කියලා.
තෙලුගු සිනමාවේ ඉන්න ලොකුම තරුවක් වන අල්ලු අර්ජුන් රඟපාන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයා තෙලුගු සිනමාවේ දැවැන්තම තරු අධ්‍යක්ෂවරයෙක් වන සුකුමාර්.
අල්ලු අර්ජුන් සහ සුකුමාර් 2004 දී ආපු ආර්යා කියන චිත්‍රපටියෙන් ගොඩක් ප්‍රසිද්ධ වුණා. සිංහලෙන් ආදරයේ නාමයෙන් හෙවත් ෆීල් මයි ලව් කියලා සවුත්තු රීමේක් එකක් කළේ, දෙමළෙන් ධනුෂ් රඟපාන කුට්ටි කියන ඩීසන්ට් රීමේක් එක කළේ ඔය ආර්යා ෆිල්ම් එක ඇසුරෙන්. ඒකේ දෙවැනි කොටස 2009 දී කළා. ඊට පස්සේ අල්ලු අර්ජුන් සහ අධ්‍යක්ෂ සුකුමාර් එකතු වෙන්නේ මේ ෆිල්ම් එකේදී.
ඔය අතරමැද්දේ සුකුමාර් තෙලුගු සිනමාවේ මහේෂ් බාබු, එන්ටීආර් ජූනියර් සහ රාම් චරන් වගේ ලොකු ලොකු නළුවන් එක්ක 100 ප්‍රසන්ට් ලව්, රංගස්තාලම් වගේ ජනප්‍රියම ෆිල්ම් ගණනාවක් කළා. කොහොමහරි කතාව මේකයි. සුකුමාර් ලොකු නළුවන්ව අරගෙන, ඒ නළුවන්ව පාවිච්චි කරලා විශිෂ්ඨ කතාවක් තියෙන ෆිල්ම් එකක් ලියන්නට පුළුවන් දක්ෂයෙක්. ගොඩක් වෙලාවට ලොකු නළුවො ඉන්න ජනප්‍රිය තෙලුගු ෆිල්ම් බලන්න වෙන්නේ තර්ක බුද්ධිය සම්පූර්ණයෙන් ඕෆ් කරලා. ඒත්, සුකුමාර්ගේ ෆිල්ම්වල ටිකක් ගැඹුරු, සංකීර්ණ කතාවක් තියෙනවා. එයාගේ වීරයන් පරිපූර්ණ අය නෙවෙයි. එක්කෝ අනාථයි. නැත්නම් කන් ඇහෙන්නේ නැහැ. නැත්නම් වෙන දුර්වලතාවක් තියෙනවා. මොකක්හරි අඩුවක් තියෙනවා. ආර්යා ෆිල්ම් එකේ වීරයා කෙල්ලෙක්ට ලව් කරද්දී ඒ කෙල්ල වීරයාට දැඩිව වෛර කරනවා.
පුෂ්පා ද රයිස් චිත්‍රපටිය පැත්තට හැරෙමු. මේකේ තියෙන ප්‍රධාන විශිෂ්ඨත්වය තමයි වෙනම ලෝකයක් නිර්මාණය කිරීම. මේක අපි එදිනෙදා දකින ස්මාට්ෆෝන් තියෙන නූතන නාගරික සහ ගැමි සමාජය නෙවෙයි. මේක අනූ ගණන්වල වගේ කාලෙක, මහා ගණ කැළෑ ගම්මානයක කතාවක්. ලෝකෙ වෙන තැන්වල නැති රත් හඳුන් ගස් හොරෙන් කපලා ප්‍රවාහනය කරන ගම්මානයක්. රත්තරන් වගේ දැවැන්ත මුදලකට මේ ලී කොටන් විකිණෙද්දී, ඒ ගම්වල පොලීසියත් එක්ක සාමාන්‍ය මිනිස්සු හැප්පෙනවා.
පුෂ්පා කියන්නේ සාමාන්‍ය කම්කරුවෙක්. ‘අනාථ’ කෙනෙක් වෙච්ච නිසා තවත් පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක්. ඒත්! කොච්චර පීඩා වින්දත් ලොකු මාන්නයක්, අභිමානයක්, ආඩම්බරයක්, උද්දච්චකමක් තියෙන පොරක්. කම්කරුවා වුණත් කකුල පිට කකුල දාගෙන ඉන්නේ. ඒ වගේම ඔහුට පොලීසියෙන් බේරෙමින් රත්හඳුන් ජාවාරම කරන හැටි හොඳට තේරෙනවා.
