මේ වෙද්දී දිනකට පැය දෙකහමාරක පමණ කාලයක්, විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර වශයෙන් යෝජනාවක් කර ඇති බව ඔබ දන්නවා ඇති. එහෙත්, ආණ්ඩුවෙන් කියන්නේ විදුලි කප්පාදුවක් ඉදිරියේදීත් නොකරන බව.
විදුලිය කපන්නේ නැති බව කීවත් සැලසුම් නොකළ විදුලි විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කියා තියෙනවා.
විදුලිබල මණ්ඩලයේ අතිරේක ජෙනරල් මැනේජර් පී.ඩබ්ලිව්. හෙන්දහේවා විසින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරාට දැනුම් දෙනු ලැබ ඇත්තේ සැලසුම් කළ විදුලිය කැපීමට පියවර හැකි ඉක්මනින් ගන්න ඕනෑ බව.
පැයක විදුලිය කැපීමක් උදෑසන 11 සිට හවස හය දක්වා සිදු කිරීමටත්, විනාඩි 45ක විදුලිය කැපීම් දෙක බැගින් හැන්දෑවේ හයේ ඉඳන් 9 දක්වා සිදු කිරීමට නියමිත බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සන්ඩේ ටයිම්ස් පත්තරයට කියා තිබුණා.
මේ අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ ඩොලර් අර්බුදය පසුබිම් කරගෙන ලංකා ඛනිජතෙල් සංස්ථාව දැවිතෙල් මගින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරවලට දැවිතෙල් සැපයීම නතර කර තිබීම. අනෙක් හේතුව තමයි නොරච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තුන්වැනි යුනිට් එක අලුත්වැඩියාවට වසා දැමීම. ඊට අමතරව කැලණිතිස්සේ මෙගාවොට් 115ක ගෑස් බලාගාරයේ බිඳවැටීමකුත් විදුලිය කප්පාදුවට පසුබිම් වුණා.
සපුගස්කන්දේ මෙගාවොට් 150ක බලාගාරය සහ කොළඹ වරායේ මෙගාවොට් 60ක බලාගාරය දැවිතෙල් නැතිකමින් ඇණහිටලා තියෙනවා. නොරච්චෝලේ මෙගාවොට් 300ක ඇණහිටීමක් තියෙනවා. කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ මෙගාවොට් 150ක විතර අඩුවක් තියෙනවා.
නොරච්චෝලේ සහ කෙරවළපිටියේ ප්‍රශ්නය ජනවාරි මාසය අවසන් වනතුරු ඇදී යෑමේ ඉඩක් තියෙනවා.
මේ වෙද්දී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සීයට 40ක් විතර ජල විදුලියෙන් ලබා ගන්නවා. සීයට 30ක් ගල්අඟුරුවලින්. සීයට 22ක් දැවිතෙල්වලින්. ඉතිරි සීයට 8 සූර්ය සහ සුළං බලශක්තියෙන් ලබා ගන්නවා. මේ වෙද්දී වර්ෂාව අඩු නිසා කුඩා ජලවිදුලි බලාගාර පවා නතර වෙලා.
විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු වන ඒ.ආර්. නවමනී සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණේ විදුලිබල තත්වය දිනෙන් දින නැවත අධීක්ෂණයට ලක් කරන බව. ලංකාවේ රාත්‍රී කාලයේ මෙගාවොට් 2,500ක් විදුලිය ඕනෑ. රාත්‍රී කාලයේ මෙගාවොට් 2,100ක් විදුලිය ඕනෑ. සමස්තයක් විදියට ගිගාවොට් පැය 48ක සමස්ත විදුලිය ප්‍රමාණයක් ඕනෑ.
සැලසුම් කරපු විදුලි විසන්ධි කිරීම් කියන්නේ විදුලිබල මණ්ඩලය කලින් සැලසුම් කරලා, දැනුම් දීලා යම් යම් ප්‍රදේශවල නිශ්චිත කාලසීමාවක විදුලිය විසන්ධි කිරීම. එවැනි තත්වයකට පුරවැසියන්ට ලෑස්ති වෙන්න පුළුවන්. සැලසුම් නොකළ විසන්ධි කිරීම්වලදී සිදු වන්නේ අවශ්‍ය කරන විදුලි සැපයුම නැති නිසා විදුලිබල පද්ධතිය ඉබේම ඇණහිට, යම් යම් ප්‍රදේශවල විදුලිය ඉබේ විසන්ධි වීම.
නිකම් කරාම කිහිපයක් තියෙන වතුර ලයින් එකක, ප්‍රමාණවත් තරම් වතුර නැති වුණාම එක කරාමයකින් වතුර එද්දී, තව කරාමයක වතුර නැති වීම වගෙයි.
මේ වෙද්දී රටේ සිදුවෙමින් තියෙන්නේ ඒක බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කියනවා. ඒකට හේතුව සැලසුම් කරලා කප්පාදු කරන්නට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඉල්ලුවත්, අවශ්‍ය තීන්දු ආණ්ඩුව පැත්තෙන් නොගැනීම. එහෙම නොකර ආණ්ඩුව කියන්නේ ‘විදුලිය කපන්නේ නැහැ’ කියලයි.
ඒත්, අවශ්‍ය තරම් විදුලි සැපයුමක් නැත්නම්, ඒ සැපයුම වෙනුවෙන් කිසිවක් නොකරන්නේ නම් එයාලා චණ්ඩි වගේ ‘කපන්නේ නෑ’ කීවාට වැඩක් නෑ. ඉබේ විසන්ධි වෙනවා. පහුගිය කාලයේ අපි අත්වින්දේ ඒක.
විදුලි හිඟය නැවැත්වීමට ඇඹිලිපිටිය සහ මාතර ඒස් පවර් පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 125 බැගින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් 2021 දෙසැම්බර් 1 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා. එහෙත් මෙම ගිවිසුම් අත්සන් කරපු විදුලිබල මණ්ඩලයේ අතිරේක ප්‍රධාන කළමණාකාර ජනක අලුත්ගේ නොවැම්බර් මාසයේ ඉඳන් තනතුරෙන් ඉවත් කරලා තිබුණා. ඒ අනුව එම සැලසුම් ඇණහිටලාලු.
ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 90ක් ණයයි. බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට සති තුනකට පෙර දැනුම් දී තිබුණේ ණය ඩොලර්වලින් ගෙව්වේ නැත්නම් දැවිතෙල් සපයන්නට බැරි බව. එහෙත් විදුලිබල මණ්ඩලය ඩොලර්වලින් මුදල් උපයන්නේ නැති නිසාත් යුගදනවි ගිවිසුම වගේ ඒවායේ සල්ලි යන්නේ භාණ්ඩාගාරයට වන නිසාත් රාජ්‍ය බැංකුවලින් ඉන්ධන සඳහා ඩොලර් ගැනීමට උත්සාහ කරන බව.
(සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරෙන්)