මහින්දානන්දගෙන් තවත් හිස් වචන වැලක්! පොහොර ගැන ඔහු දවල් ගහපු කයිවාරුව රෑ වෙද්දී බැසිල් දිය කළා……!

‘පොහොර ප්‍රශ්නය හේතුවෙන්’ ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25ක වන්දියක් ගෙවන බව ජනවාරි 03 වැනිදා රෑ, කැබිනට් රැස්වීමෙන් පස්සේ පැවති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කීවා.

‘යම් විදියකින් පොහොර භාවිතය අඩු වුණත්..’ යනුවෙන් ඒ ප්‍රකාශයේදී ඔහු සඳහන් කර තිබුණේ පොහොර භාවිතයේ අඩුවක් ගැන. ඒ අඩුවට හේතුව කුමක්ද, ඒක අහසින් පාත් වුණ ප්‍රශ්නයක්ද කියා ඔහු පැහැදිලි කර තිබුණේ නෑ.

ඒත්, එදාම දහවල් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැඩි ප්‍රකාශයක් කරලා තිබුණා.

ඒ කීවේ..

රජයෙන් ලබාදුන් කාබනික පොහොර භාවිත කිරීමෙන් අස්වැන්න අඩු වී ඇති බව පරීක්ෂණවලින් ඔප්පු වුණොත් විතරක් රජය වගා හානි වන්දි ලබාදෙනවා කියලා ජනවාරි 03 වැනිදා දහවල් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියා තිබුණා.

මේ ප්‍රකාශය කරලා තිබුණේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට සෙත්සිරිපායේ අලුත් කාර්යාල ඉඩකඩක් විවෘත කළාට පස්සේ අදහස් දක්වමින්.

සුපුරුදු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ කටින් පිටවෙන හිස් වචන ගොන්නට තවත් වචන ගොන්නක් එකතු වුණා. පැය කිහිපයක් යද්දී ගොවීන්ට වන්දි ගෙවන කතන්දරයක් මුදල් ඇමති කීවා.

ඒත්, සැබෑ ඛේදවාචකය තමයි මේ විදියට වන්දියක් ගෙවන්නේ ජනාධිපතිවරයාගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු වන්දිභට්ට ඇමතිවරුන්ගේ මුග්ධ ක්‍රියා නිසා පීඩාවට පත් වූ ගොවීන්ට වීම.

බැසිල් ඇමතිවරයා ‘පොහොර ප්‍රශ්නය’ කියා කීවේ තමන්ගේම ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්නයක් වීමයි සැබෑ ඛේදවාචකය.