එක වෙලාවක මිනිහට හිතෙනවා ලක්ෂ දහයක් හම්බ කරන්න. ඒ වෙනුවෙන් පළවැනි වතාවට තමන්ගේ ජාවාරම්කාර, බිස්නස් ලොක්කන් එක්ක පෑහෙන්න පටන් ගන්නවා. කම්කරුවා ටිකෙන් ටික ඉහළට යන්න ගන්නවා. එකිනෙකට වෙනස් දරුණුම දරුණු ජාවාරම්කාරයන් එක්කයි මිනිහාට හැප්පෙන්න වෙන්නේ.
දෙවැනි කාරණේ තමයි ඔහුගේ තාත්තාගේ දෙවැනි ප්‍රේමයකින් තමයි ඔහු ඉපදිලා ඉන්නේ. ඒ නිසා තාත්තාගේ කලින් කසාදේ ළමයි, වාසගම පාවිච්චි කරන්නවත් දෙන්නේ නෑ. ඉතින්! ඔහුට අභිමානය ගැන කේස් එකකුත් තියෙනවා.
ආ.. ඒ අතරේ ඔහු කෙල්ලෙක්ට ලව් කරනවා. ඒ කෙල්ලට සල්ලි දීලා කිස් එකක් ගන්නත් ට්‍රයි කරනවා.
අපි ෆිල්ම් එක රසවින්දේ ඇයිද කියා තවදුරටත් පැහැදිලි කරන්න යන්නේ.
ඒත් ඊට කලින් ෆිල්ම් එකේ අපිත් දැකපු, විචාරකයන් පෙන්වාදුන්න අඩුපාඩු ලිස්ට් එක දිගෑරලා ඉන්නම්.
පුෂ්පා ද රයිස් කියන්නේ හොඳ කතා සංකල්පයක් මත පදනම් වුණත්, සුකුමාර්ගේ ලෙවල් එකෙන් ගත්තාම ස්ටෝරි එකේ, ප්ලොට් එකේ සහ ඒක නිර්මාණයකට හැරවීමේ ක්‍රියාවලිය ඇතුළේ දුර්වලතා තියෙන වැඩක්. එක වැරැද්දක් කිවොත්, අනවශ්‍ය සබ් ප්ලොට් ගණනාවක් තියෙනවා. සමහර සීන් අවශ්‍යම නෑ. එඩිටින් මාර දුර්වලයි. ඒ කියන්නේ ෆිල්ම් එකේ දර්ශනයකින් දර්ශනයට පනිනවා කිසිම රිදම් එකක් නැතිව. ෆිල්ම් එක එකිනෙකට වෙනස් රිදම්වලට, මූඩ්වලට කට් වෙන්නේ අවුල් විදියට. ඒ කියන්නේ හොඳට නර්තන සැලසුම් කරපු සිංදුවක් අස්සේ එකපාරම වෙනස් මූඩ් එකක ඩයලොග්වලට මාරු වෙනවා. ඒ සිංදුවේ රිදම් එකට නොගැලපෙන විදියට.
ඒ වගේම සමහරවිට වීරයාගේ පෙම්වතියගේ චරිතයට සලකලා තියෙන විදිය, වීරයාගේ සමහර හැසිරීම් පවා ප්‍රශ්නකාරීයි. කොටින්ම කීවොත් වීරයා සල්ලිවලට කෙල්ලගෙන් කිස් එකක් ගන්න උත්සාහ කිරීම ටිකක් තිත්ත රසයක් නරඹන්නාගේ කටේ රඳවනවා. අල්ලු අර්ජුනි විශිෂ්ඨ රඟපෑමක යෙදුණත් සමහර නළුවන්ගේ රඟපෑම් මදි. දුර්වලයි.
ඒ සියල්ලට වඩා චිත්‍රපටිය පැය තුනක් දිගයි. මතක තියාගන්න! මේ ෆිල්ම් එක ඇවිල්ලා ‘ද රයිස්’ හෙවත් කම්කරුවෙක් වෙච්ච පුෂ්පා ජාවාරම්කාර ව්‍යාපාරිකයෙක් දක්වා නැගී ඒම කියන තීම් එකට හදපු පළවැනි ෆිල්ම් එක. දෙවැනි ෆිල්ම් එකේ නම පුෂ්පා – ද රූල්. ඒ කියන්නේ පුෂ්පා ජාවාරම්කාර ව්‍යාපාරික රජෙක් විදියට පවතින හැටි දෙවැනි ෆිල්ම් එකේ තියේවි. සමහරවිට පුෂ්පා – ෆෝල් කියලා තුන්වැනි එකකුත් හැදෙයිද දන්නෑ.
