ඉඩම් විකුණනවා, ගිවිසුම් ගහනවා, රාජ්‍ය සමාගම් විකුණනවා! බැසිල්ගේ පැකේජ් එකේ හංගපු ඇත්ත මෙන්න

බැසිල් රාජපක්ෂ ලොකුම ලොකු ‘සහන පැකේජ්’ එකක් දුන්නා කියලා ඔන්න ප්‍රවෘත්තිවල යනවා. ඒත්, ගොඩක් අය හංගන කෑල්ල තමයි සහන පැකේජ් එක කියන්නේ බැසිල් හදිස්සියේ කැබිනට් එකේ සාකච්ඡා කරලා ගත්ත තීන්දුවලින් සහන පැකේජ් එක ඉතාම පුංචි කෑල්ලක් විත්තිය.

ඇත්තටම එතැනින් එහාට ගිහින් ලංකාව ගෙවන්න තියෙන ණය කන්ද ගැනත්, අයිඑම්එෆ් නොයෑම ගැනත්, රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කරලා පෞද්ගලික අංශයට විකිණීම ගැනත්, ලංකාවේ වරායවල්, බලශක්ති හා විදුලිය විදේශ ආයෝජකයන්ට විකිණීම ගැනත්, චීනය සහ ඉන්දියාව එක්ක ගිවිසුම් ඇති කර ගැනීම ගැනත් ආදී ලෙස දිග යෝජනා තොගයක් මේ කැබිනට් මණ්ඩලයට දාලා තිබුණා.

මේ සටහනේදී අපි ගොනු කරන්න උත්සාහ කරන්නේ සහන පැකේජ් කෑල්ල හැර, රටේ ජනමාධ්‍යවලිනුත් මඟහැරපු ඉතිරි කොටස ගැන.

2021 ජනවාරි 03 වැනිදා හැන්දෑවේ කැබිනට් මණ්ඩලය රැස් වෙද්දී, මාධ්‍ය ආයතනවලට හදිසි ආරංචියක් ලැබී තිබුණා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යාංශයේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව. මාධ්‍යවේදීන් එතැනට ගිහින් බලාගෙන හිටියේ කැබිනට් රැස්වීම ඉවරවෙලා බැසිල් රාජපක්ෂ මහතා එනතුරු. මොකක්ද ප්‍රවෘත්තිය කියලා ගොඩක් අය හරිහැටි දැනගෙන හිටියේ නෑ.

කැබිනට් රැස්වීම රෑ අට පහුවෙලා ඇදෙනකොට ගොඩක් අය හිතුවේ ආණ්ඩුවේ ලොකු වෙනසක් සිදු වේවි කියලා.

ඒත් ඒ මාධ්‍ය සාකච්ඡාව තිබුණේ පුටු මාරුවකට නෙවෙයි. දැන් පවතින අර්බුදයට ආණ්ඩුව පැත්තෙන් විසඳුම් මාලාවක් ඉදිරිපත් කිරීම සඳහා. කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විශේෂ කැබිනට් සංදේශයකින් ඒ ‘විසඳුම්’ ඉදිරිපත් කළා.

ඒ සංදේශය පටන් අරන් තිබුණේ ‘අයවැය 2022 සම්මත වී තිබුණද ආර්ථිකයේ බාහිර ඉදිරි දැක්ම පිළිබඳ සැලකිලිමත් විය යුත්තක් ලෙස තවදුරටත් පැවතීම හේතුවෙන්, බාහිර ඉදිරි දැක්ම සුපරීක්ෂාකාරීව විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවයක් පවතී’ යනුවෙන්.

ඒ කියන්නේ ‘අපි අයවැයක් දැම්මට වැඩක් නෑනෙ බං, ප්‍රශ්නවලට තවම විසඳුම් නෑනෙ. ඒ නිසා අපි ආයෙමත් මේ ආර්ථිකය ගැන බලන්න ඕනෑ මචංලා’ කියන එක.

මේකේ මුලින්ම තියෙනවා ලංකාවෙන් ලොකුවට එළියට යන්න නියමිත ඩොලර් ප්‍රමාණයන් ගැන. ඒ කියන්නේ ණය කොච්චර ගෙවන්න තියෙනවාද ආදී වශයෙන්.

