‘චන්ඩිගාර් කරේ ආශිකී’ ෆිල්ම් එක අලුතෙන්ම ආපු ආයුෂ්මන් කුරානා චිත්‍රපටිය. අපට මේක ෆිල්ම් හෝල් එකේ බලන්න බැරි වුණාට, නෙට්ෆිල්ක්ස් ආවාට පස්සේ බලන්න ලැබුණා. 2020 දී ආපු ආයුෂ්මන් රඟපෑ ෆිල්ම් දෙකම ගැන සෑහීමට පත් නොවූ නිසා ටික දවසක් තිස්සේම ආයුෂ්මන් කුරානා ෆිල්ම් එකක් බැලුවේ නෑ කියන හැඟීම යටිහිතේ තිබුණා. ඒ අතරේ තමයි මේක බලන්න ලැබුණේ.
ඉතින්! ආයුෂ්මන්ගේ චිත්‍රපටියක් බැලීමේ සතුටත් එක්ක අපි කතා කරනනේ චන්ඩිගාර් කරේ ආශිකී ෆිල්ම් එකේ මතුපිටින් නොපෙනුණ කතාව ගැන.
සරලව බැලුවොත් මේකේ පණිවිඩය සරලයි. තවමත් නොබලපු කෙනෙකුගේ රසයට හානි නොවෙන විදියට කීවොත් හෙම, මේකේ තියෙන්නේ සංක්‍රාන්ති ලිංගික කෙල්ලෙක් එක්ක ප්‍රේමයෙන් බැඳෙන සාම්ප්‍රදායික අදහස් තියෙන ගැමි කොල්ලෙක් ගැන. කෙල්ලගේ චරිතය රඟපාන්නේ වානි කපූර්. කොල්ලා තමයි ආයුෂ්මන් කුරානා.
මේකේ එක පැත්තකින් තියෙන්නේ කොල්ලා ජීවිතේට අහලා නැති සංක්‍රාන්ති ලිංගික කතාවක් කොහොමද එක්සෙප්ට් කරන්නේ කියන එක. ඌම කියන විදියට සාමාන්‍ය රජයේ ඉස්කෝලවල හැදී වැඩුණ ඔහුට කොහෙද ඕක තේරුම් ගන්න අවශ්‍ය සමාජ දැනුමක්.
අනෙක් පැත්තෙන් කෙල්ලගේ කතාව. තමන් කවුද කියන එක බාරගන්න ලෑස්ති නැති, තවත් එක සාම්ප්‍රදායික කොල්ලෙක්ව බාරගන්නේ කොහොමද කියන එකත්, අම්මා ඇතුළු තමන්ගේ පවුලේ අයට පවා මූණ දෙන්නේ කොහොමද කියන එක ඇගේ කතාව. ඇයට සල්ලි අඩුවක් නෑ. ඒත්! ඇයව බාර නොගන්නා සමාජයක් එක්ක හැප්පෙන එක ඇයට ලොකු ජිවිත අරගලයක්.
‘මම පිරිමියෙක් නෙවෙයි. ගැහැණියක්. උපදිනකොටම එහෙමයි.’ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් කියන්නේ එහෙම. ඒත්, අනෙක් පැත්තට සමාජය ඇගෙන් අහන්නේ උඹ එකපාරම ගෑණියෙක් වෙන්න හිතුවේ ඇයි? කියලා. ඇය තමන්ගේ පැත්තෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන හැම වෙලාවේම ඒකට ඇහුම්කන් නොදී පෙම්වතුන්, අම්මලා ආදී අය එයාලාගේ වෙනම ප්‍රශ්නයක් ගැන කියනවා. ගෞරවයට කෙලෙසෙනවාලු.
ඉතින් ඔය නිසා, සංක්‍රාන්ති ලිංගික කෙනෙක්ට හදවතින් ආදරය කරමින් එයාලා එක්ක ජීවිතේ බෙදාගන්න උත්සාහ කරන අය මේ සමාජයේ අඩුයි. සමහරු හිතන්නේ සංක්‍රාන්ති ලිංගික අය ලිංගික භාණ්ඩ කියලා. නැත්නම් එහෙම අයට ඕනෑ සෙක්ස් විතරක් කියලා. සාමාන්‍ය හැඟීම් තියෙන මනුස්සයෙක් විදියට, විශේෂයෙන් කෙල්ලෙක් විදියට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බාරගන්න ගොඩක් අය ලෑස්ති නෑ.
කොහොම නමුත් සංක්‍රාන්ති ලිංගික කාන්තාව කියන තේමාවෙන් එහාට ගිහින්, මේ චිත්‍රපටියේ ඊට යටින්, ඊට එහා ගිය පණිවිඩයකුත් තියෙනවා. ආදරය කරන ඕනෑ කපල් එකකට විතරක් නෙවෙයි, සමාජය ඇතුළේ අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න ඕනෑ කෙනෙක්ව බාරගන්න ලෑස්තිද නැද්ද කියන එක. සංක්‍රාන්ති ලිංගිකයෙක් නෙවෙයි, යම් ආබාධයක් තියෙන කෙනෙක් හෝ වෙනස් ජාතියකට අයිති කෙනෙක් වුණත් බාර ගන්න ලෑස්ති නැති සමාජයක් මේ. සමහරවිට වයස් පරතරයක් නිසා, උස වැඩි නිසා, හම කළු නිසා, ශරීරයේ යම්කිසි ඇදයක් තියෙන නිසා, නැත්නම් වෙනත් කුමන හෝ කාරණයක් නිසා ප්‍රේම සම්බන්ධතා රිජෙක්ට් වෙනවා. සමහරවිට එක ඔෆිස් එකට එන වෙනත් ජාතියකට අයිති කෙනෙක්ට අපි සමීප නොවෙන්නේ ඒ කෙනා ගැන වෙනස් ඇහැකින් බලන හින්දා.