බාහුබලි සහ කේජීඑෆ් ෆිල්ම්වලින් පස්සේ අලුත් ස්ටයිල් එකක්නේ අති දැවැන්ත බජට්වලින් හදන ෆිල්ම් කොටස් දෙකතුනකට ප්ලෑන් කරන එක.
මේ මොන සිනමාත්මක අඩුපාඩු තිබුණත්, ෆිල්ම් එක ප්‍රේක්ෂකයන්ගේත් අපේත් හිත පුරවනවා. ප්‍රධානම හේතුවක් තමයි වෙනම ලෝකයක් නිර්මාණය කරපු හින්දා. බාහුබලී චිත්‍රපටියේ තියෙන රජ කාලේ පසුබිම, කේජීඑෆ් චිත්‍රපටියේ තියෙන පාතාල, අපරාධ ලෝකයේ පසුබිම වගේම පුෂ්පා – රයිස් ෆිල්ම් එකේත් දූවිලි වැදිච්ච, කැලෑවලින් පිරිච්ච, ආයුධ සහ අපරාධ පිරිච්ච අවනීතිය රජකරන වෙනම ලෝකයක් හදලා තියෙනවා.
නිකං වීඩියෝ ගේම් ලෝකයක් වගේ. ඔය හොලිවුඩ්වල සමහර ෆිල්ම්වල තියෙන ෆැන්ටසි ලෝකයක් වගේ.
රත්හඳුන් ජාවාරම නීතියෙන් තහනම් වුණාට, පොලීසිය පවා පැන්නුවාට පුෂ්පා මුලින්ම ඉන්න ලෙවල් එකේ කම්කරුවන්ව පැහැදිලිව පෙන්වන්නේ නීතිවිරෝධී වැඩ කරන ජාවාම් කල්ලියක එවුන් විදියට නෙවෙයි. පතලක, ඉදිකිරීමක හෝ වෙන ඕනෑ තැනක වැඩකරන තවත් ඕනෑම කම්කරුවෙක් වගේ අහිංසක කෙනෙක් තමයි මේ ජාවාරමේ ඉන්න කම්කරුවාත්. එයාලාට පොලීසියෙන් බේරීම කියන්නේ, තමන් ඉන්න හතුරු බලවේගයක් එක්ක සටන් කරනවා වගේ දෙයක්. නැත්නම් තමන් වැරැද්දක් කරන්නේ, පොලීසිය නීතිය රකින්න යනවා වගේ මානසිකත්වයක් හැදෙන්නට කිසිම හේතුවක් ඒ කම්කරුවන්ට නෑ. අන්න ඒ නිසයි, මුලින්ම පුෂ්පා එක්ක හැප්පෙන නීතිය රකින්න උත්සාහ කරන අවංක පොලීස් නිලධාරියා වුණත් පුෂ්පාගේ ලෝකෙ හැටියට ‘නරක දුෂ්ඨයෙක්’ වෙන්නේ.
ඇත්තටම මේකේ ජාවාරම්කාර, අපරාධකාර, නපුරු විදියට ක්‍රියාත්මක වෙන්නේ කම්කරු ලෙවල් එක නෙවෙයි. ඊට ඉහළින් ඉන්න ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ ලෙවල් එක. පුෂ්පා කම්කරු ලෙවල් එකේ ඉඳන් යන්නේ ඒ අපරාධකාරී ලෙවල් එකට.
මේක අපේ සමාජයන් ගැන මාර ලස්සන කියවීමක්. නිකමට හිතන්න. ඔය තහනම් පන්න ක්‍රමවලින් මාළු අල්ලන අය ඉන්නවානේ. ඩයිනමයිට් දානවා. නැත්නම් ට්‍රෝලර්වල යනවා. ඒවායේ ඉන්න කම්කරු ලෙවල් එකේ සාමාන්‍ය මිනිස්සු අහිංසකයිනේ. වැලි ජාවාරම්වල ඇමතිලා බලපත්‍ර තියාගත්තාට, දවසෙ පඩියට වැලි ගොඩදාන කෙනාට අනුව ඒක රස්සාවක්නේ. ගංජා හේනක හෝ වෙන ඕනෑ අපරාධයක පහළ ලෙවල් එකේ ඉන්න අයගේ ලෝකය මොකක්ද?
