ත්‍රිකුණාමල තෙල් ටැංකි යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිලා- විරෝධතා නෑ

බොහෝ දෙනෙක් බලා සිටි ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ කැබිනට් පත්‍රිකාව ජනවාරි 03 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගෙන තිබුණා.

ජාතික සම්පත් විකුණනවා වැනි චෝදනා එල්ල කරන පාර්ශ්වයේ නායකයෙක් වන අමාත්‍ය උදය ගම්මන්පිළ මේක ඉදිරිපත් කරපු නිසා, සම්පත් විකිණීම ගැන විරෝධයක් කැබිනට් මණ්ඩලය ඇතුළේ ඇවිත් තිබුණේ නැහැ. එහෙත්, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී වාගේම මේ තෙල් ටැංකි 61 වෙනුවෙන් හදන සමාගමේත් අඩකට ආසන්න අයිතියක් ලැබෙන්නේ ඉන්දියාවට. එනම් අයිඕසී සමාගමට.

මෙලෙස සීයට 49ක අයිතිය පිටරට සමාගමකට යන වෙලාවන්හිදී, ලොකු ධනයක් ගැවසෙන පිටරට සමාගමේ වුවමනාවට එවැනි සමාගම් නටන බව තමයි ඔය ‘ජාතික සම්පත් විකිණීමට එරෙහිව’ කෑගසන බොහෝ අයගේ තර්කය.

කෙසේ නමුත් කැබිනට් පත්‍රිකාව අනුව ලංකා ඛනිජතෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක් වෙන් කරනු ඇති. ලංකා අයිඕසී සමාගම දැනට නිසියාකාර අයිතියක් නැතිව පාවිච්චි කරන තෙල් ටැංකි 14 තවත් අවුරුදු 50ක් දක්වා පාවිච්චි කිරීම සඳහා වෙන් කිරීමටත්, ඉතිරි තෙල් ටැංකි 61 සඳහා ඉන්දියානු-ශ්‍රී ලංකා හවුල් සමාගමක් පිහිටුවීමටත් මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයෙහි එය සඳහන් වුණේ මෙහෙමයි.

‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාලව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවකට එළැඹ ඇත.

ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී. සමාගම දැනටමත් භාවිතයට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14 එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත්, ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සීයට 51ක් සහ ලංකා අයිඕසී සමාගමට සීයට 49ක කොටස් අයිතිය හිමිවන පරිදි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නමින් ස්ථාපිත කරනු ලැබ ඇති සමාගම මගින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’