‘2022 වර්ෂය තුළදී මුළු විදේශ ණය සේවාකරණ ගෙවීම්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශ මුදල් බැංකුකරණ ඒකක ණය ද ඇතුළුව ඇමෙරිකන් ඩොලර් මිලියන 6.9ක් පමණ වේ. මේ තුළ ජනවාරි මස කල් පිරෙන ඇ.ඩො. මිලියන 500 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ජූලි මස කල් පිරෙන ඇ.ඩො. මිලියන 1000ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරද ඇතුළත් වේ.’

කියලා ණය ගැන කියනවා.

‘2022 ජනවාරි මාසය තුළදී පමණක් ඇමෙරිකන් ඩොලර් මිලියන 1300ක් විදේශ ණය සේවාකරණ ගෙවීම් සඳහා අවශ්‍ය වන අතර ඇ.ඩො. මිලියන 3100ක් 2022 පළමු කාර්තුව තුළදී විදේශ ණය සේවාකරණ ගෙවීම් සඳහා අවශ්‍ය වේ.’

ඔය විදියට පළවැනි මාස කිහිපය ඇතුළේ විතරක් ගෙවන්න තියෙන ණය ප්‍රමාණයන් ගැන සඳහන් කරනවා.

ඊට අමතරව ‘අපේක්ෂිත භාණ්ඩ හා සේවා අනයන ඇ.ඩො. බිලියන 23ක් පමණ වේ.’ යනුවෙන් ලංකාවට බඩු ගෙන්වන්න යන වියදම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තිබුණා.

ඒකෙන් පස්සේ ලංකාවට එන්න නියමිතයි කියලා එයාලා හිතන මුදල් ප්‍රමාණයන් ගැන සඳහන් වුණා.

‘භාණ්ඩ හා සේවා අපනයනය තුළින් මුළු විදේශ මුදල් ගලා ඒම් ඇ.ඩො. බිලියන 32ක් පමණ අපේක්ෂා කෙරේ. එනම්, භාන්ඩ අපනයන ඇ.ඩො. බිලියන 20.7ක් පමණ දක්වා වර්ධනයක්ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 7ක් පමණ අපේක්ෂා කරනු ලැබේ. ඇඟලුම් අපනයනයෙන් පමණක් ඇ.ඩො. බිලියන 6.8ක් අපේකෂා කරයි. සේවා අංශයේ අපනයන සැලකීමේදී තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සේවා ඇ.ඩො. බිලියන 2.3 අගයක් ගනු ඇත.

සංචාරක කටයුතු යථා තත්වයට පත් වන බව දැනටමත් පෙන්නුම් කරන අතර ඒ හා සම්බන්ධ ගලා ඒම් ඇ.ඩො. බිලියන 1.8ක් පමණ වේ. මෙහිදී සංචාරකයන් මිලියන 2ක ඉක්මවීමට අවශ්‍ය සියලු ශක්තීන් මෙහෙයවිය යුතු අතර, විදේශීය සංචාරකයන් අධෛර්යමත් වන නව රෙගුලාසි, රක්ෂණ ක්‍රම හඳුන්වාදීමෙන් වැළකී සිටීම යෝග්‍ය වේ.

විදේශ රැකියා සඳහා යොමු වී ඇති පිරිස 2020 දී 53,000ක්ද, 2021 දී 116,000ක් ද පමණක් විය. එය 300,000  දක්වා ඉහළ දැමීමත්, රැකියා අවස්ථා පුළුල් කිරීමත්, එනම් ඉහළ වැටුප් සහිත නව රැකියා සඳහා හා නව රැකියා වෙළඳපළවල් හරහා මෙු වීම තුළින්ද විදේශ ප්‍රේෂන ඇ.ඩො. බිලියන 7.5ක මට්ටමකට ළඟා වේ යැයි අපේක්ෂිතය.

ඍජු විදේශීය ආයෝජන ඇ.ඩො. බිලියන 1ක් දක්වා වර්ධනය විය යුතුය.’

කියලා ලංකාවේ ආදායම් ගැන ඔවුන් අනුමාන පළ කරලා තියෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයේදී ආනයන සඳහා ඍජුවම සහයෝගය ලබා දෙන පැකේජ් එකක් ගැන සාකච්ඡා කළාලු. ඇමෙරිකන් ඩොලර් මිලියන 3000ක් ඉන්දියාවට අපනයන කරනවාලු. ලංකාවට අවශ්‍ය වෙන ඖෂධ සහ ආහාරවලින් සීයට 70ක් විතර ඒ අතර තියෙනවාලු. ඉන්දියාවෙන් කරන ආනයනවලට ගෙවන අවශ්‍ය ගෙවීම් කල් දැමීමෙන් අනෙක් ආනයනවලට සල්ලි ඉතිරි කරගන්න ඉඩ සැලසේවිලු.

