ජීවිතෙන් සමුගත් සිංහල සිනමාවේ ත්‍රිල් එක රොබින්

රොබින් ප්‍රනාන්දු කවුද? ඔහු සිනමාවේ දාපු වැඩ පැත්තකට දාමු. 1937 දී මුද්‍රණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරපු පියෙක්ට දාව උපත ලැබූ රොබින්, 1955 දී අවුරුදු 16දී කොටහේන සෙන්ට් බෙනඩික්ට් එකේ ගිනිවළලු අතරින් පැනලා පෙන්නමින් ජිම්නාස්ටික් වැඩ දාපු කොල්ලෙක්ලු. අවුරුදු දාසයේදී. දැං ලංකාවෙ කොල්ලො කෙල්ලො ඕලෙවල් පංති යන වයසෙදී. ටික්ටොක් එකේ බූට් කාලා වදන් දෙන වයසෙ.

ඉස්කෝලෙ ඉගෙනගත්ත කාලේ රොබින් කරාතේ, බොක්සිං, රෙස්ලින් වගේ නොයෙකුත් මාෂල් ආර්ට්ස් ඉගෙනගත් කෙනෙක්ලු.

කොටින්ම කීවොත් ඒ කාලෙ වළලු හතකින් රොබින් අයියා පනින හැටි බලන්න ඉස්කෝලේ කොල්ලෝ ගොඩක් එකතු වුණාලු. එතකොට බාල ළමයි වෙච්ච විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය වගේ අයත් කට ඇරන් රොබින් ප්‍රනාන්දු බලා හිටියලු. ඉතින්, විජයගේත් කට ඇරපු වීරයෙක් තමයි රොබින්.

ගහගන්න එක ඕනෑ කෙනෙක්ට කරන්න පුළුවන්. ඒත්, සිනමාවෙ ගහගන්නවනං කලාවකට ගහගන්න ඕනෑ කියල රොබින් විශ්වාස කළාලු. ඒ නිසා ෆයිට්වලට කලින් ෆයිට් කරන ආට් එක නළුවන්ට ඉගැන්නුවාලු. ඔස්වල්ඩ් වගේ නළුවන්ට විතරක් නෙවෙයි, මාලිනී ෆොන්සේකා සහ රෝසි සේනානායක වගේ නිළියන්ටත් ගහගන්න හැටි රොබින් උගන්වලා තියෙනවා. විජයට වතාවක් අශ්වයන් පදින්න පුරුදු කළේ රොබින්ලු. තව නළුවන්ට දුන්නෙන් විදින්න සහ තව නොයෙක් දේ පුරුදු කරලා තිබුණේ ඔහු. ඕනෑ වැඩක් හරියට කරන්න  ප්‍රැක්ටිස් කරන්න රොබින් පුරුදු වෙලා හිටියාලු.

කොළඹ පුත්තලම කෝච්චි කාරේ මුන්දලම හරියේදී කෝච්චි පාරයි, මහපාරයි සමාන්තරව යනවා. සිරිපාලයි ඔහුගේ යාළුවායි හොයාගෙන කෝච්චියට පොලීසියෙන් ගොඩවෙන්නේ මේ හරියෙදී. සිරිපාලයි, යාළුවායි පොලීසියෙන් බේරෙන්නෙ කෝච්චියේ වහළට යනවා. වේගෙන් යන කෝච්චියේ වහළ උඩ මේ දෙන්නා. කෝච්චිය දිගේ ගිහින් අන්තිම පෙට්ටියෙන් පහළට බහින මේ දෙන්නා කෝච්චිය යටටත් රිංගනවා.

මේ කෝච්චියේ සෙල්ලම් දැම්මේ රවීන්ද්‍ර රන්දෙණියයි රොබින් ප්‍රනාන්දුයි. ඇත්තටම දුවන කෝච්චියේ ෂූට් කරපු මාරාන්තික ඇක්ෂන් සීන් සැලසුම් කරලා තිබුණේ රොබින් ප්‍රනාන්දු.

ඇත්තටම  ගත්තොත් සිංහල සිනමාවේ ත්‍රිල් එක තමයි රොබින්. බ්ලැක් ඇන්ඩ් වයිට් වුණත් පරණ සිංහල ෆිල්ම් එකක රොබින්ලාගේ ඇක්ෂන් සීන් එකක් බලද්දී අදටත් ඇඟ හිරිවැටෙන්නේ මුං මේවා ඇත්තටම කළානේ කියන හැඟීම එක්ක.

