ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බේල්අවුට් පැකේජ් එක’ හෙවත් සහන පැකේජය ලබානොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා. ඒ බව ඔහු මාධ්‍ය සාකච්ඡාවේදීත් කියා තියෙනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, නැද්ද යන මාතෘකාව මෑත කාලය තිස්සේ රටේ මෙන්ම කැබිනට් මණ්ඩලය අභ්‍යන්තරයේත් විවාදාපන්න මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් වෙනත් ණය පහසුකම් ලබාගැනීමට බලාපොරොත්තුවෙන බව ඔහු කියා තියෙනවා. ජනාධිපතිවරයා ලෝක බැංකුවේ ඉහළ නිලධාරීන් එක්ක සාකච්ඡා කරපු බවත් ඔහු කියලා. ඊට අමතරව ඉන්දියාව, චීනය, ඇමෙරිකාව සහ ජපානය ඇතුළු රටවල් එක්කත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියලා. මේක මෑත කාලය තිස්සේ ‘අයිඑම්එෆ් යන්න’ යනුවෙන් සඳහන් කරපු කාරණයට නෙවෙයි.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ශ්‍රී ලංකාව බැඳෙන ප්‍රඥප්තියේ හතරවැනි වගන්තිය අනුව එම අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිරීක්ෂණ කරලා නිර්දේශ ලබාදෙමින් සිටින බවත්, මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නුදුරේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් මුදල් ඇමතිවරයා කියලා.
කැබිනට් මණ්ඩලයේදී අයිඑම්එෆ් නොයන බව ඔහු කීමෙන් පස්සේ අමාත්‍යවරුන් අතරින් ඊට විරෝධයක් මතුවෙලා නැහැ. අයිඑම්එෆ් යන්න ඕනෑ බව දිගින් දිගටම කී ඇමතිවරුන් කිහිපදෙනෙක් සිටියත්, ඔවුන් නිහඬව හිටියාලු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ආණ්ඩුවට අවාසිදායක කොන්දේසි වැටෙනු ඇති බව මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේදී කියා තියෙනවා.
හරියටම කීවොත් ඔහු කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් වෙන්න පුළුවන් කියන ‘අවාසි’ ගැන දීර්ඝ කරුණු දැක්වීමක් කරලා තිබුණා. රුපියල අවප්‍රමාණය වේවි, බදු වැඩි වේවි වගේ කතා ඔහු කරුණු ලෙස කියා තිබුණා. උදාහරණයක් ලෙස පරිප්පු 400 දක්වා ඉහළ යන්න පුළුවන් බවත් ඒකේ සඳහන් වුණා.
රුපියල පාවුණොත් ණය වාරිකවලට වැඩිපුර සල්ලි යට කරන්න වේවි කියලාත් තිබුණා.
ඒ හැරුණාම බදු වැඩි කරන්න වේවි, ඒ වගේම ජල, විදුලි සහ ටෙලිෆෝන් බිල්පත් වැඩි වේවි කියලාත් ඔහු තර්ක කරලා තිබුණා.
ඊට පස්සේ ඒවා මත පදනම් වෙමින් අපට අපේ රටේ විසඳුමක් ගේන්න පුළුවන් කියලා ඔහු ඒකේ සඳහන් කරලා තිබුණා.
මේ යෝජනාවට කිසිවෙක් විරුද්ධ නොවූ නිසයි එකඟතාව ලැබුණේ.
මේ සාකච්ඡාව සඳහා පදනම් කරමින් එදා ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු විශේෂ කැබිනට් සංදේශයේ 4 වැනි වගන්තිය ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රුපියල අවප්‍රමාණය කිරීම’ යනුවෙන් සඳහන් වෙනවා.