ඊට අමතරව චීනයෙන් අපට ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක් දුන්න බවත් මේකේ සඳහන් කරලා තියෙනවා.

ඊට අමතරව අපි ගෙවන්න ඕනෑ විදේශ ණයවලින් සීයට 20ක් චීනයෙන් සහ ජපානයෙන් බවත්, ඒ රටවල් එක්ක සාකච්ඡා කරලා සහන පැකේජ් එකක් ගන්න ඕනෑ බවත් විසඳුමක් විදියට සඳහන් වෙනවා. ඒ රටවල් දෙකෙන්ම අපි වාර්ෂිකව භාණ්ඩ ගෙන්වන්න වැය කරන මුදල භාණ්ඩ යවලා හම්බ කරන සල්ලිවලට වඩා වැඩි බවත් සඳහන්. ඒ නිසා ඒ රටවලට භාණ්ඩ අපනයනය සඳහා සාකච්ඡා කරන්න අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ව පත් කරනවාලු.

ඒ හැරුණාම නාගරික සංවර්ධන අධිකාරිය හඳුනාගෙන තියෙන, දැනටමත් යෝජනා කැඳවපු ඉහළ වටිනාකමක් තියෙන දේපළ සහ ඉඩම්වලට දීර්ඝකාලීන කල්බදු ගිවිසුම්වලට ගිහින් ඇමෙරිකන් ඩොලර් බිලියන 1- 1.5 අතර මුදලක් හම්බ කරන්න ඉන්නවාලු.

විදුලිබල, බලශක්ති, වරාය වගේ ප්‍රධාන ක්ෂේත්‍රවලට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම අත්‍යවශ්‍ය බවත් මේකේ තියෙනවා. ඒ කියන්නේ පිටරට කම්පැණි ගෙන්වාගෙන විදුලිය, ගෑස්, ඉන්ධන, වරාය ආදී ලංකාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ අයිතිය විකුණා දාන්න ඕනෑ බව. ඒ අනුව විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තියට අවධානය යොමු කරලා තියෙනවාලු.

මේකේ තියෙන එක ප්‍රධාන මාතෘකාවක් තමයි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කළ යුතු බව. ඒ ගැන කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන්.

‘ආරම්භයේදී රජය විසින් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනයට නිසි වටිනාකමක් ලැබීම පිළිබඳ ගැටලු පවතී. ඒ අතරම සමහර රාජ්‍ය ව්‍යවසාය අයවැය මත යැපීම නතර කළ යුතුව ඇත. තවද සමහර රාජ්‍ය ව්‍යාපාර දැනට ලාභ ලැබූවද අමතර ප්‍රාග්ධණය යෙදවීම තුළින් ඒවා වඩාත් ලාභදායී තත්වයට පත් කිරීමේ හැකියාවක් ඇත.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර විශේෂයෙන්ම උපායමාර්ගික ලෙස වැදගත් නොවන රාජ්‍ය වශාපාරවල ප්‍රාග්ධනය ආයෝජනයට පෞද්ගලික අංශ සහභාගී කර ගැනීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමද අත්‍යවශය කාරණයක් වේ. එබැවින් සමස්ථ රජයේ සහ මෙම අමාත්‍ය මණ්ඩලයේ පැහැදිලි සහයෝගය ඇතිව ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හා රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රාග්ධනය අයෝජනයට පෞද්ගලික අංශ සහභාගී කර ගැනීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. එවැනි තීරණයක් ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් රටට ඇති අවස්ථා මඟ හැරී යනු ඇත. තවද ආයෝජනයන් හා ප්‍රසම්පාදනයන් අතර වෙනස තේරුම් ගත යුතු අතර,  ආයෝජන ලබා ගැනීමේ ක්‍රමවේදයන් වඩාත් පැහැදිලි කර ගත යුතු වේ. තවත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන කළ යුතුය.’

