අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කිසිසේත්ම තම තනතුරින් ඉවත්වන්නේ නැති බවත් ඒ මහතාව තනතුරින් ඉවත් කිරීමට වුවමනා වී ඇත්තේ කාටදැයි දැනගැනීමට තමන්ට ද වුවමනාවක් ඇති බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය වෙත පවසා ඇත.
ඒ හිමියන් ජනවාරි 03 වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ අගමැතිවරයා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ තමන්ව හමුවී පිටව ගිය බවය.
“රටේ පැතිරෙනවා මේ අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා, අස්වෙනවා කියලා. නමුත් අගමැතිතුමා දැනුත් මේ පන්සලට ඇවිල්ලා ගියේ මාව හම්බුවෙලා. අපි ඇහුවා එතුමාගෙන් එහෙම දෙයක් තියෙනවාද කියලා. එතුමා දන්නෙත් නෑ !
මේ පරණ ප්‍රශ්නයක් ගොනු කරගෙන මේ කතා කරන්නෙ හැමදෙනාම. අපට දැනගන්න ඕනෙකම තියෙනවා මේ අගමැතිතුමාට අස්වෙන්න බලකරන්නෙ කවුද ? ජනාධිපතිතුමා බල කරන්නෙත් නෑ, වෙන කෙනෙක් බල කරන්නෙත් නෑ, ජනතාව බල කරන්නෙත් නෑ. අපි දැනගන්න කැමතියි එතුමාට අස්වෙන්න බලකරන පුද්ගලයා කවුද කියලා. නමුත් අපි කියනවා මොකා බලපෑම් කළත්, කවුරු තර්ජන ගර්ජන කළත්, ගෝරනාඩු කළත් අගමැතිතුමා අස්වෙන්නෙ නෑ. අස්වෙනවා නම් අපට කියලායි අස්වෙන්නෙ. අස්වෙන්න වුවමනාවකුත් නෑ, අස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඔවුන්ට කියනවා වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරන්නෙ නැතුව කවුරුහරි පුද්ගලයෙක් ඉන්නවා නම් ‘මහින්ද වහාම අස්වෙයන්’ කියලා ප්‍රකාශයක් කරන්නය කියලා.
මේ රටේ ජනතාව මහින්ද මහත්තයාට අස්වෙන්න දෙන්නෙත් නෑ. එතුමා අස්වෙන්නෙත් නෑ. එතුමා අයින් වෙනවාය කියන්නෙ මේ රටේ ජනතාව අතරමං වෙනවා කියන එකයි. වයසට යනකොට අපෙත් දණහිස් අමාරු ඇතිවෙලා තියෙනවානෙ, ඒවා නියම වෙලාවට හරියයි. තවම එතුමා මහළු වයසට කිට්ටු වුණා විතරයි නෙ. ආගමානුකූලව බැලුවොත් ඒකයි”
