ආණ්ඩුව හංගන, රටේ රත්තරන් රහසේ විකුණපු කතාව! ft Nishan De Mel

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකන් ඩොලර් මිලියන 206ක් වටිනා රත්තරන් ගිය මාසේ රහසේම විකුණලාලු. අපේ රට සතු රත්තරන් සංචිතයෙන් අඩක් පමණ මේ විදියට විකුණලා තියෙනවා. හරියටම ප්‍රතිශතය කීවොත් සීයට 54.1ක්.

මේ විදියට රත්තරන් විකිණීම ගැන ආණ්ඩුවේ නායකයන් රටට විවෘතව කීවේ නැහැ. ඒ වෙනුවට මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශකවල 2022 ජනවාරි 07 දර්ශකය අනුව ඇමෙරිකන් ඩොලර් මිලියන 382ක් වූ රත්තරන් සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 175 දක්වා දෙසැම්බරයේ පහත වැටී තියෙනවා. ඒ අනුව ටොන් 6.69ක් වූ රත්තරන් ප්‍රමාණයෙන් ටොන් 3.6ක් අතුරුදන්. දැන් ටොන් 3.1ක් දක්වා රත්තරන් සංචිත පහළ වැටිලා.

මේ ආණ්ඩුව 2020 වර්ෂය පටන් ගත්තේ රත්තරන් සංචිත ටොන් 19.6ක් එක්ක. 2020 අවුරුද්දේ ටොන් 12.3ක් වික්කාලු.

කෙසේ වෙතත් අතුරු කාරණාවක් විදියට කියන්න ඕනෑ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිටි කාලයේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ණය කන්දක් සහ තේරුමක් නැති ව්‍යාපෘති ගොඩක් එක්ක පුම්බා සංවර්ධනයක් පෙන්නූ කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් රත්තරන් සංචිත ප්‍රමාණය වැඩි කරගත්තාලු. ඒත් 2015න් පස්සේ අවස්ථා කිහිපයකදී සංචිත වික්කාලු. රාජපක්ෂලා, පීබීලා, කබ්රාල්ලා පිම්බූ ඒ බැලුමේ හුළං යද්දී එදා ගත් සංචිත ප්‍රමාණයත් අඩු වීම නොවැළැක්විය හැකි තත්වයක්.

‘ශ්‍රී ලංකාව ණය ගෙවමින් යනවා. ඒත්, අපට තවදුරටත් ණය ගන්න බැරි නිසා විදේශ සංචිත දැවැන්ත විදියට පහළ යමින් තියෙනවා.’ යනුවෙන් මේ තත්වය පැහැදිලි කරපු වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් කියා තිබුණා.

ආචාර්ය නිශාන් ද මැල් සන්ඩේ ටයිම්ස් පුවත්පතට, අද දෙරණ ප්‍රවෘත්ති අංශයට සහ ලංකාසර වෙබ් අඩවියට කර ඇති අදහස් දැක්වීම් ඇසුරෙන් සංක්ෂිප්තව  මෙසේ ගොනු කළ හැකියි.

‘මේ වෙද්දී අපේ විදේශ සංචිත වැටිලා තියෙන්නේ මාසික ආනයන සඳහාවත් ප්‍රමාණවත් නොවන තත්වයකට. විදේශ සංචිතවල මුදල් වශයෙන් තියෙන කොටස අවශ්‍යතාවලට සෑහෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව අපේ සංචිත අතර තිබෙන රත්තරන් කොටස ඉදිරි ගෙවීම් සඳහා පාවිච්චි කරන බව පෙනෙනවා. දැන් තියෙන තත්වයේ හැටියට ණය වාරික ගෙවීම වෙනුවට කළ යුත්තේ ණය වාරික ගෙවීමේ අවස්ථාව කල් දමා ගැනීම.

දැන් බේරාගන්න ඕනෑ ණය හිමියන් නෙවෙයි. දැන් බේරාගන්න ඕනෑ රට. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින්, විදේශ සංචිත බේරාගැනීමයි දැන් අවශ්‍යතාව.’