මේ කැබිනට් සංදේශයේ 4 වැනි වගන්තිය ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රුපියල අවපමාණය කිරීම’ යනුවෙන් සඳහන් වෙනවා. මෙතැන් සිට තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ගැන කැබිනට් සංදේශයේ තිබුණ කරුණු. ඒ කියන්නේ ගියොත් සිද්ධ වෙන්න පුළුවන් ‘නරක දේවල්’ ගැන ඔවුන්ගේ පැත්තෙන් කියන කරුණු.

‘ආර්ථිකයේ පෙන්නුම් කරන අභියෝගවලට මුහුණදීම සඳහා විසඳුමක් ලෙස විපක්ෂය හා රජයේ ඇතැම් පාර්ශ්යන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා එකඟ වීම සුදුසු බවට විවිධ මත ප්‍රකාශ කරමින් සිටී. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන වැඩපිළිවෙලකට යොමු වුවහොත් රටේ එදිනෙදා ජීවිතයට කිසිදු බලපෑමක් නොමැතිව ආර්ථිකය යථා තත්වයට පත් විය හැකි බවට විශ්වාසයක් ඇති බවට පෙනී යයි. එහෙත් අප විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් බහු පාර්ශවීය ජාත්‍යන්තර ආයතන මග පවත්වාගෙන යන සාකච්ඡාවලට අපට හැඟී ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වැඩසටහනක් තුළ පහත මූලික ලක්ෂණ අන්තර්ගත වන බවය.

එනම්,

  • රුපියල නිදහසේ පා කිරීම සිදු කළ යුතුය.
  • බදු අනුපාත ඉහළ දැමිය යුතු අතර විශේෂයෙන්ම එකතු කළ අගය මත පදනම් වූ බදු වර්තමානයේ පවතින සීයට 8 සිට ඉහළ දැමීමටත්, ඉන්ධන, විදුලිය සහ ජලය විකුණුම් මිල පිරිවැය මත පදනම් විය යුතුය.

රුපියල නිදහසේ පාවීම හෝ අවප්‍රමාණය වීම සැලැස්වීමේ බලපෑම

රුපියල සීයට 15කින් පමණ අවප්‍රමාණ වුවහොත් රුපියල් 230ක පමණ වේයැයි උපකල්පනය කළ විට ඇති වන බලපෑම පහත පරිදි වේයැයි අපේක්ෂා කළ හැක. (අනෙකුත් සියලු කාරණා නොවෙනස්ම පැවතියදී.)

  • 2022 වර්ෂය තුළ රජයේ මුළු විදේශ ණය සේවාකරණය ඇ.ඩො. බිලියන 6.9ක් වේ. මෙයට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශ මුදල් බැංකු ඒකක ණයද ඇතුළු වේ. එබැවින් රුපියල අවප්‍රමාණය වීම හමුවේ සෑම ඇ.ඩො.1ක ණය සේවාකරණයක් සඳහා අමතර රු. 20ක් අවශ්‍ය කරයි. එනම් ණය ගෙවීම සඳහා අවශ්‍ය වන මුළු අමතර විදම රුපියල් බිලියන 210 පමණ වේ. මෙහිදී විදේශ පොලී වියදම පමණක් රුපියල් බිලියන 36කින් පමණ වැඩි වනු ඇත.
  • රාජ්‍ය ආයෝජන වැඩසටහනට වන බලපෑම 2022 සඳහා වන සමස්ත රාජ්‍ය අයෝජනය රුපියල් බිලියන 931කි. සමස්ත රාජ්‍ය අයෝජනයෙන් ආනයන ප්‍රමාණය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් හෝ රුපියල් බිලියන 400ක් පමණ වේ. මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් සමග සඳහා පමණක් රාජ්‍ය ආයෝජනයේ දැරිය යුතු වියදම රුපියල් බිලියන 60-80ක් පමණ ඉහළට යනු ඇත.

ඉහත සදහන් කළ පරිදි රාජ්‍ය ණය සේවාකරණයට හා රාජ්‍ය ආයෝජන වැඩසටහන්වලට සිදු විය හැකි ඍජු බලපෑම නිසාම පමණක් 2022 සඳහා අනුමත අයවැයට අතිරේක වියදමක් ලෙස රුපියල් බිලියන 270ක් පමණ දරා ගැනීමට සිදු වේ.