ඒ තමයි අපේ සාම්ප්‍රදායික සමාජය. එයාලාට ඕනෑ ‘සාමාන්‍ය සම්බන්ධතා.’ ආයුෂ්මන් මේකෙදී කෑගහලා කියන්නේ මට ‘සාමාන්‍ය ජීවිතයක් ඕනෑ.’ කියන එක.
කොහොම නමුත් මේකේ අනෙක් කෑල්ල තමයි ෆිල්ම් එකේ තියෙන ලස්සන රූපරාමු එක්ක ගැටගැහිච්ච සිනමාත්මක අත්දැකීම. වානි කපූර්ගේ පෙනුම, ශරීර හැඩය පුදුමාකාර ලස්සනකින් කැමරාවට අහු වෙනවා. ආයුෂ්මන් සෑහෙන මහන්සි වෙලා හදාගත්ත ඇඟත් එක්ක ලස්සන තරුණ කොල්ලෙක් විදියට ඔහු මතු වෙනවා.
ඇත්තටම මේ ආයුෂ්මන් කුරානාව මෑත කාලයේ හිට් කරපු ෆිල්ම් ස්ටයිල් එක ගුණාත්මක, සිනමාත්මක ස්ටයිල් එකක් නෙවෙයි. ඒ කියන්නේ ‘ගුණාත්මක ෆිල්ම්’ කියලා විචාරකයන් දකින ප්‍රභේදයට මේක අයිති නෑ. සුපුරුදු හින්දි සිනමාව වගේම මැජිකල්, වෛවර්ණ, ග්ලැමරස් ලෝකයක් තමයි මේකේ හදන්නේ. අධිවේගයෙන් රූප මාරු වෙනවා. මියුසික්, ගීත වගේම කතාවේ අන්තිමට ‘සතුටුදායක අවසානයක්’ මේ ගොඩක් ඒවායේ තියෙනවා. සුපුරුදු ලෙස කොල්ලා හරි කෙල්ල හරි හැඟීම්බරව කියන ඩයලොග් එකකින් පස්සේ අනෙක් අය ‘සියල්ල තේරුම් ගන්නවා.’ කෙල්ලව දැක්කාම කොල්ලා මැජිකල් පවර් එකකින් වගේ දේවල් කරනවා. අන්තිම තප්පරේ දුවගෙන දුවගෙන කොල්ලා ඇවිත් කෙල්ලව දිනනවා. නැත්නම් ඒකේ අනෙක් පැත්ත සිද්ධ වෙනවා.
මේ චිත්‍රපටියෙන් ගත්තොත් වානි කපූර් උදේ නින්දෙන් නැගිටින්නේත් මේකප් තට්ටු උලාගෙන. ආයුෂ්මන් මධ්‍යම පාන්තික සාමාන්‍ය පවුලක කොල්ලෙක් වුණාට මොඩල් කෙනෙක් වගේ වෛවර්ණ ඇඳුම් අඳින්නේ.
ඉතින් ආයුෂ්මන් රඟපෑ ආටිකල් 15, අන්දාදුම් වගේ එකක් දෙකක් හැරුණාම ගොඩක් ෆිල්ම් අයිති වෙන්නේ දශක ගාණක් තිස්සේ බොලිවුඩ්වල රජ කරපු කොමර්ෂල් රොම්-කොම් හෙවත් රොමෑන්ටික් කොමඩි සිනමාවටමයි. වෙනසට තිබුණේ කලින් බොලිවුඩ් ෆිල්ම්වල පිවිතුරු ප්‍රේමය, පවුල ඇතුළේ ආදරය, සදාචාරය වගේ සීමා කිහිපහක හිර වුණා. ඔවුන් සමාජයට අභියෝග කළා නම් කළේ කුල භේදය වගේ ප්‍රශ්නවලදී විතරයි.
ආයුෂ්මන්ලාගේ චිත්‍රපටිවලදී වුණේ ඒ ආකෘතියම සැබෑ මහපොළොවේ ප්‍රශ්නවලට සම්බන්ධ කරපු එක. ඇත්තටම ඒක ආයුෂ්මන් නෙවෙයි පටන් ගත්තේ. 2009 ත්‍රී ඉඩියට්ස් සාර්ථකත්වය බොලිවුඩ්වල ලොකු වෙනසකට පදනම වුණා. කොහොම නමුත් ආයුෂ්මන් මේ වගේ සමාජයේ කතා කරන්න බය ප්‍රශ්න ගැන කතා කරපු කොමඩි-කොමර්ෂල් සිනමාවකින් තමන්ගේ සම්පූර්ණ වෘත්තිය ජීවිතය හදාගත්තා.
මේ ටික කීවේ ආයුෂ්මාන්ගේ මේ ගමන පටන්ගත්ත විකී ඩෝනර් ෆිල්ම් එක ආවේ 2012 දී. දැන් ඒකට අවුරුදු දහයක්. එච්චර කාලයක් ගියාට පස්සේත් මේ ආකෘතිය එපා වෙලා නෑ. ඒ නිසා චන්ඩිගර් කි ආශිකී අපූරු රසවත් ෆිල්ම් එකක්.