ජනපති, අගමැති, පෝට් සිටිය! චීන විදෙස් ඇමති තම රටට අයත් දේපළ සහ යටත්වැසියන් නිරීක්ෂණය කරයි

චීන විදේශ ඇමති වැන්ග් යී ජනවාරි 09 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ පෝට් සිටිය යන චීනය සතු දේපළ සහ එහි යටත් වැසියන් නිරීක්ෂණය කරන්නට නියමිතයිලු.

වැන්ග් යී මහතා ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියා, ඔහුව පිළිගත්තේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ. මේ වෙද්දී නාමල්ව චීනයේ ඉහළම නිලධාරීන් එක්ක සමීප සම්බන්ධතා හදා දෙන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගණනාවක් ගෙන ඇති බව කොහොමත් දේශපාලන ආරංචිමාර්ගවලින් කියැවෙනවා.

චීන අගමැති ශ්‍රී ලංකාවට එන්නට මෑත කාලයේ කතාබහක් තිබුණාට, ඒක නතර වුණා. චීනෙ අපිව එච්චරම තකන්නේ නැති පාටක් ආවා. ඒ අස්සේ ලංකාව ඉන්දියාවට ළං වුණා. ඔය සියල්ල මැද තමයි චීන විදේශ ඇමති ලංකාවට එන්නේ.

ඔහු පෝට් සිටියේ විනාඩි 30ක විතර සංචාරයක් කරනු ඇති. මෙම සංචාරයට පදනම බව කියැවෙන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර වසර 65ක තානාපති සම්බන්ධතා සැමරීම. ඒ වගේම අවුරුදු 70ක් පැරණි රබර්-සහල් ගිවිසුමක් සැමරීමටලු.

චීන විදේශ ඇමතිවරයා ජනවාරි 04 වැනිදා සිට චීනෙට යටවෙලා කියලා ලෝකෙම කියන රටවල් පහක සංචාරයකට පිවිසියා. ශ්‍රී ලංකාව ඔහුගේ අවසන් ගමනාන්තය. එරිත්‍රියාව, කෙන්යාව, කොමොරොස් දූපත, මාලදිවයින් දූපත් සහ ශ්‍රී ලංකාව ඔහුගේ නව යටත්විජිත නිරීක්ෂණ ගමනාන්ත පහ වුණා.

චීන විදේශ ඇමතිවරයාගේ ගමනට සමගාමීව ලංකාවේ අපි, ඩොලර් නැති වෙලාවක මහජන බැංකුව හරහා විසබීජ සහිත බාල පොහොර තොගේකට සල්ලි ගෙවීමත් සිද්ධ කළා. ඩොලර් මිලියන 6.9ක්. මෙය සිද්ධ වුණේ, කොළඹ වාණිජ උසාවිය ඉස්සරහට ගිහින් චීනෙට සල්ලි ගෙවන බව කියලා අධිකරණයෙන් පවා ඒකට ඉඩකඩ හදාගැනීමෙන් පස්සේ. ඕනෑ නම් අධිකරණ තීන්දුව පෙන්වාදෙමින් මුදල් නොගෙවා සිටීමේ හැකියාවත් ශ්‍රී ලංකාවට තිබුණා. ජාත්‍යන්තර අධිකරණයකට යෑමේ හැකියාවත් තිබුණා.