මෙය රාජ්‍ය ආදායම ඉහළ නැංවීමක් තුළින් හා රාජ්‍ය වියදම කපා හැරීමක් තුළින් දරා ගත යුතු වේ. එහෙත් මෙම ඍජු බලපෑමට අමතරව රුපියල අවප්‍රමාණය මෙයට වඩා පුළුල් පරාසයකට ඍජු හෝ වක්‍ර බලපෑම් ඇති කළ හැකි අතර එය පොලී අනුපාත වැඩි වීම්, උද්ධමනය ඉහළ යෑම, ඉන්ධන මිල වැඩි වීම සමඟ ප්‍රවාහන පිරිවැය ඉහළ යෑම් සිදු විය හැකිය.

යෙට විකල්ප ක්‍රියාමාර්ග වශයෙන් රජයට වියදම් කප්පාදු කිරීමෙන් මෙලෙස වැඩිවන වියදම් කළමණාකරණය කර ගැනීමට හැකිය. කෙසේ වෙතත්, පොළී වියදම, රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි, වැඩිහිටි විශ්‍රාම වැටුප් ඇතුළු ගෙවීම්වලින් පුනරාවර්තන වියදම් සමන්විත බැවින් එය කප්පාදු කිරීම දුෂ්කර වනු ඇත. එසේ නම් සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් අඩු කිරීමය. මෙහි දී ඇති වන ඍජු බලපෑම පමණක්ම දරා ගැනීම සඳහා ප්‍රාග්ධන වියදමෙන් සීයට 30ක් පමණවත් අඩු කළ යුතු වේ. ප්‍රාග්ධන වියදම් අඩු කිරීම මූලික බලපෑම වන්නේ රජය අපේක්ෂා කරන ආර්ථික වර්ධනය හා සංවර්ධන අරමුණු ඉඩ වීම තවදුරටත් දුෂ්කර වේ.

වාර්ෂික මුළු ආනයනවලින් ආහාර, තිරිඟු සහ බඩ ඉරිඟු, ඖෂධ, සීනි, ධාන්‍ය ආදිය ඇතුළත් පාරිභෝගික භාණ්ඩ, ඉන්ධන, ගල්අඟුරු, පොහොර ආනයන මුළු ආනයනයෙන් සීයට 40කට ආසන්න ප්‍රමාණයක් නැතහොත් වසරකට ඇ.ඩො. බිලියන 8ක් පමණ වේ. එනම්, රුපියල අවප්‍රමාණයත් සමග අත්‍යවාවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා පමණක් රුපියල් බිලියන 240ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදු වනු ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල අවම වශයෙන් සීයට 20කින් පමණ ඉහළ යා හැකිය.

උදාහරණයක් වශයෙන්

  • ශත 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් හැර වෙන කිසිදු බද්දකට යටත් නොවන පරිප්පු කිලෝග්‍රෑම් එකක්ද දැනට පවතින රුපියල් 280 මිල සිට රුපියල් 350-400 මිලකට වැඩි විය හැක.
  • තවද ඩීසල් ලීටරයක් අවම වශයෙන් රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ලීටරයක් රුපියල් 146 දක්වා පමණ වැඩි කිරීමට සිදු වනු ඇත.

අනෙකුත් බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවද සැපයුම හා බැඳි බාධකයන්ට මුහුණ දී සිටින අතර, එය වරෂ 2022 ද පැවතිය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙවැනි බාධාකරී තත්වයන්ගේ බලපෑම නිසා ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල හා අත්‍යවශය ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යෑම් දැනටමත් සිදු වන අතර, ජීවන වියදමට වන බලපෑම බොහෝ සෙයින් වැඩි වී දැනට අත්විඳිනවාටත් වඩා වැඩි වේගයෙන් ආහාර ද්‍රව්‍ය උද්ධනය ඉහළ මට්ටමක පවත්වනු ඇත.

මුදල් අවප්‍රමාණය වීමක ඍජු ප්‍රතිලාභීන් වනුයේ අපනයනකරුවන් සහ විදේශ විනිමය රට තුළට ප්‍රේෂණය කරන විදේශගත ශ්‍රමිකයන්ය. තේ වැනි ප්‍රාථමික නිෂ්පාදන තොග වශයෙන් අපනයනය කිරීම් දේශීය මුදලින් ආදායමේ වැඩිවීමක් අත්දුටුවද අගය එකතු කරන ලදතේ, ඇඟලුම් අපනයනකරුවන් ඇතුළු අනෙකුත් අපනයනකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක සැලකිය යුතු ආනයන අන්තර්ගතයත් ඇතුළත් බැවින්, රුපියලේ අවප්‍රමාණමයත් සමග ඒවායේ පිරිවැය ඉහළ ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස ලාභ ආන්තිකය අඩු වේ. දේශීය අපනයනකරුවන්, විශේෂයෙන්ම ආනයන සඳහා සැලකිය යුතු වියදමක් දරන්නන්, තම භාණ්ඩවල තරගකාරීත්වයට ඍණාත්මක බලපෑමක් විය හැක.