‘ආර්ථිකයේ පෙන්නුම් කරන අභියෝගවලට මුහුණදීම සඳහා විසඳුමක් ලෙස විපක්ෂය හා රජයේ ඇතැම් පාර්ශ්යන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා එකඟ වීම සුදුසු බවට විවිධ මත ප්‍රකාශ කරමින් සිටී. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන වැඩපිළිවෙලකට යොමු වුවහොත් රටේ එදිනෙදා ජීවිතයට කිසිදු බලපෑමක් නොමැතිව ආර්ථිකය යථා තත්වයට පත් විය හැකි බවට විශ්වාසයක් ඇති බවට පෙනී යයි. එහෙත් අප විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් බහු පාර්ශවීය ජාත්‍යන්තර ආයතන මග පවත්වාගෙන යන සාකච්ඡාවලට අපට හැඟී ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වැඩසටහනක් තුළ පහත මූලික ලක්ෂණ අන්තර්ගත වන බවය.
එනම්,
- රුපියල නිදහසේ පා කිරීම සිදු කළ යුතුය.
- බදු අනුපාත ඉහළ දැමිය යුතු අතර විශේෂයෙන්ම එකතු කළ අගය මත පදනම් වූ බදු වර්තමානයේ පවතින සීයට 8 සිට ඉහළ දැමීමටත්, ඉන්ධන, විදුලිය සහ ජලය විකුණුම් මිල පිරිවැය මත පදනම් විය යුතුය.
රුපියල නිදහසේ පාවීම හෝ අවප්‍රමාණය වීම සැලැස්වීමේ බලපෑම
රුපියල සීයට 15කින් පමණ අවප්‍රමාණ වුවහොත් රුපියල් 230ක පමණ වේයැයි උපකල්පනය කළ විට ඇති වන බලපෑම පහත පරිදි වේයැයි අපේක්ෂා කළ හැක. (අනෙකුත් සියලු කාරණා නොවෙනස්ම පැවතියදී.)
- 2022 වර්ෂය තුළ රජයේ මුළු විදේශ ණය සේවාකරණය ඇ.ඩො. බිලියන 6.9ක් වේ. මෙයට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශ මුදල් බැංකු ඒකක ණයද ඇතුළු වේ. එබැවින් රුපියල අවප්‍රමාණය වීම හමුවේ සෑම ඇ.ඩො.1ක ණය සේවාකරණයක් සඳහා අමතර රු. 20ක් අවශ්‍ය කරයි. එනම් ණය ගෙවීම සඳහා අවශ්‍ය වන මුළු අමතර විදම රුපියල් බිලියන 210 පමණ වේ. මෙහිදී විදේශ පොලී වියදම පමණක් රුපියල් බිලියන 36කින් පමණ වැඩි වනු ඇත.
- රාජ්‍ය ආයෝජන වැඩසටහනට වන බලපෑම 2022 සඳහා වන සමස්ත රාජ්‍ය අයෝජනය රුපියල් බිලියන 931කි. සමස්ත රාජ්‍ය අයෝජනයෙන් ආනයන ප්‍රමාණය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් හෝ රුපියල් බිලියන 400ක් පමණ වේ. මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් සමග සඳහා පමණක් රාජ්‍ය ආයෝජනයේ දැරිය යුතු වියදම රුපියල් බිලියන 60-80ක් පමණ ඉහළට යනු ඇත.
ඉහත සදහන් කළ පරිදි රාජ්‍ය ණය සේවාකරණයට හා රාජ්‍ය ආයෝජන වැඩසටහන්වලට සිදු විය හැකි ඍජු බලපෑම නිසාම පමණක් 2022 සඳහා අනුමත අයවැයට අතිරේක වියදමක් ලෙස රුපියල් බිලියන 270ක් පමණ දරා ගැනීමට සිදු වේ.
මෙය රාජ්‍ය ආදායම ඉහළ නැංවීමක් තුළින් හා රාජ්‍ය වියදම කපා හැරීමක් තුළින් දරා ගත යුතු වේ. එහෙත් මෙම ඍජු බලපෑමට අමතරව රුපියල අවප්‍රමාණය මෙයට වඩා පුළුල් පරාසයකට ඍජු හෝ වක්‍ර බලපෑම් ඇති කළ හැකි අතර එය පොලී අනුපාත වැඩි වීම්, උද්ධමනය ඉහළ යෑම, ඉන්ධන මිල වැඩි වීම සමඟ ප්‍රවාහන පිරිවැය ඉහළ යෑම් සිදු විය හැකිය.