රොබින් 1963 දී ඉස්කෝලෙන් අවුට් වෙලා මැක්වුඩ් කම්පැණියේ ජොබ් එකක් කරන්න ගියාලු. කොටහේන වාසල පාරේ ගෙදර ඉඳන් යන එන දේහදාරී කොල්ලා ගැන ඇහැ ගහගෙන හිටියාලු ඒ පාරේම හිටපු ආරියරත්න කහවිට කියන කලා කියන ෆිල්ම් සඟරාවේ කතෘ. ඔහු තමයි රොබින්ගේ ඉස්කෝලේ ජිම්නාස්ටික් වැඩකිඩ ගැනත් දැනගෙන ෆිල්ම් එකක පොඩි ෆයිට් සීන් එකක් රඟපාමුද කියලා අහලා තිබුණේ. ටයිටස් තොටවත්තට රොබින්ව සෙට් කළේ කහවිටලු. කොටහේන නගර සභා ස්විමිං පූල් එකට රොබින්ව එක්කගෙන ගියාලු.

රොබින් යද්දී ගාමිණී ෆොන්සේකා ස්ටයිල් එකට සිගරැට් එකක් උරාගෙන හිටියාලු. ටයිටස් ගාමිණීට රොබින්ව අඳුන්වලා දුන්නාලු.  ඊට පස්සේ රොබින් ගැන සෑහීමට පත්වෙච්ච ටයිටස් තොටවත්ත ඒ වෙද්දී තිබුණ ස්ක්‍රිප්ට් එක වෙනස් කරලා ගාමිණී සහ රොබින් අතර ෆයිට් එකක් ෆිල්ම් එකට බැස්සුවාලු.

මේ ඇවිල්ලා චණ්ඩියා ෆිල්ම් එක. ඒක තිරගත වුණේ 1965 දී.

ඉණිමඟක් දිගේ ඉහළට නගින ගාමිණී ෆොන්සේකා පස්සේ උඩට නගිමින්, ගාමිණී එක්ක හරි හරියට ෆයිට් කරමින් රොබින් සිනමාවට ආවා.

ෆයිට් එක ඉවරවෙද්දී ගාමිණී ගහන පාරකින් රොබින් අඩි 40ක්-50 උස ඉඳන් පූල් එකට රොබින් වැටෙන සීන් එකක් තියෙනවා.

රොබින් මේ චරිතය රඟපාලා තිබුණේ රුපියල් 300කට. ඒත්, ඒ තනි සීන් එකෙන් රොබින් කියන්නේ මෙච්චරකල් සිංහල ෆිල්ම්වල හිටපු සටන්කාරයන්ට වඩා වෙනම මැජික් එකක් තියෙන කෙනෙක් බව තේරුණා. චණ්ඩියා තිරගත වෙන්නත් කලින්ම සිනමාවට බැස්ස මාර සටන් ශිල්පියා ගැන කතාව පැතිරිලා තිබුණා. සිංහල සිනමාවේ ඇක්ෂන් ත්‍රිල් එක ඊළඟ ලෙවල් එකට ගෙනියන චරිතයක් බිහි වුණ බව කතාවක් විදියට පැතිරිලා තිබුණා.

ඊට අවුරුද්දක් පහු වෙද්දී 1966 කපටිකම ෆිල්ම් එකේ රොබින් සටන් අධ්‍යක්ෂවරයෙක් වුණා.

එතැනින් පටන් අරන් ඒ කාලයේ සිනමා රසිකයන් පිස්සු වට්ටපු ෆයිට් සීන් තොගේක රොබින් රඟපෑවා. දුවන කෝච්චිවල, දුවන කාර්වල ඔහු ෆයිට් කළා. ගාමිණී එක්ක කඩු ෆයිට් කළා. කෝච්චිවලින් පනින්නත්, කෝච්චිවල යට එල්ලිලා, බිම ගෑවි ගෑවි ෆයිට් කරන්නත්, වෑන් උඩ ෆයිට් කරන්නත්, පාලම්වලින් පනින්නත්, ඇත්තටම හම පුපුරලා ලේ ගලන විදියට පාරවල් කන්නත් රොබිනට් බය වුණේ නෑ.