ඒකේ අනෙක් කෑල්ල තමයි ජාවාරමක් වුණත්, නිත්‍යානුකූල බිස්නස් එකක් වුණත් පහළම කම්කරුවා, මුල් අතරමැදියා, ඊට ඉහළ ඉන්න ව්‍යාපාරිකයා ආදී වශයෙන් එක එක ලෙවල්වල අය හම්බ කරන මුදල. ලෙවල් එකෙන් එක ඉහළට යද්දී හිතාගන්න බැරි තරම් ගාණ වෙනස් වෙනවා. ලංකාවේ හාල් සහ එළවළු බිස්නස් පවා එහෙමනේ. ගොවියා හම්බකරන ගාණ, අතරමැදියා හම්බකරන ගාණ ආදී වශයෙන්. ඇයි වික්ටෝරියා සීක්‍රට් ලෙවල් එකේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්වල මහන කෙල්ලගේ ඉඳන් මහා සැප විඳින සීඊඕ දක්වා හම්බකරන ගාණ.
මෙන්න මේ සමාජ තත්වයන් චිත්‍රපටිය ගාණට අල්ලගන්නවා.
පුෂ්පා ඇත්තටම කරන්නේ තමන් කැලෙන් කපන රත්හඳුන්වල වටිනාකම දැනගෙන ඒකේ වටිනාකම අනුන්ට පුදන්නේ නැතිව තමන්ගෙ අතට ගන්න දඟලන එක.
අනෙක් පැත්තෙන් අල්ලු අර්ජුන් පවා ක්ලීන් තරුණ ආකර්ෂණීය, ග්ලැමරස් වීරයෙක් වෙනුවට කම්කරු වැඩ කරලා රළු වෙච්ච, වැඩ කරලාම කොණ්ඩා, රැවුල් හැඩි වෙච්ච චරිතයක් මාර ලස්සනට රඟපානවා. ඔහු කතා කරන විදිය, හැරෙන විදිය පවා අර සුපිරියට ඩාන්ස් කරන අල්ලු අර්ජුන්ට වඩා වෙනස්. ෆිල්ම් එකේ අන්තිම හරියේ තමයි ප්‍රධාන දුෂ්ඨයා වන ෆාහාද් ෆාසිල් එන්නේ. එක පොඩි දර්ශනයකට විතරක් ෆාහාද් ෆාසිල් කැපී පෙනුණත්, ෆිල්ම් එක පුරා කැපී පේන චරිතය තමයි අල්ලු අර්ජුන්ගේ පුෂ්පා. සම්පූර්ණයෙන්ම වෙනස් ඇන්ටිහීරෝ කෙනෙක්ව පෝෂණය කරනවා මුළු ෆිල්ම් එකම. ඇන්ටිහීරෝ කියන්නේ මිනිහා ගුටි කන්න බය නෑ. මැරෙන්න බය නෑ. තමන්ටම වෙඩි තියාගන්න වුණත් බය නෑ.
නීතිවිරෝධී වැඩ කරන, බලවතුන් ළඟ යට නොවෙන, තව විනාඩියකින් මැරුණත් කමක් නෑ කියලා හිතන පුෂ්පාට තමයි මිනිස්සු ලව් කරන්නේ. පැය තුනක් බලා හිටියා තමයි. අඩුපාඩු ගොඩක් තිබුණා තමයි. ඒත් ඒවා සතපහකට වැඩක් නෑ, පුෂ්පාව සහ මේ චිත්‍රපටියේ ලෝකය අපේ හිතේ සනිටුහන් වෙන විදිය නිසා.
ඒ වගේම මේ චිත්‍රපටියේ සමහර දෙබස් එහෙම හරිම තියුණුයි. මේක පටන් ගන්නේම රත් හඳුන්වල ගමන් මාර්ගය පෙන්නලා. ‘පොලිස් ජිප් එකක් පස්සෙන් එළෙව්වොත් හොරෙක්. ඒ පොලිස් ජිප් එකම ඉස්සරහෙන් ගියොත් රජෙක්.’ වගේ ඩයලොග් තියෙනවා. අන්තිම හරියේ ෆාහාද්ගේ පොලිස් චරිතය පුෂ්පාට කියනවා එකම වගේ ඇඳුම් ඇන්දාට එකක් බ්‍රෑන්ඩඩ්, අනෙක ලෝකල් කියලා ඩයලොග් එකක්. ඒත්! ඒකට උත්තර විදියට පුෂ්පා ඊට පස්සේ දෙනවා ඩයලොග් එකක්, ඇඬෙන්න.
තැන් කිහිපයකම පුෂ්පා කියනවා තවත් මරු අදහසක්. ‘හිතන්නෙපා පුෂ්පා කියන්නේ මලක් කියලා. පුෂ්පා කියන්නේ ගින්දර.’ ඒක ඇත්ත. ‘පුෂ්පා’ කියන සිනමා ගින්නට ඉන්දියාවේම සිනමා රසිකයන් ඇවිලුණා.