බදු ඉහළ ගැනීම විශේෂයෙන් වැට් බද්ද දැනට පවතින සීයට 8 සිට ඉහළ දැමීමත් සමග පිරිවැය පිළිබිඹු කරන ඉන්ධන, විදුලිය සහ ජලය මිල ගණන් වෙනස් කිරීම නිසා ඇති වන බලපෑම්

බදු වැඩිවීමක බලපෑම, විශේෂයෙන්ම වැට් බද්ද වැනි වක්‍ර බදු, ක්ෂණික වන අතර සැණකින් අවසාන පාරිභෝගිකයාගේ භාණ්ඩ හා සේවාවල පිරිවැය කෙරෙහි බලපෑමක් ඇති කරයි. වැට් බද්ද වැඩි කිරීම සිල්ලර පාරිභෝගිකයාට අවසාන බද්දක් වන බැවින්, සිල්ලර පාරිභෝගිකයන් සීයට 10 ඉක්මවන මිල වැඩිවීමකට යටත් වන බව නිරීක්ෂණය වනු ඇත.

 ඒ සමගම ඉහත සඳහන් කළ පරිදි ඉන්ධන මිල සංශෝධනයට අමතරව, විදුලි ගාස්තු සංහෝධන ක්‍රියාත්මක කිරීමටද සිදු වනු ඇත. මේ සඳහා විදුලි ඒකකයක සාමාන්‍ය මිල ඒකකයකට දැනට පවතින රුපියල් 16 සිට අවම වශයෙන් රුපියල් 25 දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ජල ගාස්තුද සාමාන්‍යයෙන් ඒකකයට රුපියල් 10කින් පමණ සංශෝධනය කිරීමට සිදු වේ.

පිරිවැය නිසි ලෙස පෙන්නුම් කිරීම මිලක් තිබීම සුදුසු වුවත්, එවැනි වූ මිල වැඩිවීම් සමග අඩු ආදායම්ලාභීන්ට තම ජීවන වියදම දරා ගත නොහැකි තත්වය ඉහළ යාම තුළින් විය හැකි හානි අවම කර ගැනීම සඳහා සහායයන් ඉලක්කගත එවැනි කණ්ඩායම් සඳහා සැලැස්වීමට අවශ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුය. එහේ අපේක්ෂා කළ පරිදි අවම වශයෙන් 2021 දෙසැම්බර් වන විටත් වඩාත්ම අවදානමට ලක් විය හැකි හා වඩාත්ම සුදුසු අය හඳුනා ගැනීමට සහාය වන විද්‍යුත් හැඳුනුම්පත් පද්ධතිය අපට තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එවැනි යාන්ත්‍රණයක් නොමැති වීම නිසා රජයට අඩු ආදායම්ලාභීන්ට ඉලක්කගත ක්‍රමවේදයකට අවශ්‍ය සහායයන් ලබා දීමට අපහසු වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන වැඩසටහන තුළින් ඉදිරිපත් කරන කොන්දේසි පිළිගැනීම තුළින් රටේ සමාජ සුභසාධනයට තවදුරටත් බාධා පැමිණේවි යැයි සඳහන් කිරීම් වැරදි නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් තුළින් පහසුවෙන් රටට ප්‍රාග්ධන වෙළඳපළවල්වලට අවතීර්ණය විය හැකි බව පිළිගන්නා නමුත්, 1960 අග භාගයේ සිට අපගේ අත්දැකීම නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු වැඩසටහනක් මගින් දීර්ඝ කාලයක් පවතින ප්‍රතිසංස්කරණයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.’

අවසානයේ ඉහි සඳහන් වන්නේ ‘ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ නිසා රට මුහුණ දී ඇති ගැටළු සඳහා රට තුළම හඳුනාගත් විසඳුමක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාව ඇති බැවින් ඉහත සඳහන් කරුණු අවධාරණය කරමින් ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට මම අමාත්‍ය මණ්ඩලයට ආරාධනා කරමි.’ කියලා.