උඹට පුළුවන්ද අර බිල්ඩිමෙන් පනින්න? උඹට බැරි නං මං පනිනවා. කියලා ඒ දවස්වල ටයිටස් කියනවාලු. රොබින් මට පුළුවන් කියලා පනිනවාලු. නැත්තං කවුද හරි වගේ ෆිල්ම් එකක ඩොමී ජයවර්ධන එක්ක පාලමකින් පනින්න කීවාලු.

බයිසිකල් හොරා, රුහුණු කුමාරි, හතර කේන්දරය, සිංගප්පූරු චාලි, සැඟවෙන සෙවණැල්ල, කපටිකම, සොරුන්ගෙත් සොරු, පිනිබිඳු, ඉඳුනිල වගේ චිත්‍රපට ගණනාවක ඔහු වැඩ පෙන්නුවා.

තමන්ගේ ජිම්නාස්ටික් බැක්ග්‍රවුන්ඩ් එක පාවිච්චි කරපු රොබින් කරාතේ, ජූඩෝ සහ ජිම්නාස්ටික්වල කොටස් ගොඩක් ෆයිට්වලට පාවිච්චි කළාලු. හරියටම කීවොත් ඔය කියන සටන් කලා ගොඩක් හරියට සිංහල සිනමාවට එකතු කළේ රොබින්ලු.

කොහොම නමුත් රොබින්ගේ මැජිකල්ම වැඩක් විදියට හඳුන්වන්න පුළුවන් 1971 හාරලක්ෂෙ ෆිල්ම් එක. ඒකේ සමහර දර්ශන කරපු හැටි අහද්දී, මොන මගුලකට මුං මැරෙන්න ගියාද කියන ප්‍රශ්නය අහන්න හිතෙනවා.

ඇන්ඩෲ ජයමාන්න චෙවොලේ කාර් එකට සෙට් කරපු ස්ටෑන්ඩ් එකක කැමරාව තියාගෙන ඉන්නවාලු. කාර් එක වේගෙන් යනවාලු. වෙද මහත්තයාගෙ චරිතෙට රඟපෑව රොබින් වේගෙන් යන කාර් එකට පනිනවාලු. ඒ පනිද්දී ඇන්ඩෲ ජයමාන්නවත් බේරලා, ගාණට පනින්න ඕනෑලු. දොර ඇරිලා හෙල්ලෙද්දී, හරිම තැනට පැනලා අල්ලගත්තෙ නැත්තං බෙල්ල කුඩුලු. වේගෙන් යන කාර් එකේ රික්ෂෝකාරයෙක් පවා හැප්පුණාලු. මේ සියලු කතන්දරවලින් පිරිච්ච ටයිටස් තොටවත්තගේ හාරලක්ෂෙ ලංකාවෙ සිනමාවෙ කවදාවත් ආපහු කරන්න බැරි විදියේ මැජිකල් වැඩක්.

පියදාස ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සේනාධීර රූපසිංහ කාර් ඇතුළේ ෆයිට් කරමින් ඇක්ෂන් ත්‍රිලර් එකක් හදලා, ඒක ලොකු තිරයේ පෙන්නපු කතාව සිනමාවේ මැජික් එක අපට කතන්දරවලින් අහන්න සැලැස්වූ සිදුවීමක්. හාරලක්ෂය ඩයලොග් සියල්ල ස්ක්‍රිප්ට් එකකට නොලියා, ඉම්ප්‍රොවයිස් කරමින් හැදූ චිත්‍රපටියක්.

රොබින්ලා කරපු දේවල් ඇස් දෙකෙන් තරුණ පරම්පරාවට අයිති අපි දැක්කේ නෑ. අපට අනුව සිංහල සිනමාව කියන්නේ බෙලහීන, කම්මැලි, බාල වැඩක්. අපි සිනමා මැජික් එක දකින්නේ හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් ෆිල්ම්වල.

ඒත්, අපට කලින් පරම්පරාවේ අය ඒවා ගැන කියපුවා, ලියපුවා දැකලා අපි රොබින් කොච්චර චරිතයක්ද කියන එක මැවිලා පේනවා. එදා අපේ සිනමාව තුළ රොබින්ලා මවා පෙන්වූ ත්‍රිල් එක ගැන මවාගන්නවා. ඒ නිසා රොබින්ලා ජීවිතෙන් සමුගනිද්දී විස්මිත මනුස්සයෙක් ජීවිතෙන් සමුගත්තා කියන හැඟීම අපට දැනෙනවා.