යෙට විකල්ප ක්‍රියාමාර්ග වශයෙන් රජයට වියදම් කප්පාදු කිරීමෙන් මෙලෙස වැඩිවන වියදම් කළමණාකරණය කර ගැනීමට හැකිය. කෙසේ වෙතත්, පොළී වියදම, රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි, වැඩිහිටි විශ්‍රාම වැටුප් ඇතුළු ගෙවීම්වලින් පුනරාවර්තන වියදම් සමන්විත බැවින් එය කප්පාදු කිරීම දුෂ්කර වනු ඇත. එසේ නම් සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් අඩු කිරීමය. මෙහි දී ඇති වන ඍජු බලපෑම පමණක්ම දරා ගැනීම සඳහා ප්‍රාග්ධන වියදමෙන් සීයට 30ක් පමණවත් අඩු කළ යුතු වේ. ප්‍රාග්ධන වියදම් අඩු කිරීම මූලික බලපෑම වන්නේ රජය අපේක්ෂා කරන ආර්ථික වර්ධනය හා සංවර්ධන අරමුණු ඉඩ වීම තවදුරටත් දුෂ්කර වේ.
වාර්ෂික මුළු ආනයනවලින් ආහාර, තිරිඟු සහ බඩඉරිඟු, ඖෂධ, සීනි, ධාන්‍ය ආදිය ඇතුළත් පාරිභෝගික භාණ්ඩ, ඉන්ධන, ගල්අඟුරු, පොහොර ආනයන මුළු ආනයනයෙන් සීයට 40කට ආසන්න ප්‍රමාණයක් නැතහොත් වසරකට ඇ.ඩො. බිලියන 8ක් පමණ වේ. එනම්, රුපියල අවප්‍රමාණයත් සමග අත්‍යවාවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා පමණක් රුපියල් බිලියන 240ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදු වනු ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල අවම වශයෙන් සීයට 20කින් පමණ ඉහළ යා හැකිය.
උදාහරණයක් වශයෙන්
- ශත 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් හැර වෙන කිසිදු බද්දකට යටත් නොවන පරිප්පු කිලෝග්‍රෑම් එකක්ද දැනට පවතින රුපියල් 280 මිල සිට රුපියල් 350-400 මිලකට වැඩි විය හැක.
- තවද ඩීසල් ලීටරයක් අවම වශයෙන් රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ලීටරයක් රුපියල් 146 දක්වා පමණ වැඩි කිරීමට සිදු වනු ඇත.
අනෙකුත් බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවද සැපයුම හා බැඳි බාධකයන්ට මුහුණ දී සිටින අතර, එය වරෂ 2022 ද පැවතිය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙවැනි බාධාකරී තත්වයන්ගේ බලපෑම නිසා ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල හා අත්‍යවශය ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යෑම් දැනටමත් සිදු වන අතර, ජීවන වියදමට වන බලපෑම බොහෝ සෙයින් වැඩි වී දැනට අත්විඳිනවාටත් වඩා වැඩි වේගයෙන් ආහාර ද්‍රව්‍ය උද්ධනය ඉහළ මට්ටමක පවත්වනු ඇත.
මුදල් අවප්‍රමාණය වීමක ඍජු ප්‍රතිලාභීන් වනුයේ අපනයනකරුවන් සහ විදේශ විනිමය රට තුළට ප්‍රේෂණය කරන විදේශගත ශ්‍රමිකයන්ය. තේ වැනි ප්‍රාථමික නිෂ්පාදන තොග වශයෙන් අපනයනය කිරීම් දේශීය මුදලින් ආදායමේ වැඩිවීමක් අත්දුටුවද අගය එකතු කරන ලදතේ, ඇඟලුම් අපනයනකරුවන් ඇතුළු අනෙකුත් අපනයනකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක සැලකිය යුතු ආනයන අන්තර්ගතයත් ඇතුළත් බැවින්, රුපියලේ අවප්‍රමාණමයත් සමග ඒවායේ පිරිවැය ඉහළ ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස ලාභ ආන්තිකය අඩු වේ. දේශීය අපනයනකරුවන්, විශේෂයෙන්ම ආනයන සඳහා සැලකිය යුතු වියදමක් දරන්නන්, තම භාණ්ඩවල තරගකාරීත්වයට ඍණාත්මක බලපෑමක් විය හැක.
බදු ඉහළ ගැනීම විශේෂයෙන් වැට් බද්ද දැනට පවතින සීයට 8 සිට ඉහළ දැමීමත් සමග පිරිවැය පිළිබිඹු කරන ඉන්ධන, විදුලිය සහ ජලය මිල ගණන් වෙනස් කිරීම නිසා ඇති වන බලපෑම්
බදු වැඩිවීමක බලපෑම, විශේෂයෙන්ම වැට් බද්ද වැනි වක්‍ර බදු, ක්ෂණික වන අතර සැණකින් අවසාන පාරිභෝගිකයාගේ භාණ්ඩ හා සේවාවල පිරිවැය කෙරෙහි බලපෑමක් ඇති කරයි. වැට් බද්ද වැඩි කිරීම සිල්ලර පාරිභෝගිකයාට අවසාන බද්දක් වන බැවින්, සිල්ලර පාරිභෝගිකයන් සීයට 10 ඉක්මවන මිල වැඩිවීමකට යටත් වන බව නිරීක්ෂණය වනු ඇත.
ඒ සමගම ඉහත සඳහන් කළ පරිදි ඉන්ධන මිල සංශෝධනයට අමතරව, විදුලි ගාස්තු සංහෝධන ක්‍රියාත්මක කිරීමටද සිදු වනු ඇත. මේ සඳහා විදුලි ඒකකයක සාමාන්‍ය මිල ඒකකයකට දැනට පවතින රුපියල් 16 සිට අවම වශයෙන් රුපියල් 25 දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ජල ගාස්තුද සාමාන්‍යයෙන් ඒකකයට රුපියල් 10කින් පමණ සංශෝධනය කිරීමට සිදු වේ.
පිරිවැය නිසි ලෙස පෙන්නුම් කිරීම මිලක් තිබීම සුදුසු වුවත්, එවැනි වූ මිල වැඩිවීම් සමග අඩු ආදායම්ලාභීන්ට තම ජීවන වියදම දරා ගත නොහැකි තත්වය ඉහළ යාම තුළින් විය හැකි හානි අවම කර ගැනීම සඳහා සහායයන් ඉලක්කගත එවැනි කණ්ඩායම් සඳහා සැලැස්වීමට අවශ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුය. එහේ අපේක්ෂා කළ පරිදි අවම වශයෙන් 2021 දෙසැම්බර් වන විටත් වඩාත්ම අවදානමට ලක් විය හැකි හා වඩාත්ම සුදුසු අය හඳුනා ගැනීමට සහාය වන විද්‍යුත් හැඳුනුම්පත් පද්ධතිය අපට තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එවැනි යාන්ත්‍රණයක් නොමැති වීම නිසා රජයට අඩු ආදායම්ලාභීන්ට ඉලක්කගත ක්‍රමවේදයකට අවශ්‍ය සහායයන් ලබා දීමට අපහසු වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන වැඩසටහන තුළින් ඉදිරිපත් කරන කොන්දේසි පිළිගැනීම තුළින් රටේ සමාජ සුභසාධනයට තවදුරටත් බාධා පැමිණේවි යැයි සඳහන් කිරීම් වැරදි නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් තුළින් පහසුවෙන් රටට ප්‍රාග්ධන වෙළඳපළවල්වලට අවතීර්ණය විය හැකි බව පිළිගන්නා නමුත්, 1960 අග භාගයේ සිට අපගේ අත්දැකීම නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු වැඩසටහනක් මගින් දීර්ඝ කාලයක් පවතින ප්‍රතිසංස්කරණයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.’
අවසානයේ කැබිනට් පත්‍රිකාවේ පස්වැනි වගන්තියේ එහි සඳහන් වන්නේ ‘ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ නිසා රට මුහුණ දී ඇති ගැටළු සඳහා රට තුළම හඳුනාගත් විසඳුමක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාව ඇති බැවින් ඉහත සඳහන් කරුණු අවධාරණය කරමින් ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට මම අමාත්‍ය මණ්ඩලයට ආරාධනා කරමි.’ කියලා.
